දේශයන් පරයමින් තනිව ඔලිම්පික් පදක්කම් දිනූ විශිෂ්ටයන්

310

ලොව පුරා 14,000කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වන ලොව තරගකාරීම ක්‍රීඩා උළෙල වන ඔලිම්පික් හී පදක්කම් දිනා ගැනීම ඊට සුදුසුකම් ලබා ගැනීම තරම්ම දුෂ්කරය. 

කෙසේ හෝ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තත් රට වෙනුවෙන් කිසිදු පදක්කමක් දිනා නොගෙන හිස් අතින් ක්‍රීඩකයින් නිවෙස් කරා ගිය අවස්ථා ද බොහෝමය. කෙසේ නමුත් ඒ අතර ඔලිම්පික් දිග්විජය කරමින් රටක් වශයෙන් ඇතැම් දේශයන් දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාවටත් වඩා වැඩි පදක්කම් ප්‍රමාණයක් තනිව දිනා ගන්නට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඔලිම්පික් ඉතිහාසයෙන් හමුවෙයි. 

අප්‍රිකානු වීරයාගේ අඩි පාරේ යන ඇමරිකානු යොවුන් ශූරයා

කාර්ල් ලුවිස් (Carl Lewis) 

දිගුදුර ධාවන පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඇමරිකානු ක්‍රීඩක කාර්ල් ලුවිස් තමන් සහභාගී වූ ප්‍රථම ඔලිම්පික් උළෙලේ (1984) මීටර් 100 ඉසව්ව තත්පර 9.99කින් අවසන් කරමින් රන් පදක්කමක් ද, දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් මීටර් 8.54ක දක්ෂතාවයක් දක්වමින් තවත් රන් පදක්කමක් ද දිනා ගැනීමට සමත් විය.

පසුව එම තරගාවලියේම මීටර් 200 ඉසව්ව නියෝජනය කළ ඔහු එහි අවසන් තරගය තත්පර 19.80ක කාලයකින් අවසන් කරමින් ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර මීටර් 100X4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් දිනා ගත් රන් පදක්කම ද සමඟින් රන් පදක්කම් හතරක් සමඟින් එවර ඔලිම්පික් තරගාවලිය නිමා කරන්නට සමත් විය.

Carl Lewis Image Cortesy: Getty Images

 Carl Lewis                                                                           Image Cortesy: Getty Images

පසුව සිය දෙවන ඔලිම්පික් තරගාවලිය වන 1988 ඔලිම්පික් උළෙල නියෝජනය කළ ඔහු එහි මීටර් 100 ඉසව්ව තත්පර 9.92ක කාලයකින් අවසන් කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවත් එම තරගයෙන් දින තුනකට පසුව එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් කැනේඩියානු ක්‍රීඩක බෙන් ජොන්සන් තහනම් උත්තේජක භාවිතා කළ බව තහවුරු වීමෙන් අනතුරුව කාර්ල් හට රන් පදක්කම හිමි විය.

ඉන්පසුව දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 8.72ක දස්කමක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ ඔහු මීටර් 200 ඉසව්ව දෙවැන්නා ලෙස නිමා කරමින් රිදී පදක්කමක් ද දිනා ගනිමින් තරගාවලිය අවසන් කළේය.

සාර්ථක වසර කිහිපයකට පසුව 1992 ඔලිම්පික් උළෙල සඳහා ද සහභාගි වූ ලුවිස් දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 8.67ක දස්කමක් දක්වමින් රන් පදක්කමත්, 100X4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් තවත් රන් පදක්කමත් ද සමඟින් තම දිවියේ අටවැනි ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

පසුව සිය ක්‍රීඩා දිවියේ අවසන් ඔලිම්පික් උළෙල වන 1996 ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වූ කාර්ල් ලුවිස් එම තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් ජයග්‍රහණය කළ රන් පදක්කමත් සමඟින් සිය ඔලිම්පික් ගමන රන් පදක්කම් නවයක් සහ රිදී පදක්කමක් සමඟින් අවසන් කළේ වැඩිම ඔලිම්පික් රන් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පස්වැනි ස්ථානය දිනා ගනිමිනි.

