ප්‍රවීන සිනමා අධ්‍යක්ශ තිස්ස අබේසේකර අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන සිනමා අධ්‍යක්ශ තිස්ස අබේසේකර අප්‍රේල් 18 දා අභාවප්‍රාප්ත විය. සාහිත්‍යධරයෙක්, තිර රචකයෙක්. නිවේදකයෙක් හා ටෙලි නාට්‍ය අධ්‍යක්ශකවරයෙක් ලෙසටද ප්‍රකටව සිටි මේ කලාකරුවාගේ අභාවය පිලිබඳව අපි බලගතු ලෙස සංවේගයට පත් වන්නෙමු.

ක්ශේත්‍ර කිහිපයක සිය දායකත්වය දැක්වූ අබේසේකර රසික අවධානයට වඩාත්ම ලක්වූයේ තිර රචකයෙකු හා සිනමා කරුවෙකු ලෙසය.

“රේඛාව” සිනමා නිර්මානය පිලිබඳව සිදුකල විචාරයක් තුලින් එහි අධ්‍යක්ශ ලෙස්ටර් ජේමිස් පීරිස් සමඟ සමීප ඇසුරකට පත් අබේසේකරට සිය සිනමා ගමන ඇරඹීමට අවස්ථාව සැලසුනි. පීරිස් ගේ “සංදේශය” සිනමා නිර්මානයට සහයක තිර රචකයෙක් ලෙස ඇරඹි ඒ මග සිනමා අධ්‍යක්ශකවරයෙකු දක්වාම ගමන් කිරීමට අබේසේකරට හැකිවිය.

අබේසේකර කැපී පෙනෙන කුසලතා දැක්වූයේ පීරිස් ගේ “නිධානය” (1972) සිනමා නිර්මානයට ඔහු විසින් රචිත තිර රචනය මගිනි. නිසැකවම පීරිස් ගේ මග පෙන්වීම ලැබුවා වූ නමුත්, නිර්මානාත්මක සක්‍යතාව එකී තිර රචනය තුලින් මුදා හැරීමට අබේසේකර සමත්විය. පීරිස් ගේ ගොලු “හදවත” ඇතුලුව චිත්‍ර පටි ගනනාවකටම දෙබස් හා තිර රචකයෙක් ලෙස අබේසේකර පෑ නිර්මානාත්මක දායකත්වය අතිමහත්ය. ඔහුගේ සිනමා ගමනේදී තිර රචනා කල චිත්‍රපට හා ටෙලි නාට්‍ය ප්‍රමානය පනහකට ආසන්න වේ.

කරුමක්කාරයෝ (1989), මහගෙදර (1982) සහ විරාගය (1987) අබේසේකරගේ සිනමා නිර්මානයෝ වෙත්. ඔහුගේ සිනමාව පිලිබඳව සාකච්ඡා කිරීමට මෙය අවස්ථාවක් කර නොගනිමු. කෙසේ වුවද බෞද්ධ සදාචාරයෙන් වසා පැවති සිංහල ගැමි ජීවිතයේ අභ්‍යයන්තරික ඛේදවාචකය ඔහුගේ පලමු චිත්‍රපටය වූ “කරුමක්කාරයෝ” තුලින් පිළිබිඹු කෙරුනු බව සඳහන් කල යුතුවේ. එකී ගැමි සමාජයම පුපුරා ගෙන පැන නැගුනු ගැමි තරුන කැරුල්ල ඔහුගේ දෙවනි නිර්මානය වූ මහ ගෙදරට පාදක වය.

වැඩිහිටි ජීවිතයකට පිවිස සිටි අබේසේකර බෙහෙවින් ජනප්‍රියව පැවති මාර්ටින් වික්‍රමසිංහගේ නවකතාවක් වූ විරාගය සිනමාවට නැගුවේ 1987 වසරේදීය. මාර්ටින් වික්‍රමසිංහගේ සිංහල බෞද්ධ දෘශ්ටියෙන් නව කතාවේ යථාර්තවාදී ගුනය දුබලකලේ යම්සේද සිනමා නිර්මානයේදී ද එකී දුර්වලතාවයෙන් විරාගය මුදා ගැනීමට අබේසේකර සමත් වූයේ නැත. මේ අසමත්කම විදහා පෑවේ, රැඩිකල් සමාජ දැක්මකින්, එකී භාවිතයෙන් ඈත්වීමේ සලකුණයි.

යථාර්තවාදී සිනමාකරුවෙකු ලෙස සමාජ යථාර්තය ඥානනය කිරීමේ වෙහෙසකර අරගලයෙන් ඈත්වීමේ නැඹුරුව පසු කාලීන ඔහුගේ කලා භාවිතයේදි තියුනුව පෙනෙන්නට විය. කලා නිර්මානයන්හි නියැලීම අතහැර අබේසේකර චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරයට පත්වීම එකී නැඹුරුවේ පැතිකඩකි. ධනපති රාජ්‍යයේ වඩ වඩාත් සමීපකයෙකු වීමටත්, රාජ්‍ය පරිපාලන නිලධාරී කා කොටැ ගැනීම් තුලටද, එමගින් අවමානයන්ටද ලක්ව, පැවති කලා කුසලතාවයන් යටපත් කිරීමට අබේසේකර හැරී ගැනීම, ඔහුගේ පුද්ගල දුර්වලතාවයට වඩා සමාජ පංති තුලවූ බලවත් පරිවර්තනය සමඟ බැදී පැවතිනි.

