රුසියාවට වැටකපන රුසියාවේම තහනම් උත්තේජක මහමොළකරු

200

එළඹෙන 2021 වසර සඳහා කල් දැමුණු Tokyo ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වීමට කිසිදු රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවකට අවස්ථාවක් ලබා නොදිය යුතු බව තහනම් උත්තේජක භාවිතය පිළිබඳ සැලසුම් කරන්නෙකු ලෙස සිට මේ වන විට විස්ල්බ්ලොවර් වරයෙකු බවට පත්ව සිටින Grigory Rodchenkov පවසා සිටියි.

ඒ අනුව රුසියාවේ කුප්‍රකට රජයේ අනුග්‍රහය යටතේ සිදු වූ තහනම් උත්තේජක භාවිතයට අදාළ මතභේදාත්මක සිදුවීමේ මහමොළකරු වන Rodchenkov විසින් BBC Sport මාධ්‍ය සමඟ අදහස් දක්වමින් පවසා සිටින්නේ එරට සිදු වූ එම පරීක්ෂණාගාර දත්ත වෙනස් කිරීමේ සිදුවීම පාදක කරගෙන පසුගිය දෙසැම්බර් මාසයේ දී සියලුම ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලිවලට සහභාගී වීම රුසියාවට තහනම් කෙරුනත්, ඔවුන් ඉන් පාඩමක් ඉගෙන ගෙන කිසිවක් වෙනස් කරගෙන නොමැති බවයි. 

කෙසේ නමුත් එහි දී ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (WADA) විසින් ලබා දුන් එම තීරණයේ සඳහන් වූ අන්දමට තහනම් උත්තේජක භාවිතා කර නොමැති බව තහවුරු කරනු ලබන රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උදාසීන ධජයක් යටතේ එළඹෙන ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වේ.

මෙම තීරණය ලබා දීමෙන් අනතුරුව සිය පළමු සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් Moscow නුවර උත්තේජක මර්දන පරීක්ෂණාගාරයේ හිටපු ප්‍රධානියා වන Rodchenkov පවසා සිටින්නේ; 

“ඒ තහනම කිසිම අවසරයක් නැති, ක්‍රීඩකයින් ඇතුළත් කරගන්නේ නැති සම්පූර්ණ තහනමක් වෙන්න ඕන. 2014 ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය අතරතුර සාම්පල ජාවාරම් සහ මාරු කරපු පුද්ගලයින්ම ව්‍යාජ ලේඛන සකස් කරන එකත් සිදු කළා. 

ඒක ඒ දත්ත දවසින් දවස ව්‍යාජව ලේඛනගත කරමින් ඉදිරියට ගිය එකක්. ඇත්තටම ඒක කියන්න බැරි තරම් ලොකු විශාල වංචාවක්. ඒකෙන් පේනවා රට කිසිම දෙයක් ඉගෙන ගෙන නැහැ කියලා.”

මෙම සිදුවීම පිළිබඳව විමර්ශනය සිදු කළ විමර්ශකයින් හට පසුගිය වසරේ දී ලබා දුන් පරීක්ෂණාගාර දත්ත වෙනස් කිරීමට අදාළව රුසියාවේ තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය ලෝක තහනම් උත්තේජක මර්දන නීති සංග්‍රහය සමඟ අනුකූල නොවන බවට ප්‍රකාශයට පත්කරන ලදි. කෙසේ නමුත් මෙම චෝදනා සියල්ල ප්‍රතික්‍ෂේප කරමින් රුසියාව පවසා සිටින්නේ ඔවුන් වෙත පනවනු ලැබූ එම වසර 4ක තහනම අසාධාරණ මෙන්ම බරපතළ වැඩි බවත්, තවදුරටත් එය දේශපාලන අරමුණු මත පනවනු ලැබූවක් බවත් ය.  

මේ හරහා රුසියාවට එළඹෙන 2021 ඔලිම්පික් තරගාවලියට මෙන්ම 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ද සහභාගී වීමේ අවස්ථාව අහිමිව යන නමුත් ඔවුන් මේ වන විට එම තීරණය අභියෝගයට ලක්කරමින් ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට කටයුතු කර ඇති අතර එය එළඹෙන නොවැම්බර් මාසයේ දී විභාගයට ගැනීමට නියමිතව ඇත. 