මාර්ක් ස්පිට්ස් (Mark Spitz) 

පිහිනුම් ඉසව් හි කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඇමරිකානු පිහිනුම් ක්‍රීඩක මාර්ක් ස්පිට්ස් 1968 ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 සමනල ආර ඉසව්ව තත්පර 56.4කින් අවසන් කරමින් රිදී පදක්කමකුත්, මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් ලෝකඩ පදක්කමකුත් දිනා ගැනීමට සමත් විය.

පසුව ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරමින් 4×100-meter freestyle relay සහ 4×200-meter freestyle relay ඉසව් හි රන් පදක්කම් දිනා ගැනීමට සමත් වෙමින් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් එවර තරගාවලිය අවසන් කරන්නට ඔහුට හැකි විය. 

පසුව සිය ක්‍රීඩා දිවියේ සාර්ථකම ඔලිම්පික් තරගාවලිය වන 1972 ඔලිම්පික් උළෙල නියෝජනය කළ ඔහු එහි මීටර් 200 නිදහස් ආර (මිනිත්තු 1:52.78), මීටර් 100 නිදහස් ආර (තත්පර 51.22), මීටර් 100 සමනල ආර (තත්පර 54.27) සහ මීටර් 200 සමනල ආර (මිනිත්තු 2:00.70) ඉසව්වල දී ලෝක වාර්තාවන් සමඟ ජයග්‍රහණය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

Mark Spitz                                                                                         Image Courtesy: Getty Images

පසුව එම තරගාවලියේම මීටර් 100X4, 200X4 නිදහස් ආර සහය සහ 100X4 සහය පිහිනුම් ඉසව් හී ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරමින් ද රන් පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් වූ අතර සමස්ත තරගාවලිය පුරාවට රන් පදක්කම් හතක් දිනා ගනිමින් ක්‍රීඩා තරගාවලියක දී වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගත් ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාස ගත විය. (පසුව මෙම වාර්තාව මයිකල් ෆෙල්ප්ස් විසින් බිඳ හෙලන ලදි) 

එම තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කළ මාක් ඔලිම්පික් ක්‍රීඩා දිවිය තුල රන් පදක්කම් නවයක්, රිදී පදක්කමක් සහ එක් ලෝකඩ පදක්කමක් සමඟින් සමස්ත පදක්කම් එකොළහක් දිනා ගන්නට ඔහු සමත් විය.

පාවෝ නුර්මි (Paavo Nurmi)

ෆින්ලන්තය නියෝජනය කරමින් දිගුදුර සහ මැදිදුර ධාවන ඉසව් හි කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ පාවෝ නුර්මි මීටර් 5000 ඉසව්ව දෙවැන්න ලෙස අවසන් කරමින් රිදී පදක්කමකින් සිය ඔලිම්පික් ගමන ආරම්භ කළේය. ඉන්පසුව පැවති රට හරහා දිවීමේ කේවල තරගයකින් සහ කණ්ඩායම් තරගයකින් රන් පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් විය.

පසුව එම තරගාවලියේ මීටර් 10,000 දිවීමේ තරගය ද මිනිත්තු 31:45.8ක කාලයකින් අවසන් කරමින් දිනූ රන් පදක්කමත් සමඟින් රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් සමඟින් එවර තරගාවලිය අවසන් කිරීමට සමත් විය.

වූ ආබාධයක් සමඟ 1924 ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වූ ඔහු මීටර් 1500 ඉසව්ව මිනිත්තු 3:53.6කින් අවසන් කරමින් ඔලිම්පික් වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 5000 ඉසව්ව මිනිත්තු 14:31.2කින් අවසන් කරමින් එම ඉසව්වේ ද ඔලිම්පික් වාර්තාවක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.

Paavo Nurmi                                                    Image Courtesy: Getty Images

එම ජයග්‍රහණයන්ට අමතරව රට හරහා දිවීමේ කේවල ඉසව්වෙන් සහ කණ්ඩායම් ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් වූ අතර මීටර් 3000 කණ්ඩායම් ඉසව්වෙන් දිනා ගත් රන් පදක්කම ද සමඟින් රන් පදක්කම් පහක් සමඟින් තරගාවලිය අවසන් කිරීමට ඔහු සමත් විය.

