CSK සාර්ථකත්වයට මඟපෑදූ Dhoniගේ සහජ බුද්ධිය

132

පන්දුවාර 20 තරග ආකෘතිය ස්වභාවයෙන්ම ඉතා අස්ථිර එකක් වුවත් MS Dhoniගේ Chennai Super Kings කණ්ඩායම මේ දක්වා ඔවුන් සහභාගී වී ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලි 10 දී ම පිළිමළුන් පිටුදැකීමේ වටය දක්වා සුදුසුකම් ලබා ගන්නට සමත්ව ඇත්තේ අඛණ්ඩව දක්‍ෂතා අතරට පැමිණෙමිනි. 

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔවුන්ට එරෙහිව ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද ක්‍රීඩා කර ඇති හිටපු ඉන්දීය සුපිරි පිතිකරුවෙකු වන Rahul Dravid විසින් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ එම සාර්ථකත්වයට හේතුව නිවැරදි ලෙස දත්ත භාවිතය හා Dhoniගේ ඉව සහ සහජ බුද්ධිය යන සාධක දෙකේ මනා සංයෝගය බවයි.  

ඉන්දියාවේ Great Lakes Institute of Management විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර්ජාලය හරහා පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් Dravid මේ පිළිබඳව අදහස් පළකර සිටින්නට වූ අතර ඒ සඳහා Chennai Super Kings (CSK) කණ්ඩායමේ හිමිකාරිත්වය දරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) හිටපු ප්‍රධානියෙකු සහ India Cements සමාගමේ ප්‍රධානී N. Srinivasan ද එක්ව සිටින්නට විය. 

“අපි CSK කණ්ඩායමේ සාර්ථකත්වය දිහා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ඔවුන්ට දත්ත ලබා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් වගේම ප්‍රවේශයක් තියෙනවා. ඒ වගේම ඔවුන්ට ක්‍රීඩා පිටියෙන් පිටත ඉන්න පුද්ගලයින් සමඟත් හොඳ සම්බන්ධතා තියෙනවා. තවදුරටත් ඔවුන් සතුව කනිෂ්ඨ තලය තුළ ක්‍රිකට් කණ්ඩායම් පවා සිටිනවා. ඔවුන් දක්‍ෂතාවය කියන දේ හොඳින් තේරුම් අරන් ඉන්නේ. මොකද ඔවුන් සතුව හොඳ ක්‍රීඩකයින් සොයා ගැනීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඊට අමතරව ඔවුන් ළඟ තියෙන වටින ම දේ තමයි සහජ බුද්ධිය සහ ඉව කියන එක හොඳින් තේරුම් ගත්ත නායකයෙක් ඔවුන්ට ඉන්න එක. Dhoniව මම හොඳින් ම හඳුනනවා සහ මම හිතනවා ඔහු වෙනස් වෙලා නැහැ කියලා. ඒත් මම දන්නවා Dhoni සාමාන්‍යයෙන් දත්ත සහ සංඛ්‍යාලේඛන දිහා බලන ඒවා අනුගමනය කරන කෙනෙක් නෙමෙයි කියලා. 

ඒ වගේම ඔවුන් ඒ තරම්ම ක්‍රීඩක වෙන්දේසි ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නෙත් නැහැ. මොකද සාමාන්‍යයෙන් CSK කණ්ඩායම තෝරගන්න විදිහට ක්‍රීඩකයින් 25ක හෝ 28ක සංචිතයක් තොරගන්නකොට ඔවුන්ට විශාල තොරතුරු ප්‍රමාණයක් ඕනේ වෙනවා. මොකද තෝරගන්න ඉන්න ක්‍රීඩකයෝ ප්‍රමාණය ගොඩක් වැඩියි. ඉන්දියාවේ වගේම වෙනත් රටවල්වලත් ක්‍රීඩා කරන එතැන ඉන්න ක්‍රීඩකයින් දහස් ගාණකින් හැම කෙනා ගැන ම ඔවුන්ට බලන්න හැකියාවක් නැහැනේ නේද?

එතකොට ඔවුන්ගේ තීරණ ගොඩක්ම රඳා පවතින්නේ දත්ත සහ ඔවුන් නිර්මාණය කරගත්ත ප්‍රමිති මත. මම හිතනවා මෙතැන දී නිවැරදි ලෙස ප්‍රමිති හදාගැනීම කියන එක ගොඩක්ම වැදගත් දෙයක් කියලා මොකද CSK කණ්ඩායම ඔවුන්ගේ සංචිතය එකතු කරගනිද්දී ඔවුන් ඒක අනිවාර්යයෙන් ම කරන දෙයක්. එතැන ඉඳන් ඊට පස්සේ ඔබ කණ්ඩායම පුහුණුකරුට සහ නායකයාට බාර දුන්නට පස්සේ වැදගත්ම දේ තමයි ඉව සහ සහජ බුද්ධිය හොඳින් තියෙන වගේම ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් ඉන්න එක. ඉතින් Dhoni ගත්තොත් ඔහු ඒක හොඳටම කරනවා.

