බංග්ලාදේශ ක්‍රිකට් සහ දඬුවම් විඳින හිටපු නායකයා

1598

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක Shakib Al Hasan හට පැනවූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටින්නේ තමන් අතින් වැරදි සිදු වූ බවට ඔහු පිළිගන්නා බවයි.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Deep Dasgupta විසින් මෙහෙයවනු ලබන ESPNcricinfo හි Cricketbaazi වැඩසටහන් මාලාව සමඟ එක්වෙමින් මේ පිළිබඳව අදහස් දැක්වූ Shakib පවසා සිටින්නේ ඔහුගේ මෙම සිදුවීම අනෙක් ක්‍රීඩකයින් හට එවන් ක්‍රියාවලින් වැළකී සිටීමට ආදර්ශයක් සපයනු ඇති බවයි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන නීති සංග්‍රහය උල්ලංඝණය කිරීමට අදාළ චෝදනා 3කට පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී Shakib තමන් වැරදිකරු ලෙස පිළිගනු ලැබූ අතර ඒ අනුව එහි දී ඔහුට දඬුවම් ලෙස වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පනවන්නට කටයුතු කෙරිණි. 

2018 වසරේ ජනවාරි මාසයේ දී පැවති තුන්කොන් තරගාවලියක දී සහ එම වසරේම ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය යටතේ ඔහු ක්‍රීඩා කරනු ලැබූ Sunrisers Hyderabad කණ්ඩායම සහභාගී වූ එක් තරගයක දී වෙනත් පාර්ශවයන් ඔහු වෙත ඉදිරිපත් කර තිබූ දූෂිත යෝජනාවන් ඔහු විසින් වාර්තා කිරීමට අපොහොසත් වීමට අදාළව ඔහුට මෙම චෝදනා එල්ල වන්නට විය. 

Shakib Al Hasan (Source: sportstar.thehindu.com)

කෙසේ නමුත් එළඹෙන ඔක්තෝබර් මස 29 වැනි දින ඔහුගේ මෙම තරග තහනම අවසන් වීමත් සමඟ ඔහුට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමේ අවස්ථාව හිමි වේ. 

ඒ අනුව මේ පිළිබඳව අදහස් දක්වමින් Shakib පවසා සිටින්නේ;

“අපි අවංක වෙන්න ඕන. අපිට බෑ මිනිස්සුන්ට බොරු කියලා ඒ දේවල් වුනේ නැති විදිහට බොරුවට හැසිරෙන්න. වෙච්ච දේ දැන් වෙලා ඉවරයි. ඕනෙම මනුස්සයෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. මොකද අපි කවුරුත් 100%ක් සර්ව සම්පූර්ණ නැහැනේ. ඒ නිසා වැදගත් දේ තමයි ඒ වගේ වැරැද්දක් වුනාම ඊට පස්සේ එතැනින් ඉදිරියට එන්නේ කොහොමද කියන එක. අපිට පුළුවන් අනිත් අයට කියන්න ඒ වගේ වැරදි කරන්න එපා කියන එක වගේම ඔවුන් කවදාවත් ඒ වගේ වැරදි පාරවල්වල නොයන්න ඔවුන්ට හරි මාර්ගය පෙන්නලා දෙන එක වගේ දේවල් කරන්න. 

මට පළවෙනි දවසේ ඉඳලාම ඕනේ වුනේ අවංකව කටයුතු කරන්න. අනෙක් ක්‍රීඩකයෝ මගෙන් ප්‍රශ්න අහද්දී මම කිසිම දෙයක් ඔවුන්ගෙන් හැංගුවේ නැහැ. මම ඔවුන් සමඟ කෙළින් කතා කළා. මගේ අතින් වැරදි වුනා කියලා මම පිළිගන්නවා. ඒ වගේ දෙයක් මං වගේ ක්‍රීඩකයෙක් අතින් වෙන්න ඕන නැහැ තමයි. ඒත් මම ඒකට සමාව අරන් ඉන්නේ. දැන් මට ඕන ඒක අමතක කරලා ඉස්සරහට යන්න. ඒ වගේම මට අවශ්‍යයි අනෙක් ක්‍රීඩකයිනුත් මේකෙන් පාඩමක් ඉගෙන ගෙන මේ වගේ වැරදි කවදාවත් නොවෙන්න වගබලා ගන්න කටයුතු කරන එක.”

