1983 වසරේ අගෝස්තු මස 28 වැනිදා උපන් සෙපරමාදු ලසිත් මාලිංග ලොව පුරා ප්‍රචලිත වී ඇත්තේ යෝකර් පන්දුවේ අතිවිශිෂ්ටයා යනුවෙනි. මේ වන විට ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග රටා දෙකෙන් විශ්‍රාම ගෙන සිටින ලසිත්ගේ නාමය ඉදිරියේ ටෙස්ට් කඩුලු 101ක් හා එක්දින කඩුලු 338ක් ලියැවී ඇත. ඊට අමතරව කඩුලු 107ක් සමඟ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග රටාවේ තවමත් නියැලී සිටින ඔහු වත්මන් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය ද උසුලනු ලබයි.  

Photo Story- වාර්තා පොත් අලුතින් ලියවන දිගුදුර ශූරිය

මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ ලසිත් මාලිංගගේ ක්‍රීඩා දිවියේ ආරම්භයේ සිට අවසානය දක්වා ගමන්මඟ වෙනුවෙනි.

Image courtesy : Getty Images

2004 – ශ්‍රී ලංකාව ප්‍රථම වරට නියෝජනය කරමින් ටෙස්ට් හා එක්දින තරග රටා දෙඅංශයෙන්ම ජාත්‍යන්තර තරග වරම් හිමිකරගත්තේ මෙම වසරේ දීයි. ඒ පිළිවෙළින් ඕස්ට්‍රේලියාවට හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවයි.

Image courtesy : Getty Images

2005 – මාලිංග පිළිබඳව ක්‍රිකට් ලෝකය මුලින්ම කතාබහට ලක්වන්නේ 2005 වසරේ නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී ඔහු නවකයෙකු ලෙස දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙනි. එම තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දී නවසීලන්ත කඩුලු 9ක්ම බිඳහෙළීමට ඔහු සමත් විය.

Image courtesy : Getty Images

2006 – එක්දින වරම් හිමිකරගෙන වසර දෙකක් ගෙවී ගිය ද එක්දින කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට මාලිංග පත්වූයේ 2006 වසරේ එංගලන්ත සංචාරයේ දී පැවති එක්දින තරගාවලියේ දීයි. ඒ එහි දී ඔහු දැක්වූ සුවිශ්‍ෂී දස්කම් හේතුවෙනි. එමෙන්ම එම සංචාරයේම ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට ද මාලිංග ක්‍රීඩා කළේ තමන් ද විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් හිමිකර ගනිමිනි.

Image courtesy : Getty Images

2007 – ලසිත් මාලිංග යන නාමය වඩාත් ලොව පුරා ප්‍රචලිත වන්නේ ඔහු 2007 වසරේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවාලමින් තැබූ වාර්තාවෙන් අනතුරුවයි.

Image courtesy : Getty Images

2008 – මෙම වසරේ දී මාලිංග දැක්වූ හොඳම දක්ෂතාවය බවට පත්වූයේ ඕස්ට්‍රේලියාව සමඟ ඕස්ට්‍රේලියාවේ දී පැවති එක්දින තරගයක දී ලකුණු 47කට කඩුලු 4ක් දවාලීමයි.

Image courtesy : Getty Images

2009 – මාලිංග මුල්ම වතාවට ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කළේ 2009 වසරේ දීයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තම පළමු තරගාවලියේ දී ම තරග 13ක් තුළ කඩුලු 18ක් දවාලීමට ඔහු සමත් විය.

Image courtesy : Getty Images

2010 – පන්දුවෙන් පමණක් නොව පිත්තෙන් ද තම හැකියාව විදහා දක්වමින් එම වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩා පිටියේ පැවති එක්දින තරගයක දී ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔහු තම දායකත්වය ලබා දුන්නේ සටන්කාමී අර්ධ ශතකයක් ලබා ගනිමිනි. ඊට අමතරව තම සියවැනි ටෙස්ට් කඩුල්ල ඉන්දියාවට එරෙහිවත්, සියවැනි එක්දින කඩුල්ල නවසීලන්තයට එරෙහිවත් ලබා ගැනීමට ඔහු 2010 වසරේ දී සමත් විය. එමෙන්ම ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළේ ද මෙම වසරේ දීයි.

