අසාර්ථක සංචාරයකින් Kohli සාර්ථකත්වය ළඟාකරගත් රහස

206

ඉන්දීය ක්‍රිකට් නායක සුපිරි පිතිකරු Virat Kohli විසින් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Sachin Tendukar හට ප්‍රශංසා කරමින් පසුගිය දිනෙක අනාවරණය කර සිටියේ පිතිකරුවෙකු ලෙස ඔහුගේ සාර්ථකත්වයට Tendulkarගේ මඟපෙන්වීම බෙහෙවින් ඉවහල් වූ බවයි. 

Kohli ඉතා ප්‍රබල ලෙස අසාර්ථකත්වයට පත්වූ 2014 වසරේ ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරගාවලිය පිළිබඳව මතකය ආවර්ජනය කරමින් ඔහු පවසා සිටියේ තරගාවලිය අවසානයේ Tendukarගෙන් ලැබුණු තාක්ෂණික යෙදවුම් සහ තවත් උපදෙස් ඔහුට නැවතත් දක්‍ෂතා අතරට පැමිණීමට බෙහෙවින් ඉවහල් වූ බවයි. 

එම තරගාවලිය තුළ ඉනිම් 10ක දී Kohli රැස්කර ගැනීමට සමත් වූයේ සමස්ත ලකුණු 134ක තරම් අවම සංඛ්‍යාවක් වන අතර ඒ පිළිබඳව එංගලන්ත හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Kevin Pieterson සමඟ Instagram සමාජ ජාලය ඔස්සේ පැවති මෑතක දී සංවාදයක දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ එය ඔහුගේ ක්‍රිකට් දිවියේ අඳුරුතම අවස්ථාව වූ බවයි. 

කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Mayank Agarwal සමඟ පසුගිය දා bcci.tv හරහා පැවති සංවාදයකට එක්වෙමින් Kohli පවසා සිටියේ ඒ තරගාවලියේ අත්දැකීම් තුළින් ඉගෙන ගත් පාඩම් හේතුවෙන් එය ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් ද වන බවයි.  

Virat Kohli සහ Sachin Tendulkar (Source: timesofindia.indiatimes.com)

එම තරගාවලියේ දී එංගලන්ත පන්දු යවන්නන් හමුවේ Kohli මුහුණ දුන් අපහසුතාවන් පිළිබඳව විශ්ලේෂණය කිරීමට ඔහු එය අවසානයේ Tendukarගේ සහය පතා ඇති අතර එහි දී ඔහු ලබා දුන් උපදෙස් පිතිකරුවෙකු ලෙස ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගන්නට Kohli හට බෙහෙවින් ඉවහල් වී ඇත. 

“මගේ hip position එක ඒ එංගලන්ත තරගාවලිය පුරාවටම ලොකු ගැටලුවක් වුනා. ඔබේ දකුණු උකුළ ප්‍රදේශය වැඩිපුර අනාවරණය හෝ නැත්නම් නිරාවරණය වෙනවා කියන්නේ ඒ හරහා ඔබ අමාරුවක වැටෙනවා කියන එක. ඒ නිසා hip position එක ගාණට, සමබරව තියාගන්න එක ගොඩක් වැදගත් දෙයක්. එතකොට off side සහ leg side දෙපැත්තටම සමාන පාලනයක් සහ හැසිරවීමක් යටතේ පහසුවෙන් පහරවල් එල්ල කරන්න පුළුවන්.

මම එංගලන්තේ ඉඳලා ආවට පස්සේ Tendulkar එක්ක කතා කරලා Mumbai වලදී ඔහු එක්ක පුහුණු සැසි කිහිපයකට සහභාගී වුනා. මම එහි දී ඔහුට කිව්වා මම මගේ hip position එක හරියට හදාගන්න උත්සාහ කරමින් ඉන්නේ කියලා. එතකොට ඔහු මට එහි දී පිතිකරණයේ යෙදෙද්දී දිග stride එකෙයි, ඉදිරි පාදයේ ක්‍රීඩා කිරීමෙයි තියෙන වැදගත්කම පැහැදිලි කරලා දුන්නා. ඉතින් මගේ hip position එක හරියට හදාගෙන ඒකත් එක්ක Tendulkar ඒ කියපු ඒවා පිළිපදින්න ගත්තම මට නැවතත් දක්‍ෂතා අතරට එන්න පුළුවන් වුනා. ඒ හරහා තමයි ඊළඟට තිබ්බ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී මට හොඳට දක්‍ෂතා දක්වන්න පුළුවන් වුණේ.”