සාර්ථක ඔලිම්පික් තරගාවලි ද්විත්වයකින් පසුව 1928 ඔලිම්පික් උළෙල ද නියෝජනය කළ ඔහු මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 30:18.8ක කාලයකින් අවසන් කරමින් ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

තරගාවලිය අතරතුර දී ඇති වූ පාදයේ ආබාධයක් ද සමඟින් මීටර් 5000 සහ මීටර් 3000 බාධක දිවීමේ ඉසව් ද නියෝජනය කළ ඔහු එම ඉසව්වල දී රිදී පදක්කම දිනා ගනිමින්, රන් පදක්කමක් සහ රිදී පදක්කමක් සමඟින් තරගාවලිය අවසන් කිරීමට සමත් විය.

සිය ඔලිම්පික් ක්‍රීඩා දිවිය තුල රන් පදක්කම් නවයක් සහ රිදී පදක්කම් තුනක් සමඟින් පදක්කම් 12ක් දිනා ගැනීමට සමත් වූ නුර්මි ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කම් සමඟින් වැඩිම පදක්කම් දිනා ගත් ක්‍රීඩකයන් අතර තෙවැනි ස්ථානයේ පසුවේ.

Larisa Latynina

සෝවියට් දේශය නියෝජනය කරමින් ජිම්නාස්ටික් ක්‍රීඩා ඉසව්වල දී ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ Larisa Latynina 1956 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී Individual all-around, Team all-around, Floor exercise සහ Vault යන ජිම්නාස්ටික් ඉසව්වන්හී රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. 

එම ජයග්‍රහණවලට අමතරව Uneven bars ඉසව්වේ රිදී පදක්කමත්, Team, portable apparatus ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගනිමින් තරගාවලිය අවසානයේ රන් පදක්කම් හතරක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සිය රට වෙනුවෙන් දිනා දෙන්නට සමත් විය.

පසුව සිය දෙවැනි ඔලිම්පික් තරගාවලිය ලෙස 1960 ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ ඇය Individual all-around, Team all-around සහ Floor exercise යන ඉසව්වන්හී රන් පදක්කම් දිනා ගනිමින් සිය ආධිපත්‍ය  තවදුරටත් රැක ගැනීමට සමත් විය.

Larisa Latynina                                                   Image Courtesy: Getty Images

පසුව Uneven bars සහ Balance beam ඉසව් හි රිදී පදක්කම් ද, Vault ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් වූ ඇය සමස්ත තරගාවලිය පුරාවට රන් පදක්කම් තුනක් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් තරගාවලිය අවසන් කිරීමට සමත් විය.

එම ජයග්‍රහණවලින් අනතුරුව සිය අවසාන ඔලිම්පික් තරගාවලිය වන 1964 ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ ඇය Floor exercise සහ Team all-around යන ඉසව් හි රන් පදක්කම් දිනා ගන්නට සමත් විය.

එම ජයග්‍රහණවලට අමතරව Individual all-around සහ Vault ඉසව් හි රිදී පදක්කම් ද, Uneven bars සහ Balance beam යන ඉසව් හි ලෝකඩ පදක්කම් ද දිනා ගනිමින් තරගාවලිය අවසන් කළාය. 

ඔලිම්පික් උළෙලවල් තුනක් නියෝජනය කිරීමෙන් අනතුරුව රන් පදක්කම් නවයක් රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් හතරක් සමඟින් පදක්කම් 18ක් දිනා ගැනීමට ඇය සමත් වූවාය. 

මයිකල් ෆෙල්ප්ස් (Michael Phelps)

ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් පිහිනුම් පිටියේ සුපිරි දස්කම් දැක්වීමට සමත් වූ මයිකල් ෆෙල්ප්ස් ළාබාල වියේ දී ම ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් වූ අතර 2004 ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ 400-meter individual medley ඉසව්ව මිනිත්තු 4:08.26ක කාලයකින් අවසන් කරමින් ලෝක වාර්තාවක් ද සමඟින් සිය ප්‍රථම රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

පසුව එම තරගාවලියේ මීටර් 200 සමනල ආර (මිනිත්තු 1:54.04), 200m medley (මිනිත්තු 1:57.14), 400m medley (මිනිත්තු 4:08.26) යන කේවල ඉසව් නව ලෝක වාර්තා ද සමඟින් ජයග්‍රහණය කරන්නට ඔහු සමත් වූ අතර 200X4 නිදහස් ආර සහය සහ 100X4 සහය ඉසව් හි ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරමින් රන් පදක්කම් දිනා ගන්නට ද සමත් විය.

