වසරේ අවසාන මැරතන් තරගය සුවිශේෂී කාණ්ඩයකට සීමා වේ

117
NAOMI BAKER/GETTY IMAGES

මෙම වසරේ පැවැත්වීමට ඉතිරිව ඇති අවසාන ප්‍රමුඛ පෙළේ මැරතන් ධාවන තරගය වන සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගය සම්බන්ධයෙන් අවසාන තීරණය නිවේදනය කිරීම පසුගිය මාසය අවසානයේ සිදු කිරීමට තිබුනත්, එම තීරණය ප්‍රකාශ කිරීම මෙම මාසය දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කරන ලදි.

ආසියානු කනිෂ්ඨ ශූරයාට වසර හතරක තහනමක්

ඒ අනුව මෙවර තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් මස 04 වැනිදා Elite කාණ්ඩයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් සහභාගි කරගනිමින් පැවැත්වීමට තීරණය කළ බව ලන්ඩන් මැරතන් තරගයේ සංවිධායකයින් ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව කොරෝනා වයිරස තත්වය නිසාවෙන් මෙම වසරේ අප්‍රේල් මස 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබී දින නියමයකින් තොරව කල් දැමූ තරගාවලිය ඔක්තෝබර් 04 වැනිදා ස්ථීර වශයෙන්ම පැවැත්වීමට නියමිත නමුත් සාමාන්‍ය තරගකරුවන්ට තරගය සඳහා සහභාගි වීමට අවස්ථාවක් හිමි නොවේ.

මෙම තීරණය පිළිබඳව දැනුම් දෙමින් ලන්ඩන් මැරතන් තරගයේ අධ්‍යක්ෂවරයා වන Hugh Brasher ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලිය පිළිබඳව තීරණ ගැනීමේ දී අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බවත්, ඔක්තෝබර් මස 04 වැනිදා වඩාත් හොඳින් තරගය පැවැත්වීමට හැකි වේ යැයි ඔවුන් බලාපොරොත්තු වන බවයි.

මෙවර තරගාවලිය සඳහා ඔලිම්පික් මැරතන් ශූර, පසුගිය ලන්ඩන් මැරතන් තරගයේ ජයග්‍රාහකයා වන Eliud Kipchoge ද සහභාගි වීමට නියමිත අතර ඔහුට අමතරව මැරතන් ඉසව්වේ කාන්තා ලෝක වාර්තාවට හිමිකම් කියන Brigid Kosgei ඇතුළු ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවර තරගය සහභාගි වේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි.

මීට අමතරව පසුගිය දා ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් මාර්ග ධාවන තරග සඳහා වූ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලසීමාව සංශෝධනය කිරීම නිසාවෙන් මෙම තරගාවලිය මගින් මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔලිම්පික් වරම් ලබා ගැනීමට ද අවස්ථාව හිමි වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<