2009 වසරේ දී Shakibව බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස පත්වීමෙන් අනතුරුව අවස්ථාවන් කිහිපයක දී ම මතභේදාත්මක සිදුවීම් රැසකට මුහුණ දෙන්නට ඔහුට සිදු විය. ඒ අනුව එහි දී ඔහු සහ එරට ක්‍රිකට් ආයතනයේ සභාපති, තේරීම් කම්ටුව සහ මාධ්‍ය ආයතන සමඟ ගැටලුකාරී තත්වයන් පැනනඟින්නට වූ අතර තේරීම් කමිටුව විසින් ගනු ලැබූ සමහරක් තීරණ හා 2009-2010 වසර අතර කාලය තුළ ඔහුව කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස පත්නොකිරීම වැනි සිදුවීම් හේතුකොටගෙන ප්‍රධාන වශයෙන් එම ගැටුම්කාරී තත්වයන් හටගන්නට විය. 

කෙසේ නමුත් ඒවා පිළිබඳව අදහස් දක්වමින් Shakib පවසා සිටින්නේ එම අත්දැකීම් ඔහුට පුද්ගලයෙකු ලෙස වෙනස් වීමට ඉවහල් වූ බවයි. 

“මම හිතනවා ඒක ඒ දෙකේම එකතුවක් කියලා. මට ඒ නායකත්වයේ වගකීම ලැබුණේ මම ගොඩක් තරුණ වයසක දී. ඒක නිසා මගේ අතින් ඕන තරම් වැරදි වෙන්න ඉඩකඩ තිබුණා. මොකද කණ්ඩායමේ නායකයා වෙනකොට මගේ වයස අවුරුදු 21යි. ඉතින් මගේ අතින් ගොඩක් වැරදි වුනා. ඒවා නිසා මිනිස්සු මං ගැන ගොඩක් දේවල් හිතනවා. ඒත් අද වෙනකොට මට තේරෙනවා ඒ සමහර අවස්ථාවන් වල මගේ අතිනුත් වැරදි වුනා කියලා. ඒ වගේම තවත් අවස්ථාවන් වල ඒවාට හේතු වෙලා තියෙන්නේ වැරදි වැටහීම්. ඒත් දැන් මට ඒවා හොඳට තේරෙනවා. ඒ හැමදෙයක්ම අපිට ක්‍රීඩාවේ දී අත්විඳින්න වෙන සාමාන්‍ය දේවල්. 

ඇත්තටම මම මගේ වැරදි පුළුවන් තරම් අඩුකරගන්න උත්සාහ කරනවා. ඒත් දැන් මම විවාහ වෙලා ළමයි දෙන්නෙකුත් ඉන්නකොට මට ජීවිතේ ගැන වගේම ක්‍රීඩාව ගෙනත් කලින් තිබුනට වඩා හොඳ අවබෝධයක් තියෙනවා. ඒවා එක්ක මම වයස විසි ගණන්වල හිටියට වඩා දැන් ගොඩක් සන්සුන් කෙනෙක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දී මං ගොඩක් වෙනස් වෙලා ඉන්නේ. මිනිස්සුන්ට දැන් මම ගොඩක් වැරදි කරනවා බලාගන්න ලැබෙන්නේ නැහැ. මගේ දුවලා දෙන්නා තමයි මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ.”