කෙසේ නමුත් Rodchenkov පසුගිය වසර 5ක කාලය පුරාවට සැඟව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ හෙළි නොකළ ස්ථානයක සිට Zoom හරහා මෙම සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පවසා සිටියේ ඔහුගේ අනන්‍යතාවයට අමතරව හැසිරීම සහ අභිනයන් ද ඔහු මේ වන විට වෙනස් කරගෙන සිටීමත් සමඟ ඔහුව දැන් හඳුනාගත නොහැකි බවයි. ඒ අනුව ඔහුගේ රහසිගත අනන්‍යතාවය ආරක්‍ෂා කරගැනීමට මෙහි දී ඔහු මෙම සම්මුඛ සාකච්ඡාව සඳහා පෙනී සිටියේ රෙදි කැබැල්ලකින් මුහුණ ආවරණය කරගෙන අව් කණ්ණාඩි මෙන්ම හිස්වැස්මක් ද පැළඳගෙන ය. 

පසුබිම

2015 වසරේ දී රුසියාවේ සිට ඇමෙරිකාව බලා පැනයාමට Rodchenkov කටයුතු කරනු ලැබුවේ ඔහු මහමොළකරු ලෙස කටයුතු කරනු ලැබූ රුසියානු රජයේ අනුග්‍රහය යටතේ සිදු වූ තහනම් උත්තේජක භාවිත කුමන්ත්‍රණයේ විස්තර සහගත සාක්‍ෂි ද සහිතව ය. ඔහු ඉදිරිපත් කළ එම සාක්‍ෂි හරහා රුසියාව එළඹෙන ඔලිම්පික් තරගාවලියෙන් ද තහනම් වීමට මඟපෑදුණු අතර එතැන් පටන් සැඟව සිටින ඔහු රුසියාව ඔහුගෙන් පළිගැනීමට කටයුතු කරනු ඇතැයි තවමත් බියෙන් පසු වේ. 

Rodchenkovගේ මෙම කතාව ඔස්කාර් සම්මාන ලාභී ‘Icarus’ වාර්තා චිත්‍රපටය සඳහා ද පාදක වූ අතර අනතුරුව ඔහු සිය ජීවිතය සහ 2014 ශීත සෘතු ඔලිම්පික් තරගාවලියේ දී සිදු වූ තහනම් උත්තේජක භාවිත ක්‍රියාවලිය විස්තර සහගතව ආවරණය කරමින් සිය ස්වයං චරිතාපදානයක් ද රචනා කිරීමට කටයුතු කර ඇත. 

සිය පරීක්ෂණාගාර බිත්තියේ තිබූ සිදුරක් හරහා තහනම් උත්තේජක භාවිත කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුත්‍රා සාම්පල වෙනුවට පිරිසිදු සාම්පල හුවමාරු කළ ආකාරය ඔහු එහි සවිස්තරාත්මකව දක්වා ඇත. 

‘Icarus’ වාර්තා චිත්‍රපටයෙන් (Source: businessinsider.com)

ඊට අමතරව 1984 වසරේ දී Los Angeles නුවර පැවති ඔලිම්පික් තරගාවලිය සෝවියට් සංගමය විසින් වර්ජනය කිරීමට හේතු වූයේ එහි දී ඔවුන් සිදු කරනු ලැබූ තහනම් උත්තේජක භාවිතයන් හෙළිවනු ඇතැයි රුසියානු නිලධාරීන් හට තිබූ බිය සහ සැකය බව ද Rodchenkov විසින් පවසනු ලැබීය. 

එමෙන්ම 2012 London ඔලිම්පික් තරගාවලියේ දී රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට වංචා කිරීමට සහය දක්වා එම තරගාවලියේ ගෞරවය කෙලෙසීමට ඔහු සිදු කළ කාර්යභාරයට අදාළව Rodchenkov විසින් මීට පෙර බ්‍රිතාන්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමාව ගැනීමට ද කටයුතු කර ඇත. 

‘London අනෙක් ඔලිම්පික් තරගාවලිවලට වඩා නරක නැහැ.’  

London ඔලිම්පික් තරගාවලිය පවත්වා මේ දක්වා ඊට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 දෙනෙක් නුසුදුසු බවට පැමිණවීමත් සමඟ සමහරෙකුගේ මතය වී ඇත්තේ එම තරගාවලිය ඉතිහාසය තුළ පැවති දූෂිත ම ඔලිම්පික් තරගාවලිය වන බවයි. කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් Rodchenkov පවසා සිටින්නේ එම ප්‍රකාශය අසාධාරණ බවත් දශක ගණනාවක සිට මෙවන් වංචා දූෂණ ඔලිම්පික් තරගාවලිවල සිදු වෙමින් පවතින බවත් ය. 

“අපි ළඟ අද තියෙන උපකරණ සහ ක්‍රමවේද එදා තිබ්බා නම් වගේම Seoul, Moscow හෝ Atlanta ඔලිම්පික් තරගාවලිවල මුත්‍රා සාම්පල ගබඩා කරලා තිබ්බා නම් බලාගන්න පුළුවන් වෙයි ක්‍රීඩකයින් 100 ගණන් තහනම් උත්තේජක භාවිතා කළා කියලා හෙළිවෙනවා. ඒ නිසා London අනෙක් ඔලිම්පික් තරගාවලිවලට වඩා නරකයි කියන්න බැහැ. 

