IPL එකට දැඩි සෞඛ්‍යාරක්ෂාවක්; නීති කැඩුවොත් සෙල්ලම් නෑ

119

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 8 සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ දී එක් කණ්ඩායමකට එක් හෝටලය බැගින් ලබා දීමට තීරණය වී ඇත.  එසේම තරගාවලිය සඳහා සහභාගී වන සියලුම ක්‍රීඩකයින් සහ එහි කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා PCR පරීක්ෂණ දෙකක් සඳහා සහභාගී විය යුතු බව සංවිධායක කමිටුව සඳහන් කර සිටියි.

මෙවර IPL සඳහා තරග 60ක්; ක්‍රීඩාංගණ 3ක්!

එසේම එම සෑම අයකුම 2020 මාර්තු 1 වැනිදා සිට ගමන් කළ ස්ථාන පිළිබඳව ද වාර්තාවක් ලබාගෙන තරගාවලිය නිසා කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීම වෙනුවෙන් කටයුතු කරනු ඇත.

“කිසිදු ක්‍රීඩකයෙක් සඳහා නිරෝධායන කාලසීමාව කඩ කිරීමට හෝ අවසරයක් නොමැතිව වෙනත් ස්ථානයකට යන්න කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. එහෙම කරලා කවුරු හරි අහුවුනොත් ඒ ක්‍රීඩකයාව හරි එම නිලධාරියා හරි එම කණ්ඩායම තුල තවදුරටත් රඳවා ගන්න බැරි වෙයි. ඒ වගේම කිසිම ප්‍රේක්ෂකයෙක්ට තරග නරඹන්න අවස්ථාව දෙන්නේ නැහැ. එහෙම කරන්නේ අපි හැමෝගෙම ආරක්ෂාවටයි. මීට අමතරව ICC විසින් නිර්දේශ කර තිබෙන සියලුම සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්ය වෙනවා” ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ සිටින ඉහළ නිලධාරියෙක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැවසීය.

“තරගාවලිය අතරතුරත් අපි PCR පරීක්ෂණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රීඩකයින් සහ නිලධාරීන් හැකි සැම විටම මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය වෙනවා. සෑම කෙනෙක්ම ඔහුගේ පුද්ගලික කාමරයේ ඉඳන් ඔහුගේ ආහාර ගන්න ඕන. හැකි සෑම විටම මීටරයක දුර පවත්වා ගැනීම අනිවාර්ය වෙනවා. කණ්ඩායම් රැස්වීම් ගන්න කොට වුනත් මීටරයක දුර තියාගන්න එක ගොඩක් වටිනවා. අපි මේ සියලුම කරුණු කාරනා ගැන සියලුම කණ්ඩායම් කළමනාකරුවන් සහ ක්‍රීඩකයින් ඇතුළු නිලධාරීන් ඉදිරි දින කිහිපය තුල දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි එම නිලධාරියා පැවසීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ දී නිල වශයෙන් නිවේදනය කළේය. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දින 53ක් තුල තරග 60ක් පවත්වන පළමු අවස්ථාව මෙය වේ.

මීට පෙර පූර්ණ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක් ඉන්දියාවෙන් පිටත දී පැවැත්වූයේ 2009 වසරේ දී ය. දකුණු අප්‍රිකාවේ දී පැවති එම තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ 8ක් යොදාගෙන තිබුණි.

VIVO IPL වෙනුවට වෙනත් නමක්?

2014 වසරේ දී ඩුබායි, අබුඩාබි සහ සාජා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයූව ද ඔවුන් පවත්වා තිබුණේ තරග 20ක් පමණි.

මෙම තරගාවලිය ඉන්දියාව තුල පවත්වන අවස්ථාවල දී ඒ සඳහා එක් එක් කණ්ඩායම්වල ක්‍රීඩාංගණ 8ක් යොදා ගන්නා අතර ඉන් පරිබාහිර ක්‍රීඩාංගණ ද යොදාගන්නා අවස්ථා ද ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරග ඉසව්වල දී එක් ක්‍රීඩාංගණයක පවත්වන තරග ප්‍රමාණය ඉතාමත් අඩු සංඛ්‍යාවකි.

එසේම කාසියේ වාසිය උරගා බැලීම සඳහා කණ්ඩායම් දෙකේ නායකයින් දෙදෙනා පිටියට යන විට අදාළ තරගය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ නම් ඇතුළත් පිටපත රැගෙන යාම අනිවාර්ය නොවන අතර එය විද්‍යුත් ක්‍රමය හරහා ලබා ගැනීමටත්, සියලුම ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් සඳහා කොරෝනා වයිරසය ආසාදනය විය නොහැකි ලෙස සකස් කරන ලද ඇඳුම් පැලඳ ඔවුන්ගේ සම්බාහන කටයුතු කිරීම අනිවාර්ය වේ.

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<