රැඩිකල් ප්‍රේමය – සිංහල සංගීතය වෙත රැඩිකල් ප්‍රවේශයක්

කසුන් කල්හාර ගේ රැඩිකල් ප්‍රේමය ගීත ඇල්බමය නිකුත් වී කාලයක් ගතවී ඇත. එසේ වී නමුත් අදාල ගීත ඇල්බමය පිලිබඳව මෙම සටහන තබන්නට අදහස් කලේ මෙම ගීත සමුච්චය සිංහල සංගීතය වෙත නැවුම් බලාපොරොත්තුවක් මෙන්ම රැඩිකල් ප්‍රවේශයක්ද දක්වා ඇති බැවිනි. ඔහුගේ ප්‍රවේශයේ ඇති රැඩිකල් බව නිසාමදෝ සුභාවිත ගීතයේ සම්ප්‍රදායික සීමාව තුල පෙලගැසී සිටි රසිකයා මෙම ගීතාවලිය දෙසට හෙලූයේ සංකා සහිත බැල්මකි. තවත් කොටසකින් දිස්වූයේ ප්‍රවේසම් සහගත ප්‍රතිචාරයකි. ඉතිරි කොටස මෙම ගීත ඇසීමේ අපහසුතාවයකින් පෙ‍ලෙනු ලැබිනි. ඔවුනට කසුන් කල්හාර තක්කඩි ගීත ඝෝශකයන්ගෙන් වෙන් කර හදුනාගැනීමේ අපහසුතාවයක් පැන නැගී තිබිනි. මේ අනුව මෙම ගීතාවලියෙන් ජනප්‍රියත්වයට පත්වී ඇත්තේ ගීත කිහිපයක් පමනි. තවත් කාරනයක් වන්නේ “නව පරපුර” යයි කියා ගන්නා ගීත ඝෝශකයන්ගේ රසිකයන් ලෙස පෙලගැසී සිටින තරුන පෙලද කසුන් කල්හාර වෙත යම් ආකර්ශනයක් දක්වන බවයි. කසුන්ගේ ගීත අතරින් ජනප්‍රියව ඇත්තේද ඉහත තරුන පරම්පරාව අතර ජනප්‍රිය වීම නිසා එෆ් ඵම් නාලිකාවලට ප්‍රචාරය නොකර සිටිය නොහැකිවූ ගීත බව පෙනේ.

කසුන්ගේ ගීත තුල සම්ප්‍රදායිකව සිංහල ගීත ගලාගිය රිද්මය බොහෝ කලකට පසු බිඳ තිබේ. එසේම පණ්ඩිත් අමරදේව, එච්.ආර් ජෝතිපාල, රූකාන්ත ගුනතිලක ගෙන් ඉක්බිතිව ගීතයේ සාහිත්‍යමය වින්දිතයන් වෙත කටහඩ තුලින් පන ලබාදීමට හැකි අයෙකු බිහිවී තිබීම ආශ්වාදජනකය.