රුසියාවේ දී ඒ වුනේ ඒක උච්චතම අවස්ථාවට ගිය එක. මම හිතන්නේ නැහැ මගේ පරීක්ෂණාගාරයෙන් පස්සේ ඒක වෙන කොහේවත් ඒ තරම් ලොකුවට සිදු වෙයි කියලා. මොකද අපිට හැමතැනින්ම අවසරය තිබුණා. 

ඔලිම්පික් තරගාවලිය කියන්නේ Putinගේ (රුසියානු ජනාධිපති Vladimir Putin) ව්‍යාපෘතියක්. ඉතින් අපිට ඕනේ කරපු සම්පත් වල කිසිම අඩුවක් තිබ්බේ නැහැ.”

ඒ අනුව Rodchenkov මෙහි දී පවසා සිටින්නේ ඔහු රුසියාවේ ඉහළම තලය දක්වා ගිය එරට ජනාධිපති සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Vitaly Mutko ද ඇතුළත් පද්ධතියක කොටසක් පමණක් වූ බවයි.  

රුසියානු ජනාධිපති Vladimir Putin (Source: deccanherald.com)

කෙසේ නමුත් මීට ප්‍රතිචාර දක්වමින් රුසියානු රජය පවසා සිටින්නේ මෙම ක්‍රියාවලිය Rodchenkov විසින් තනිව සිදුකරගෙන ගිය එකක් වන බවත්, රජයේ අනුග්‍රහය යටතේ තහනම් උත්තේජක භාවිතයට අදාළ කිසිදු කුමන්ත්‍රණයක් සිදු නොවූ බවත් ය. 

Mutkoව ජීවිතාන්තය දක්වා ඔලිම්පික් තරගාවලිවලින් තහනම් කරමින් ඔහුට පැනවුණු දඬුවම අභියෝගයට ලක්කරමින් ඔහු සිදු කළ අභියාචනය සාර්ථක වූ අතර ඒ අනුව ඔහු විසින් ද මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කිරීමට කටයුතු කර ඇත. තවදුරටත් මෙම චෝදනා අවස්ථාවන් කිහිපයක දී ම ප්‍රතික්‍ෂේප කරමින් ජනාධිපති පුටින් පවසා සිටින්නේ Rodchenkov විශ්වාස කළ නොහැකි මෝඩයෙකු වන බවයි. 

මෙවන් වංචා දූෂණ ඔලිම්පික් තරගාවලි තුළ සිදුවීම කෙදිනක හෝ නවතා දැමීමට හැකි වනු ඇති දැයි විමසා සිටි විට ඊට පිළිතුරු ලබා දෙමින් Rodchenkov පවසා සිටින්නේ;

“ඒක මනුෂ්‍ය ස්වභාවය. ඉතින් කවදාවත් ඒක එහෙම සුපිරිසිදු වෙන්නේ නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය රන් පදක්කම්. සමහර අයට ඒක ගොඩක් තදින්ම ඕන. ඒ නිසා තමයි ඔවුන් තහනම් උත්තේජක භාවිතා කරන්නේ. 

මොන විදිහේ තර්ජන තිබ්බත්, සාම්පල එකතු කරන එක වගේම බුද්ධිය මත පදනම් ගොඩක් දියුණු පරීක්ෂණාගාර වගේ හැමදේම ආවරණය වෙන පරිපූර්ණ තහනම් උත්තේජක පාලන පද්ධතියක් තිබ්බත් අන්තිමට කවදාවත් හදන්න බැරි 15%ක විතර මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා.”

ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය ‘විශාල අනතුරක්’!

මේ වන විට රුසියාව හමුවේ පනවා ඇති වසර 4ක තහනම ඉදිරියේ දී ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය විසින් ඉවත් කරනු ඇතැයි බියක් ඇත්දැයි මෙහි දී විමසා සිටි විට Rodchenkov පවසා සිටියේ ඒ හරහා එය සිදුවීමට විශාල අනතුරක් පවතින බවයි. 

“ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයේ තියෙන විශාලම අඩුපාඩුව තමයි ඔවුන්ගේ ‘comfortable satisfaction’ පදනම. චෝදනා සහ වංචාව බරපතළ වෙන තරමට ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයේ ඒවා ඔප්පු කරන්න ලබා දෙන්න ඕන සාක්‍ෂි ප්‍රමාණය වැඩියි. ඒ නිසා තමයි මම අවුරුදු දෙකකට කලින් ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ.”

ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය විසින් තීරණ ලබා දීමේ සාධන සම්මතය ලෙස ‘comfortable satisfaction’ පදනම භාවිතා කරනු ලබන අතර එය අපරාධ නඩුවක දණ්ඩනය නියම කිරීමට අවශ්‍ය සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමේ පදනම සහ සිවිල් නඩුවක තීරණය ලබා දීමට අවශ්‍ය සම්භාව්‍යතා වැඩි බර මත ඔප්පු කිරීමේ පදනම යන දෙක අතරමැද පවතින තත්වයක් ලෙස විග්‍රහ කර ඇත. 

ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය (Source: en.as.com)

මෙම තහනම් උත්තේජක භාවිත කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට තහවුරු කරමින් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙකු හට පනවා තිබූ තහනම් අනතුරුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් ඉවත් කිරීමට ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය විසින් 2018 වසරේ දී නියෝග කරනු ලැබීය. 

“ඒක ඔප්පු වෙන්නේ සම්භාව්‍යතා වැඩිබර මත නම් රුසියාව අවුරුදු 12කට තහනම් කෙරෙන්න ඕන. ඒත් ඉන්න විනිශ්චයකාරවරු එකිනෙකට වෙනස්. හිතන්න ඔවුන්ට ‘comfortable satisfaction’ පදනම මත මේක ඔප්පු වෙන්නේ නැහැ කියලා හිතෙනවා කියලා. එතකොට ඔවුන්ට රුසියාවේ ක්‍රීඩාව ගැන කනගාටුවක් හිතෙනවා. එතකොට ඔබ නඩුව පරදිනවා.”

‘මේක විශ්වාස කළ නොහැකි තරමේ වංචාවක්’

මලල ක්‍රීඩාවට අදාළව රුසියාව රටක් ලෙස තරග කිරීමෙන් 2015 වසරේ සිට තහනම් කර තිබෙන අතර ඊට පදනම් වූයේ ක්‍රීඩා නීතිඥවරයෙක් වන මහාචාර්ය Richard McLaren විසින් ඉදිරිපත් කරනු ලැබූ ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වාර්තාවක් හරහා රුසියාවේ ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රජයේ අනුග්‍රහය යටතේ තහනම් උත්තේජක භාවිතයට අදාළව ඔවුන්ට එල්ල වූ චෝදනාවන් ය. 

තවත් කියවන්න;

තවදුරටත් පසුගිය නොවැම්බර් මාසයේ දී ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් රුසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති Dmitry Shlyakhtin සහ විධායක අධ්‍යක්‍ෂ Alexander Parkin මෙන්ම උස පැනීමේ ක්‍රීඩක Danil Lysenko ද තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කෙරුණු අතර එහි දී Lysenko විසින් ඔහු සිටින ස්ථානය පිළිබඳව හෙළිකිරීමට අසමත් වීමට අදාළ නීතිරීති උල්ලංඝනයක් හේතුවෙන් හා Shlyakhtin සහ Parkin විසින් ඔහුගේ එම උල්ලංඝණය සාධාරණීකරණය කිරීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙන් මේ ආකාරයට ඔවුන්ව තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කෙරෙන ලදි. 

“Lysenkoගේ සිදුවීම ගත්තම ඒක මලල ක්‍රීඩාවේ විශ්වාස කරන්න බැරි තරමේ වංචාවක්. දැන් ලෝක මලල ක්‍රීඩා සංගමයේ සභාපති Sebastian Cole සූදානමෙන් ඉන්නේ රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැමදාටම තහනම් කරන්න හරි ඉවත් කරන්න හරි. 

ඒක ගොඩක් නිවැරදියි. මොකද රුසියාවේ මලල ක්‍රීඩාවේ ඉන්න පුද්ගලයින් සම්පූර්ණයෙන් ම වැරදි නැත්තන් ඒවාට සම්බන්ධ වෙලා හරි ඉන්නවා.”

Danil Lysenko (Source: rferl.org)

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් පසුගිය මාසයේ දී සමහරෙකුට ජාත්‍යන්තර තරගාවලිවල අවසර ලත් උදාසීන ක්‍රීඩකයින් ලෙස සහභාගී වීමට අවස්ථාව ලබා දුන් ක්‍රියාවලිය තහනම් කිරීමත් සමඟ රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට එළඹෙන 2021 ඔලිම්පික් තරගාවලියට සහභාගී වීම සම්පූර්ණයෙන් ම තහනම් කිරීම තවත් පියවරක් ඉදිරියට යන්නට විය. 

රුසියාව විසින් සිදු කර ඇති තහනම් උත්තේජක භාවිතයට අදාළ වැරදිවලට ඔවුන්ට පැනවූ පවුම් මිලියන 5ක දඩ මුදල් සහ නඩු ගාස්තු ගෙවීමට අසමත් වීමත් සමඟ මෙම පියවර ගනු ලැබීය. 

BBC Sport වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙන් ලියන ලද්දකි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<