Shakib හට බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ නායකත්වය හිමිවන විට ඒ තුළ Mohammad Ashraful සහ Mashrafe Mortaza වැනි ඔහුට වඩා අත්දැකීම් බහුල, ඔහුට පෙර කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයින් ද ක්‍රීඩා කරනු ලැබූ අතර ඒ අනුව එවන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට නායකත්වය ලබා දීමේ දී ඔහු ලැබූ අත්දැකීම් පිළිබඳව ද ඔහු මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වා සිටින්නට විය. 

2011 ක්‍රිකට් ලෝක කුසලානය දක්වා මාස 18ක කාලයක් තුළ බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය Shakib සහ Mortaza අතර හුවමාරු වන්නට වූ අතර එම කාලසීමාව බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ අපහසු මෙන්ම අර්බුදකාරී කාල වකවානුවක් වන්නට විය. 2009 සහ 2010 වසරවල දී Mortaza හට ආබාධ තත්වයන් කිහිපයකටම මුහුණ දෙන්නට සිදු වූ අතර ඒ හරහා සමහරක් තරගාවලි අතරතුර මෙන්ම තරග අතරතුර දී ද කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම පැවරුණේ ඒ වන විට ඉතා තරුණ ක්‍රීඩකයෙක්ව සිටි Shakibගේ උරහිස මත යි. 

කෙසේ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් එම කාල වකවානුව තුළ කණ්ඩායමට ස්ථිර හා නිත්‍ය නායකයෙක් පත්කරනවා වෙනුවට සිදු කරනු ලැබුවේ තරගාවලියෙන් තරගාවලියට කණ්ඩායමේ නායකයා නම් කිරීමට කටයුතු කිරීමයි. එරට ක්‍රිකට් ආයතනයේ මෙම පියවරත් සමඟ එහි දී Shakib සහ ඔවුන් අතර ගැටලුකාරී තත්වයක් පැනනඟින්නට විය. 

කෙසේ නමුත් අනතුරුව 2011 වසරේ දී Shakibව කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස පත්කෙරුණත් ඔහුට නායකත්ව වගකීම් දැරීමට හැකි වූයේ මාස 7ක පමණ කෙටි කාලයක් වන අතර එහි දී බංග්ලාදේශය ඉහළ දක්‍ෂතා දැක්වීමට අපොහොසත් වූ එම වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලිය සහ අනතුරුව ඔවුන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ මුහුණ දුන් තරගාවලි පරාජයත් සමඟ ඔහුගේ එම නායකත්ව කාලසීමාව අසාර්ථක අවසානයකට මුහුණ දෙන්නට විය. 

තවත් කියවන්න;

අවසාන වශයෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් Shakib පවසා සිටියේ;

“මට කවදාවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නිසා අපහසුතා වලට මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. ඉතින් ඒක කවදාවත් මට ප්‍රශ්නයක් වුනේ නැහැ. ගැටලුව වුනේ අපි එකදිගට ජයග්‍රහණ වාර්තා කරගන්න අපොහොසත් වෙච්ච කණ්ඩායමක් වුන එක. ඉතින් අපි ගොඩක්ම අවධානය යොමු කළේ අපි ක්‍රීඩා කරන විදිහ වැඩිදියුණු කරගන්න. ඒත් ක්‍රීඩා පිටියෙන් පිටතත් හැමවෙලේම ගොඩක් ප්‍රශ්න තිබුණා. අපි මොකක්හරි දෙයක් මාධ්‍යයට කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම වෙනත් දිශාවකට යොමු වුනා. ඒත් අද වෙද්දී මට හිතෙනවා ඒ දේවල් මගේ ජීවිතයට අවශ්‍ය වෙලා තිබුණ දේවල් කියලා. මොකද ඒ දේවල් මම අද මේ ඉන්න තත්වෙට එන්න ගොඩක් ඉවහල් වුනා.”

Shakib හට මේ වන විට පැනවී තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනම එළඹෙන ඔක්තෝබර් මස 29 වැනි දින අවසන් වීමත් සමඟ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. 

espncricinfo.com වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙන් රචනා කරන ලද්දකි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<