තරගයක හෝ තරගාවලියක උණුසුම්ම අවස්ථාවක් ගත්තොත් එතකොට ඔබ සතුව ඔබේ විශ්ලේෂණය තියෙනවා, පුහුණුකරු ඉන්නවා වගේම ඒ වෙනකොට බොහෝදුරට ඔබ තරගය සැලසුම් කරලා තියෙන්නේ. ඒත් තරගවල, විශේෂයෙන්ම පන්දුවාර 20 තරගවල සමහර ගොඩක් වැදගත් අවස්ථා එනවා යොමුකරන හැම පන්දුවාරයක්ම ගොඩක් තීරණාත්මක වෙන. එතකොට ඔබට හැමවෙලේම කලින් සිදු වුන සිදුවීම් හරහා එකතු කරගත්ත දත්ත මතම යැපෙන්න බැහැ. ඒ අදාළ දවසේ දී ඒ අදාළ ක්‍රීඩකයා හොඳ තත්වයක නොසිටින්න පුළුවන් හෝ එහෙමත් නැත්නම් නායකයාට තේරෙන්න පුළුවන් ඒ අවස්ථාව වෙනකොට ඒ ක්‍රීඩකයා ඔහුගේ උපරිම දක්‍ෂතා අතර නැහැ කියලා. අන්න ඒ වගේ වෙලාවට තමයි තරගය හොඳින් තේරුම්ගන්න පුළුවන්, ඉව සහ සහජ බුද්ධිය හොඳින් තියෙන නායකයෙක් අවශ්‍ය වෙන්නේ. Dhoniට ඒක පැහැදිලිව ම හොඳින්ම තියෙනවා.”

Dhoni සතු එම ඉව සහ බුද්ධිය ඔහු හොඳින්ම උපයෝගී කර ගනු ලැබූ අවස්ථාවක් ලෙස 2010 IPL තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රතිවාදී Mumbai Indians ක්‍රීඩක Kieron Pollardව දවා ගැනීම සඳහා ඔහු යොදා ගත් තරමක් අසාමාන්‍ය පන්දු රැකීමේ සැකසුම පෙන්වා දිය හැක. Pollardගේ ප්‍රහාරාත්මක සහ විශාල පහරවල් එල්ල කරන ක්‍රීඩා විලාශය යටතේ වුව ද Dhoni Matthew Haydenව ‘straight mid-off’ ස්ථානයේ ස්ථානගත කිරීමට කටයුතු කරනු ලැබුවේ Pollard හට එම පන්දු රකින්නාට ඉහළින් පහරවල් එල්ල කිරීමට අභියෝග කරමිනි. කෙසේ නමුත් එහි දී Albie Morkel යොමු කළ පන්දුවක් හමුවේ Pollardගේ එම උත්සාහය අසාර්ථක වූයේ ඔහු එල්ල කළ පහර සෘජුව ම Hayden වෙත යොමු වී ඔහු දැවී යාමත් සමඟයි. ඒ අනුව එහි දී CSK එම තරගය ජයග්‍රහණය කරමින් ඔවුන්ගේ මංගල IPL කිරුළ ජයග්‍රහණය කරන්නට සමත් විය. 

ඊට අමතරව 2019 IPL අවසන් මහා තරගයේ දී Dhoni විසින් Pollard හමුවේ CSK සතුව සිටින විශිෂ්ටතම පන්දු රකින්නන් අතරින් කෙනෙකු වන Faf du Plesisව ‘straight long-off’ හෝ ‘straight long-off’ ස්ථානයක ස්ථානගත කරන්නට විය. තවදුරටත් Ravichandran Ashwin විසින් CSK නියෝජනය කරනු ලැබූ කාලසීමාවේ දී ඔහුව ‘powerplay’ අවස්ථාවන් වල පන්දු යැවීමට යොදාගනු ලැබූ අතර ඔහුට ‘leg slip’ පන්දු රකින්නෙකු ද යෙදවීමට කටයුතු කරනු ලැබීය.

එමෙන්ම 2010 වසරේ දී ශූරයින්ගේ කුසලාන පන්දුවාර 20 තරගාවලියේ දී Victoria කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී ප්‍රතිවාදීන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක් පමණක් අවශ්‍යව තිබූ අවස්ථාවක දී ඔහු ස්ථිර පන්දු යවන්නෙකු නොවන පිට දඟපන්දු යවන ක්‍රීඩක Suresh Raina හට පන්දුව බාර කළ අතර එහි දී ඔහු කඩුලු දෙකක් ලබා ගනිමින් 4 පහරවල් දෙකක් ලබා දුන්නත්, අවසන් පන්දුවේ දී ප්‍රතිවාදී පිතිකරු Bryce McGrain දුවද්දී දැවී යාමකට හසුවීමත් සමඟ තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වන්නට විය. 

මේ පිළිබඳව අදහස් දක්වමින් Srinivasan ප්‍රකාශ කර සිටියේ Dhoniගේ උපායශීලීත්වය මෙන්ම විනිශ්චය ද CSK කණ්ඩායමේ සාර්ථකත්වයට අතිශය වැදගත් වන බවයි. එමෙන්ම Dhoni කණ්ඩායම් රැස්වීම් පිළිබඳව විශ්වාස නොකරන බව ද ඔහු මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නට විය.

