IPL තරගාවලියට කැපී පෙනෙන වෙනසක්!

263

IPL තරගාවලියේ අනාගතය සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරාවට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වන ආකාරය ක්‍රීඩාලෝලී ඔබ අප සියලුදෙනාටම සුලභව දැකගන්නට ලැබුනු දර්ශනයක් බවට පත්වී තිබුනි. 

CSK සාර්ථකත්වයට මඟපෑදූ Dhoniගේ සහජ බුද්ධිය

පැවැත්වීම අවිනිශ්චිත මට්ටමක තිබූ 2020 තරගවාරයට නව ජීවයක් එක් කරමින් තරගාවලිය ඉදිරියට පැවැත්වීම සඳහා ඉන්දීය රජයේ පාර්ශවයෙන් අවසර හිමි වීමත් සමඟ පැවති තත්වයෙහි පැහැදිලි වෙනසක් මේ වන විට සිදුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටිති. 

ඒ අනුව 13 වන වරටත් ක්‍රියාත්මක වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙවර සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිරිනැමීමට තරගාවලි සංවිධායක කමිටුව අවසන් තීරණයකට එළඹ තිබෙන්නේ COVID-19 වසංගතයේ බලපෑමත් සමඟ ඉන්දියාව තුළ තරගාවලිය දියත් කිරීමට සුදුසු වාතාවරණයක් තවමත් සකස් වී නොමැති නිසාවෙනි. තරගාවලිය සැප්තැම්බර් මස 19 වනදා සිට නොවැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ. 

ශූරතාවය සඳහා සටන් වදින සියලුම කණ්ඩායම් දැනටමත් ඔවුන්ගේ පුහුණු කඳවුරු දියත් කරන ආකාරය සම්බන්ධයෙන් සැලසුම් සකස් කර ඇති අතර ඔවුන්ගේ සෑම වැඩ කටයුත්තක්ම ජෛව-ආරක්ෂණ වැඩපිළිවෙලට අනුකූලව ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බව අදාල කණ්ඩායම් කළමනාකාරීත්වයන් වැඩිදුරටත් සඳහන් කර තිබුනි. 

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ලොකු වෙයි?

මෙවර තරගාවලියේ දී දැකගත හැකි තවත් එක් සුවිශේෂී කාරණාවක් වන්නේ දිවා-රාත්‍රී තරග සියල්ලක්ම පාහේ ප. ව. 7.30ට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබීමයි. මින් පෙර ක්‍රියාත්මක කළ තරග කාලසටහන්වලට අනුව ප. ව. 8.00ට ආරම්භ වූ තරගයක් සම්පූර්ණ කාලසීමාවම ක්‍රීඩා කළහොත් අවසන් වීමට නියමිතව තිබුනේ මධ්‍යම රාත්‍රි 12ට ආසන්නවයි. 

මෙම ගනු ලැබූ තීරණය පිළිබඳව බොහෝ ක්‍රිකට් විචාරකයින් ඔවුන්ගේ ප්‍රසාදය පළකර තිබූ අතර හිටපු ඉන්දීය පිතිකරු ආකාශ් චොප්‍රා මහතා ද එම තීරණයට පක්ෂව ඔහුගේ මතය ඉදිරිපත් කර තිබුනේ ඔහුගේ පෞද්ගලික Youtube නාලිකාවට පණිවුඩයක් නිකුත් කරමිනි. 

“IPL රාත්‍රි තරග 7.30ට ආරම්භ කරන්න ගත්ත තීරණය ඉතාමත් හොඳ එකක්. ඉන්දියාවේ වුනත් තරග සංවිධානය කරද්දී 7.30න් පස්සේ ආරම්භ කරනවට මගේ ඒ තරම් කැමැත්තක් නැහැ. මොකද පරක්කු වෙලා පටන් ගත්තහම ඒ තරගේ ඉවර වෙනකොට 11.30 නැත්තම් මධ්‍යම රාත්‍රි 12 වගේ වෙනවා.” 

ඉන්දීය මධ්‍යම රජය විසින් තරගාවලිය පැවැත්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසු යැයි අනුමත කිරීමත් සමඟම ඉරිදා (02) දිනයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් නිල  ප්‍රකාශයක් නිකුත් කරමින් මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කර තිබුනි.

අසාර්ථක සංචාරයකින් Kohli සාර්ථකත්වය ළඟාකරගත් රහස

එම ප්‍රකාශයෙහි තරගාවලිය පවත්වන දින වකවානු සහ තරග ආරම්භ කෙරෙන වේලාවන් ආදී සියලුම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කිහිපයක්ම අන්තර්ගත කර තිබූ අතර තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සහ ඒවායේ ආරක්ෂිත වටපිටාවක් සකස් කරන ආකාරය පිළිබඳව ද විග්‍රහක් ඇතුළත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<