එම ජයග්‍රහණවලට අමතරව මීටර් 200 නිදහස් ආර සහ 100X4 සහය පිහිනුම් නිදහස් ආර ඉසව්වන්ගේ ද ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූ ඔහු, තමන් සහභාගී වූ ප්‍රථම ඔලිම්පික් තරගාවලියේ දී ම රන් පදක්කම් හයක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟින් තරගාවලිය සාර්ථකව අවසන් ලදි.

එම ජයග්‍රහණයෙන් වසර කිහිපයකට පසුව තම දිවියේ සාර්ථකම ඔලිම්පික් තරගාවලිය වන 2008 ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ ඔහු මීටර් 200 නිදහස් ආර (මිනිත්තු 1:42.96), මීටර් 100 සමනල ආර (තත්පර 50.58), මීටර් 200 සමනල ආර (මිනිත්තු 1:52.03), 200m medley (1:54.23), 400m medley (මිනිත්තු 4:03.84) යන කේවල ඉසව් නව වාර්තා ද සමඟින් විජයග්‍රහණය කරන්නට සමත් විය.

පසුව ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරමින් 200X4 නිදහස් ආර සහය පිහිනුම්, 100X4 නිදහස් ආර සහය පිහිනුම් සහ 100X4 medley ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් වූ අතර සමස්ත ඔලිම්පික් තරගාවලිය තුළ දී රන් පදක්කම් අටක් දිනා ගනිමින් තරගාවලියක් තුළ වැඩිම රන් පදක්කම් දිනූ ක්‍රීඩකයා ලෙස ද ඉතිහාස ගතවිය.

තවත් විශේෂාංග ලිපි:

පිහිනුම් තරගවල දී දිගින් දිගටම දැක්වූ අසීමිත දස්කම් නිසාවෙන් පියාසර කරන මත්ස්‍යයා යන අනුවර්තීය නාමයෙන්ද ද හැඳින්වූ ෆෙල්ප්ස්, 2012 ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 100 සමනල ආර සහ 200m medley යන ඉසව් හි සිය ආධිපත්‍ය එලෙසෙම රඳවා ගනිමින් රන් පදක්කම් ජයග්‍රහණය කරන්නට සමත් විය.

කෙසේ නමුත් සිය සුපුරුදු ඉසව්වක් වූ මීටර් 200 සමනල ආර ඉසව්වේ දෙවැන්නා ලෙස පසුබෑමට ඔහුට සිදු වූ අතර සහය ඉසව් හිද ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගනිමින් සමස්ත තරගාවලිය තුල රන් පදක්කම් හතරක් සහ රිදී පදක්කම් දෙකක් ජයග්‍රහණය කරන්නට ඔහු සමත් විය.

සාර්ථකව ඔලිම්පික් තරගාවලි තුනකින් පසුව සිය අවසන් ඔලිම්පික් උළෙල වන 2016 රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කළ ඔහු මීටර් 200 සමනල ආර සහ 200m medley ඉසව් හි රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 100 සමනල ආර ඉසව්වේ දී අවාසනාවන්ත ලෙස පසුබෑමකට ලක් වෙමින් දෙවැන්නා ලෙස තරගය නිමා කරන ලදි.

කෙසේ නමුත් ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරමින් සහය පිහිනුම් ඉසව්න් සඳහා සහභාගි වූ ඔහු කරමින් 200X4 නිදහස් ආර සහය පිහිනුම්, 100X4 නිදහස් ආර සහය පිහිනුම් සහ 100X4 medley ඉසව් හි රන් පදක්කම් දිනා ගනිමින් සමස්ත තරගාවලිය අවසානයේ රන් පදක්කම් පහක් සහ එක් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ඔලිම්පික් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ද ඇතමුන් මයිකල් ෆෙල්ප්ස් හඳුන්වන අතර ඔහු ඔලිම්පික් තරගාවලි හතරක් පුරාවට රන් පදක්කම් 23ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් සමඟින් පදක්කම් 28ක් දිනා ගනිමින් වැඩිම රන් පදක්කම් සමඟින් පදක්කම් දිනූ ක්‍රීඩකයන් අතර මුල් ස්ථානයේ පසු වේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<