“IPL යන්න බැරි වුනා කියලා පසුතැවිල්ලක් නැහැ”

1753

මිචෙල් ස්ටාර්ක් 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවීමට තීරණය කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව ඇත.

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වීමට අවශ්‍ය බව පවසමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවීමට ස්ටාර්ක් තීරණය කළේ පසුගිය වසරේ දීය.

කෙසේ වෙතත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවලංගු වීමත් සමඟින් එම කාල රාමුව තුල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ දී නිවේදනය කළේය.

මෙවර IPL සඳහා තරග 60ක්; ක්‍රීඩාංගණ 3ක්!

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවලංගු වීමත් සමඟින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඔහුට මඟහැරීම පිළිබඳව තමාට කිසිදු පසුතැවීමක් නොමැති බව මිචෙල් ස්ටාර්ක් පසුගිය දා මාධ්‍ය හමුවේ කියා සිටියේය.

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව තුල සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නන් ලැයිස්තුවේ ඉහලින්ම සිටින ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් හැඳින්විය හැක. 

මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තමා ගත් තීරණය ගැන මේ වන විට හැඟෙන ආකාරය මිචෙල් ස්ටාර්ක් පසුගිය දා මාධ්‍ය හමුවේ හෙළිකර සිටියේය.

එහි දී ඔහුගේ තීරණය ගැන පසුතැවෙන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට ස්ටාර්ක් පැවසුවේ තම තීරණය පිළිබඳව තමාට කිසිදු පසුතැවීමක් නොමැති බවයි.  

ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වූ සෑම අවස්ථාවකම දස්කම් දැක්වීමට සමත් විය. නමුත් මේ වේගපන්දු යවන්නාට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ  දීර්ඝ කාලයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීම අවාසනාවකි.

අයර්ලන්තයෙන් එංගලන්තයට අමතක නොවන පාඩමක්

මිචෙල් ස්ටාර්ක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වසර දෙකක් ක්‍රීඩා කළේය. නමුත් එම තරගාවලි දෙකේ දී ම ඔහුට ඇතිවූ ආබාධ නිසා නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදවූයේ නැත. 

ඉන් අනතුරුව ඔහු 2018 තරගාවලිය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා එක්වූ ස්ටාර්ක්ට තරගාවලියට පෙර ඇතිවූ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. 

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ප්‍රකාශයට පත්කළේ පසුගිය වසරේ දී ය. ඒ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2020 වසරේ මාර්තු මාසයේ දී ද, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මාසයේ දී ද පැවැත්වීමට සැලසුම් කර තිබුණි. 

ඒ අනුව 2020 වාරය සඳහා ක්‍රීඩක වෙන්දේසිය නිවේදනය කිරීමෙන් අනතුරුව මේ වසර අග දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සූදානම් වීමට අවශ්‍ය බව පවසමින් ලීගයෙන් ඉවත් වීමට ස්ටාර්ක් තීරණය කළේය.

නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ලොව පුරා පැතිර යාමට ආරම්භ වූ COVID-19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දැමීමට සංවිධායකයන්ට සිදු විය. 

තමන්ට තරගාවලි දෙකක්ම මඟහැරීම පිළිබඳව 30 හැවිරිදි වමත් වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් අදහස් දක්වා සිටියේය. 

“මම දන්නවා මේ සිදු වූ දේ කවුරුත් බලාපොරොත්තු වුන දෙයක් නෙමෙයි. ඒක මමත් පුදුමයට පත්වුන දෙයක්. දැන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෝක කුසලාන තරගාවලිය පවත්වන්න තිබුණ වෙලාවේ පැවැත්වෙනවා. මම මේ ගැන කලින් දැනගෙන හිටියත් මම මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. මේ තීරණය ගැන මට පසුතැවීමක් නැහැ.”  

ඉදිරි වසරවල දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට ඔහුට බලාපොරොත්තුවක් ඇත්දැයි විමසූ විට මිචෙල් ස්ටාර්ක් පවසා සිටියේ කණ්ඩායම් තවමත් ඔහුව තරගාවලියට එක් කරගැනීමට උනන්දු වන්නේ නම් ඉදිරි වසරවල දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට තමන් බලාපොරොත්තු වන බවයි.  

“සැප්තැම්බර් මාසයේ දී හැමෝම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරද්දී මම ගිම්හාන තරගවලට සූදානම් වෙනවා. ඒ නිසා මම ඒ කාලය ගැන සතුටු වෙනවා.”

500 සීමාවට ගිය බ්‍රෝඩ් ඉදිරිය ගැන කියයි

“කණ්ඩායම් මාව ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වෙද්දී මට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්න ඕනෙ උනොත් මම ඊළඟ වසරේ තරගාවලියට එක්වෙනවා. මේ වසරේ තරගාවලියෙන් ඉවත් වෙන්න ගත්ත තීරණය ගැන මම සෑහීමකට පත්වෙනවා” ස්ටාර්ක් තවදුරටත් පවසා සිටියේය.

මිචෙල් ස්ටාර්ක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග 27කට ක්‍රීඩා කර ඇති අතර ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 34කි. 

ඉන්දියාව තුල මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය වී ඇත. ඒ අනුව එහි ක්‍රීඩාංගණ තුනක දී සැප්තැම්බර් 19 සිට නොවැම්බර් 10 දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<