2014 වසරේ Kohli අසාර්ථක වූ එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියෙන් මාස කිහිපයකට අනතුරුව අනතුරුව ඊළඟට යෙදී තිබුණේ ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයයි. කෙසේ නමුත් එහි දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ තරගාවලිය පුරාවට ලකුණු අතරට පැමිණෙමින් ඉතා විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ ඔහු එහි දී සමස්ත ලකුණු 692ක් වාර්තා කරගැනීමට සමත් වූයේ 86.50ක ඉහළ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමිනි

2014 ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ දී Kohli විසින් ශතකයක් වාර්තා කරගනිමින් (Source: thestatesman.com)

මීට පෙර 2016 වසරේ දී ‘The Cricket Monthly’ සඟරාව සමඟ මේ පිළිබඳව අදහස් දක්වමින් Kohli පවසා සිටියේ ඔහු එහි දී Mumbai හිදී පැවති පුහුණු සැසියක දී Tendukarගේ සහය පැතුවේ ඔහුගේ පිතිකරණයේ තාක්ෂණික පැතිකඩ නිවැරදි කරගැනීමට පමණක් නොවන බවත්, තවදුරටත් අපහසු අවස්ථාවල දී ඔහු කටයුතු කළ ආකාරය මෙන්ම ඔහුගේ මනස ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද ඉගෙන ගැනීමට බවත් ය. 

එම එංගලන්ත සංචාරය පුරාවට එරට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක James Andersonට මුහුණ දීමේ දී Kohli දැඩි අපහසුතාවයට පත්ව සිටි බවක් දැකගැනීමට හැකි වූ අතර එහි දී විශේෂයෙන් ඔහු යොමු කළ පිටතට දෝලනය වන පන්දුවලට සාර්ථකව මුහුණ දීමට Kohliට හැකියාවක් ලැබුණේ නැත. මේ පිළිබඳව අදහස් දක්වමින් Kohli පවසා සිටින්නේ එහි දී ඇතුළතට දෝලනය වන පන්දු පිළිබඳව ඔහු ඕනෑවටත් වඩා සිතීම හේතුවෙන් ඔහු විසින්ම තත්වය සංකීර්ණ කරගනිමින් මෙන්ම නරක අතට හරවා ගනිමින් පිටතට දෝලනය වන පන්දු හමුවේ අවදානම් සහගත තත්වයකට මුහුණ දෙමින් ඔහු අසාර්ථකත්වයට පත්වූ බවයි. 

“මම හැමවෙලේම එකම ඉරියව්වේ හිටගෙන ඉඳලා දිගටම එකම විදිහට දැවී ගියා. එහි දී මම ගොඩක්ම කරදර වුනේ ඇතුළතට දෝලනය වෙන පන්දු ගැන හිතලා. ඉතින් මම පිතිකරණයේ යෙදෙද්දී හැමවෙලේම පොඩ්ඩක් කලින් අනාවරණය වෙන්න ගත්තා. එතකොට මට පිටතට දෝලනය වෙන පන්දුවක් ආවම මම හැමවෙලේම ඒකට දැවී යන්න ගත්තා. මට තරගාවලිය පුරාවට ම ඒ අවුලෙන් ගැලවෙන්න බැරි වුනා. ඒ වගේම පන්දුවට මුහුණ දෙද්දී මගේ stride එකෙත් තියෙන්න ඕනේ තරම් විශ්වාසයක් තිබුණේ නැහැ. ඒකෙදී මම ගොඩක් ම යැපුණේ මගේ අත් දෙක මත. අද කාලේ පන්දු යවන්නන්ට ඉක්මණින් ඒක තේරුම් යනවා. එතකොට ඔවුන් කරන්නේ ඔබට අපහසු ස්ථාන ඉලක්ක කරමින් පන්දු යවන එක. 