“අපිට මේ වෙද්දී උතුරා යන තරම් දත්ත තියෙනවා. ඔබට උදාහරණයක් දුන්නොත් පන්දු යැවීමේ පුහුණුකරුවන් පන්දුවාර 20 තරගවල දී ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කරන්න ඉන්න සියලුම පිතිකරුවන්ගේ පිතිකරණ වීඩියෝ පට බලලා ඔහු ශක්තිමත් ස්ථාන මොනවා ද, ඔහු දුර්වල ස්ථාන මොනවා ද සහ ඔහුව දවා ගන්නේ කොහොමද වගේ හැමදෙයක්ම විශ්ලේෂණය කරනවා. ඒත් Dhoni මේ දේවල්වලට සහභාගී වෙන්නේ නැහැ. ඔහු තනිකරම ඉව සහ සහජ බුද්ධිය මත පදනම් වෙච්ච ක්‍රීඩකයෙක්. පන්දු යැවීමේ පුහුණුකරු, ප්‍රධාන පුහුණුකරු Fleming සහ හැමෝම ඒ අවස්ථාවලට එනවා වගේම හැමෝම ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. ඒත් Dhoni එතැනින් නැඟිටලා යනවා.

ඉව සහ සහජ බුද්ධිය ගත්තම Dhoni විශ්වාස කරන්නේ ඔහුට පිතිකරුවෙක්ව හෝ ක්‍රීඩකයෙක්ව ඒ මත නිර්ණය කරන්න පුළුවන් කියලා. ඒක තමයි ඔහුගේ විනිශ්චය. ඒත් අනෙක් අතින් බැලුවොත් ක්‍රීඩකයෙක් හට විශ්ලේෂණ කරන්න උදව් කරගන්න පුළුවන් දත්ත ඕනෑ තරම් තියෙනවා. ඉතින් දත්ත හා ඉව සහ සහජ බුද්ධිය හරියට ම වෙන්කරන්න ඕනේ කොහොමද කියලා කියන එක ගොඩක් අපහසු දෙයක්.”

තවත් කියවන්න;

IPL අවසන් තරගය කල් යයි 

විලීගේ ආගමනය ජයග්‍රහණයකින් හමාර වෙයි

ජයග්‍රාහී එංගලන්ත ටෙස්ට් සංචිතය තවත් සටනකට   

රෝහිත් ගැන රයිනාගෙන් අනාවැකියක්

ලෝක ටෙස්ට් ශුරතාවයට මොකද වෙන්නේ?

එමෙන්ම Srinivasan මෙහි දී විවිධ සංස්කෘතීන් වල ක්‍රීඩකයින් එකට එකතු කරමින් IPL කණ්ඩායමක් පවත්වා ගෙන යාමේ අභියෝග පිළිබඳව ද අවසාන වශයෙන් අදහස් දක්වා සිටින්නට විය. 

“එක විශිෂ්ට ක්‍රීඩකයෙක් හිටියා, අපි ඔහුව Dhoniට යෝජනා කළාම Dhoni කිව්වා ‘නැහැ සර්, ඔහු කණ්ඩායම නරක් කරාවි’ කියලා. ඉතින් කණ්ඩායම තුළ එකමුතු බව කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. අපි ඇමෙරිකාව දිහා බැලුවොත් අපිට බලාගන්න පුළුවන් franchise මත පදනම් ක්‍රීඩා ඉසව් අවුරුදු ගාණක ඉඳන් පැවතගෙන එන හැටි. ඉන්දියාව ගත්තොත් අපි තාම ඒක ආරම්භ කරමින් ඉන්නේ. ඉතින් අපි තාම මේකට අලුත්. ඒත් India Cements වල ඉන්න අපිට කනිෂ්ඨ තලයේ කණ්ඩායම් සමඟ වැඩ කරලා මේ ගැන ගොඩක් අත්දැකීම් තියෙනවා. Dravid පවා අපි එක්ක ඒවාට වැඩ කරලා තියෙනවා. ඒකේ අපි මුල ඉඳන් ම තේරුම්ගත්ත දෙයක් තමයි කණ්ඩායමක් කළමනාකරණය කරනකොට අපි අයිතිකාරීත්වය දරන්නේ ඒ franchise එක මිසක් ක්‍රීඩකයා නෙමෙයි කියලා. අපිට අයිති කණ්ඩායම. නැතුව කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයින් හැමෝම නෙමෙයි.

අපි තරගකාරී IPL තරගාවලියක් හෝ පන්දුවාර 20 ක්‍රීඩාව ගැන නම් කතා කරන්නේ ඔවුන් හැමෝම විශිෂ්ට දක්‍ෂතා දක්වන අය. ක්‍රීඩකයින් 10-12 දෙනෙක් එක තැනකට ගෙනල්ලා ඔවුන් අතර සමගිය සහ එකමුතුකම පවත්ව ගෙන යනවා කියන්නේ ලේසි කටයුත්තක් නෙමෙයි.”

Cricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<