ලාංකීය සංගීතය තුල විප්ලවීය ලෙස සැරිසැරුවේ ප්‍රේමසිරි කේමදාසය. අද ද ඔහු සංගීතය ගැන දරන මතය අතිශය තරුනය, රැඩිකල්ය. ඔහුද සිංහල සංගීතයේ සම්ප්‍රදායික රිද්මය වෙත අත තැබුවේය. කේමදාස ඒ සඳහා වැඩි බරක් තැබූයේ පෙරදිග සංගීතය වෙතය. කසුන් කල්හාර වැඩි බරක් තබා ඇත්තේ බටහිර සංගීතය වෙතය. කේමදාස ද බටහිර සංගීතය වෙත වැඩි බරක් තබමින් ද, තරුන පරපුර ඉලක්ක කොට ගනිමින්ද අනූව දශකයේ මුල “රජ වැඩ” නමින් ගීත එකතුවක් එලි දැක්වූ නමුත් මෙම ගීත ජනප්‍රියත්වයට පත්වූයේ නැත. මෙම ගීතාවලිය තුල ප්‍රේමයේ සිට පරිසර විනාශය දක්වා පෙදෙසක් මාතෘකා ගතව තිබිනි. ගීතය යනු ප්‍රේමය පිලිබඳ එකකැයි සමාජීය මතයක් තිබෙන බව පෙනෙන නිසා “ප්‍රේමය අඩු” ගීතාවලියක් ප්‍රතික්ශේප වූවාද වන්නට ඇත. කසුන්ගේ ප්‍රවේශය තුල ප්‍රේම ගීත සඳහා වැඩි බරක් තබා ඇත. ප්‍රේමය පිලිබඳ වැඩි බරක් තැබීම හා බටහිර සංගීතයට වඩා ආසක්තවීම තරුන පරපුර අතර කසුන්ගේ සාපේක්ශ ජනප්‍රියත්වයට ප්‍රමුඛ හේතු බව පෙනේ. මා මෙහිදී සාපේක්ශ යන වචනය භාවිතා කලේ නූතන තරුන පරපුර අතර අතිශය ජනප්‍රිය වන්නේ ගීත ඝෝශකයන් වන බැවිනි. කසුන් ඇතුලු සංවේදී තරුන පරපුරේ අභියෝගය වනු ඇත්තේද සුභාවිත සංගීතය ජනප්‍රිය සංගීතය බවට පත්කිරීම හරහා මෙම ඝෝශකයන්ට තමන්ට සුදුසු වෘත්තීන් සොයා ගැනීමට සහය දීමය.

කසුන් වෙනුවෙන් ගීත රචනා කල රචකයන් ද යම් වෙනසකට තැත්කල සේයා දක්නට ලැබේ. උදාහරන ලෙස චරිත් විදර්ශන සේනාධීර රචනාකල නදීක ජයවර්ධන සංගීතවත් කල “ක්ශිතිජ රේඛා . . .” ගීතය සඵල වූ ප්‍රේමයක ප්‍රහර්ශය අපූර්වත්වයකින් යුතුව ඉදිරිපත් කරයි. නමුත් සමහර රචනාවන් තුලින් භාශාව හා සාහිත්‍ය පිලිබඳ ඌන හැදෑරීමක් දිස්වේ. මෙයින් අදහස් කරන්නේ චිරන්තන සාහිත්‍යයේ යෙදුම් කවලම්කර ගීත නිමවිය යුතු බව නොවේ. අපගේ අඩිතාලම විය යුත්තේ පූර්වජයන් බවය. වර්ධනය කල යුතු, අතික්‍රමනය කලයුතු ඉසව් හමුවනු ඇත්තේ එතැනදීය. එහෙත් අපූර්වත්වය වන්නේ රචනාවන්ගේ එකී සාහිත්‍යමය ඌනතාද ගායනය සහ සංගීතය විසින් සගවා ගනු අපට අත්විදිය හැකි වීමයි.

කෙසේ නමුත් කසුන් කල්හාර සිංහල සංගීතය වෙත ආශ්වාදජනක ප්‍රවේශයක් තබා ඇති බව පැහැදිලිය. කසුන් තම ආරම්භයේ තැබූ මෙම සක්‍යතාවයන් තිරසාර වීමට නම් හුදු සංගීතය පමනක් නොව චිරන්තන හා නූතන සාහිත්‍යාංගයන් හා කලාවන් පිලිබඳ ගැඹුරු අධ්‍යනයක් හා පරිශීලනයක් ඔහු වෙතින් ඉල්ලුම් කෙරෙනු ඇත. ( කේමදාස හා අමරදේව මෙවැනි නිරන්තර අධ්‍යනයන් හා අභ්‍යාසයන් පිලිබඳ ජීවමාන උදාහරනයෝය ) එසේ නොමැති වුවහොත් කසුන් ද රූකාන්ත ගුනතිලක මෙන් විභවයක් පෙන්නුම් කරමින් සංගීතය වෙත පය තබා වර්ධනයක් අත්පත් කර නොගෙන පවතින්නෙකුගේ තත්වයට පත්වීමේ අනතුර ඇත.

පලමු වරට ප්‍රකාශයට පත්වූයේ : ප්‍රභාත් ගලගමගේ – 2008 ජනවාරි

ප්‍රතිචාරයක් ලබාදෙන්න