Image courtesy : Getty Images

2011 – 2011 වසර මාලිංගට තවත් සුවිශේෂී වසරක් බවට පත්වූයේ එක්දින කඩුලු ත්‍රිත්ව දෙකක්ම මෙම වසර තුළ දී බිඳහෙළීමට ඔහු සමත් වූ බැවිනි. ඒ එම වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කෙන්යාවට එරෙහිව සහ ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරගාවලියක දී ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. ඊට අමතරව එම වසරේ පැවති ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වැඩිම කඩුලු ලාභියා බවට ද පත් වූයේ තරග 16ක දී කඩුලු 28ක් දවාලමිනි.

Image courtesy : Getty Images

2012 – තම 200 වැනි ජාත්‍යන්තර එක්දින කඩුලු සීමාව පසුකිරීමට මාලිංග සමත් වූයේ එම වසරේ දී ඉන්දියාව සමඟ පැවති එක්දින තරගයක දීයි.

Image courtesy : Getty Images

2013 – 2013 ශූරයන්ගේ කුසලානයේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 34කට කඩුලු 4ක් දවාලීමට ඔහු සමත් විය.

Image courtesy : Getty Images

2014 – එම වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට නායකත්වය ලබා දීමට ඔහු සමත් වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරලමිනි.

Image courtesy : Getty Images

2015 – එම වසරේ පැවති ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා බවට මාලිංග පත් වූයේ තරග 15ක දී කඩුලු 24ක් දවාලමිනි.

“Deccan chronicle”

2016 – මෙම වසර පුරාවටම මාලිංගට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ එකම එක් ජාත්‍යන්තර තරගයක් පමණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ක්‍රීඩා කළ එම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේ දී ලකුණු 26කට කඩුලු 4ක් දවාලීමට ඔහු සමත් විය.

Getty Images

2017 – මාලිංග තම 300 වැනි එක්දින ජාත්‍යන්තර කඩුල්ල ඉන්දියාවට එරෙහිව දවා ගත්තේ 2017 වසරේ දීයි. එමෙන්ම තම සිව්වැනි ජාත්‍යන්තර කඩුලු ත්‍රිත්වය බංග්ලාදේශයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගයක දී වාර්තා කිරීමට ඔහු සමත් වූයේ ද මෙම වසරේ දී ය.

Image courtesy : Getty Images

2018 – මෙම වසරේ දී මාලිංග දැක්වූ හොඳම දක්ෂතාවය බවට පත්වූයේ එංගලන්තය සමඟ ශ්‍රී ලංකාවේ දී පැවති එක්දින තරගයක දී ලකුණු 44කට කඩුලු 5ක් දවාලීමයි.

Image courtesy : Getty Images

2019 – මාලිංග තම 15 වසරක ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියට සමුදුන්නේ 2019 වසරේ බංග්ලාදේශය පැවති එක්දින තරගාවලියේ දීයි. ඊට අමතරව එම වසරේ දී ම නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගයක දී පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගනිමින් තම පස්වැනි ජාත්‍යන්තර කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේ ක්‍රිකට් වාර්තා පොත අලුත් කරමිනි. එමෙන්ම එම තරගයේ දී ම තම 100 වන විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුල්ල දවාලීමට ද ඔහු සමත් විය.

Image courtesy : Getty Images

2020 – මෙම වසරේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති T20I තරගාවලියේදී ලබාගත් ඡායාරූපයකි.

මේ අතරින් ඔබේ මතකයේ තදින්ම කා වැදි ඇති සිදුවීම මොකද්ද? පහළින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<