තිස්ස අබේසේකරගේ කලා ජීවිතය ඔහු පදනම්ව පැවති සමාජදෘශ්ටියේ පිලිබිඹුවකි. අබේසේකර සිංහල බෞද්ධ දෘශ්ටිය ඇතුලු ධනේශ්වරය මුදාහැරි ප්‍රතිගාමී දෘශ්ටිවාදයන්ට එරෙහිවූවෙක් ලෙස ප්‍රකටව සිටියේය. තරුන අවධියේ ඔහුගේ සමාජ දෘශ්ටිය ගොඩනැංවීමට සමාජවාදී ලෝක දෘශ්ටිය වූ මාක්ස්වාදය ප්‍රබලව මග පෑදූ බව පෙනේ. සමසමාජ පක්ශයේ අනුගාමිකයෙකු බවට පත්ව සිටීමෙන් ඒ බව තහවුරු වේ. තරුන වියේදී ඔහු ආසක්ත වූ සමාජ දෘශ්ටිය වූ සමාජවාදය ඒ වන විටත් අත්හරිමින් සිටි සමසමාජ පක්ශය වේගයෙන් ධනේශ්වරයේ කොටස්කරුවෙකු බවට පත් වූයේය. පෙර එකී සංවිධානය පිලිකෙව් කල හා එරෙහිව සටන්වැදි ප්‍රතිගාමී දෘශ්ටීන්ගේ තෝතැන්නක් බවට එයම පත්වී තිබිනි.ලෝක ආර්ථික, දේශපාලන හා සමාජීය පරිවර්තනය තුල සිදුවූ දේශපාලනික මධ්‍යම පන්තියේ ප්‍රතිගාමී හැරී ගැනීම ලංකාවේ පිලිබිඹු වූයේ ඒ ස්වරූපයෙනි. තිස්ස අබේසේකර බදු කලාකරුවන් ඇතුලු බුද්ධි ජීවීන්ගේ සමාජ දෘශ්ටිය පිරිහෙලීමේ පසුබිම ඒ මගින් නිර්මානය විය. පසුකාලීනව සිංහල බෞද්ධයෙකු ලෙස පෙනී සිටීමට ඔහු ගත් වෙහෙස, ඒ හා බැදුනු අවිද්‍යාවන්ට ඔහුගෙන් ලැබුණු සහය පෙන්වූයේ ප්‍රතිගාමීත්වයේ ගොදුරක් බවට අබේසේකර ලක්ව පැවති ඛේදවාචකයයි.

මේ අතරතුරේ අශෝක හදගම, ප්‍රසන්න විතානගේ හා පූජිත ජයසුන්දර ගේ නිර්මානවලට රාජ්‍යයෙන් එල්ල වූ තහංචි නියෝගයන්ට, සිංහල වර්ගවාදීන් එල්ලකල තිරස්චීන විවේචනයන්ට අබේසේකර විරෝධය පෑවේය. ඒ වනවිට රාජ්‍ය මර්ධන යන්ත්‍රයේ සමීපකයෙක් හා ප්‍රචාරකයෙක් බවට පත්ව සිටි අබේසේකරගේ එකී විරෝධයන් සටන්කාමී කලා කරුවන්ගේ මෙන්ම රසික ජනතාවගේ ආකර්ශනය දිනා ගැනීමට සමත්වූයේ නැත.

රාජ්‍ය මර්ධනයට එරෙහි ඔහුගේ විරෝධය මෙන්ම සිනමාව, සාහිත්‍ය ඇතුලු ඔහුගේ නිර්මානාත්මක කලා කුසලතාවන් පවතින සමාජ සංස්ථාපිතය තුල ගිලී සැගවුනි. අබේසේකර සියල්ල ඒ සඳහා යටත් කලේය.

ප්‍රගතිශීලී සමාජ දෘශ්ටියෙන් කලාකරුවා වියෝ වූ කල ප්‍රතිගාමීත්වයේ ගොදුරක් බවට පත්වීම වැලැක්විය නොහැකි බව අබේසේකර සිය කලා ජීවිතයෙන් පෙන්වා දුනි.

තතු කෙසේ වුවද, ඔහුගේ කලාත්මක ප්‍රතිදානයන් රසික හදවත් තුල දිගු කලක් නිදන්ගත වනු ඇත.

උදය පේදුරුගේ ‍- 2009 පෙබරවාරි

ප්‍රතිචාරයක් ලබාදෙන්න