ආසියානු කනිෂ්ඨ ශූරයාට වසර හතරක තහනමක්

102
Asian Athletics

මේ දිනවල මලල ක්‍රීඩා තරගාවලි ඉතා අඩු වුවත් තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීම නිසාවෙන් ලෝක ශූරතා දිනූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඇතුළු ක්‍රීඩකයන් රැසක් තරග තහනම්වලට ලක් වනු දක්නට ලැබුණි.

ලෝක ශූරයාගේ කොරෝනා වාර්තාව ගැටලුවක්

මේ අනුව තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීම නිසාවෙන් මිටිය විසි කිරීමේ ඉසව්වෙහි දෙවතාවක්ම ආසියානු කනිෂ්ඨ ශූරයා බවට පත් වූ ඉන්දියානු මලල ක්‍රීඩක Ashish Jakhar හට වසර හතරක තරග තහනමක් පැනවීමට කටයුතු කළ බව National Anti-Doping Agency මගින් දැනුම් දෙන ලදි.

ඉන්දියාවේ හරියානා ප්‍රාන්තය නියෝජනය කරමින් මලල ක්‍රීඩාවට පිවිසි ඔහු 2018 වසරේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී මිටිය විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමට සමත් වීමෙන් අනතුරුව පැවති ලෝක ශූරතා වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ දී මිටිය විසි කිරීම ඉසව්ව හයවැන්නා ලෙස අවසන් කරන ලදි.

එම ජයග්‍රහණවලින් අනතුරුව එම වසරේම පූනේ හිදි පැවති Inter Services Athletics Championships තරගාවලියේ දී ඔහුගෙන් ලබා ගත් සාම්පල් තහනම් උත්තේජක පරීක්ෂණයන්ට යොමු කිරීමෙන් අනතුරුව ඔහු තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට තහවුරු විය.

එම පරීක්ෂණ ප්‍රතිඵලවලින් අනතුරුව ඉන්දීය මිටිය විසි කිරීමේ ජාතික වාර්තාවට පවා හිමිකම් කියූ Ashish Jakhar හට තාවකාලික තරග තහනමක් නිකුත් කිරීමට එරට මත්ද්‍රව්‍ය නාශක බලධාරීන් කටයුතු කළ අතර එම තීරණය අභියෝගයට ලක් කරමින් ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තහනම නිකුත් කිරීමට National Anti-Doping Agency කටයුතු කර තිබුණි.

ඒ අනුව Ashish Jakhar හට වසර හතරක් වන තුරු මලල ක්‍රීඩාවට සම්බන්ධ සියලූම කටයුතු සඳහා සහභාගි වීම තහනම් වන අතර ඔහුට අමතරව ඉන්දීය කවපෙත්ත විසිකිරීමේ ශූරයෙකු වන Prabh Kirpal හට ද තහනම් උත්තේජක ලබා ගැනීම නිසාවෙන් තාවකාලික තහනමක් නිකුත් කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<