2014 වසරේ ඒ තරගාවලිය මගේ ක්‍රිකට් දිවියේ සංධිස්ථානයක්. ගොඩක් ක්‍රීඩකයෝ ඔවුන් හොඳට දක්‍ෂතා දක්වපු සංචාර තමයි සංධිස්ථානයක් විදිහට සලකන්නේ. ඒත් මගේ ක්‍රිකට් දිවියේ නම් සුවිශේෂී ම සංධිස්ථානය තමයි 2014 වසරේ ඒ සංචාරය. ඊට පස්සේ තිබ්බ වැදගත් ම සංචාරය ඕස්ට්‍රේලියාව වීමත් එක්ක මට හිතුණා මට දක්‍ෂතා අතරට එන්න බැරි වෙයි කියලා. ඒ නිසා මුලින්ම මට වාඩි වෙලා මං හිතන විදිහ වගේම මම තරගයක දී ක්‍රීඩා කරන විදිහත් මට වෙනස් කරගන්න සිදු වුනා.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් අපහසු අවස්ථාවල දී කලබල නොවී සන්සුන් බව පවත්වගන්න එක තමයි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කරන්න අපහසු ම දේ. ඉතින් ඒක මම ගොඩක් ම නිවැරදි කරගත යුතුව තිබ්බ දෙයක්. ඒ තරගාවලියේ දී මම එහෙම අසාර්ථක වුණේ නැත්නම් සමහර විට මම දිගටම ඉස්සරහටත් කලින් ඉඳපු විදිහටම ක්‍රීඩා කර කර ඉන්න තිබුණා. එහෙනම් මම ඒ අඩුපාඩු හදාගෙන ඒවා වැඩිදියුණු කරගන්න කටයුතු කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඒ තරගාවලිය හරහා මම මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද වගේම මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන හැමවෙලේම ඉක්මනින් දවාගන්න පුළුවන් පිතිකරුවෙක් විදිහට ම දිගටම ඉන්නවා ද වගේ තීරණාත්මක දේවල් හිතන්න පටන් ගත්තා කියලා.”

2014 ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරගයක් අතරතුර දැවීගිය Kohli (Source: cricket.com.au)

තවදුරටත් Tendulkarට අමතරව එම එංගලන්ත සංචාරයෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වූ Ravi Shastriට මෙන්ම ඒ වන විට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ Duncan Fletcherට ද සිය පිතිකරණය පරිවර්තනය කරගැනීමට ලබා දුන් උපදෙස් සහ දායකත්වය වෙනුවෙන් Kohli මෙහි දී ස්තූති කිරීමට අමතක කළේ නැත.  

එහි දී Shastri ඔහුට crease එකෙන් පිටතට වී සිට පිතිකරණයේ යෙදීමට උපදෙස් ලබා දී ඇති අතර අනෙක් පසින් Fletcher ඔහුට පවසා ඇත්තේ ඔහු පිතිකරණයේ දී හිටගෙන සිටින ඉරියව්ව (stance) තවදුරටත් පුළුල් කරගන්නා ලෙසයි. 

“Shastri මට කිව්වා crease එකෙන් පිටත හිටගෙන පිතිකරණයේ යෙදෙන්න කියලා. ඔහු එහි දී ඒක පසුපස තියෙන හේතුත් මට පැහැදිලි කරලා දුන්නා. ‘ඔයා ක්‍රීඩා කරන ඉඩකඩ තුළ ඔයාට පාලනයක් තියෙන්න ඕනේ වගේම පන්දු යවන්නන්ට ඔයාව දවාගන්න අවස්ථාවක් නොදී ඉන්න ඕනේ. ඉතින් crease එකෙන් පිටත හිටගෙන පන්දුවට පහර දෙනකොට ඔයා දැවී යන්න තියෙන අවස්ථාවන් ගොඩක් ඉවත් වෙලා යනවා,’ ඊට පස්සේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී මම ඒක සිදු කළා. අවසානේ ඒකෙන් මට හිතාගන්න බැරි තරම් ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වුනා.

ඔහු මගෙන් ඇහුවා මං short ball වලට බය ද කියලා. මම ඔහුට කිව්වා මම බය නෑ වගේම මට රිදීමක් වෙන එකත් ගැටලුවක් නෑ, හැබැයි මට දැවී යන්නේ නැතුව ඉන්න ඕනේ කියලා.”

“ඒ වගේම Fletcher එක්ක කතාබහකින් පස්සේ මම මං පිතිකරණයේ දී හිටගෙන ඉන්න ඉරියව්ව තවත් පුළුල් කරගත්තා. ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඉතා හොඳ අවබෝධයක් තියෙනවා. ඔහු මගෙන් ඒක ප්‍රශ්නයයි ඇහුවේ. ඒ තමයි. ඒ තමයි ඉදිරි පාදයේ ක්‍රීඩා කිරීම සහ පුළුල් කරගත්ත හිටගෙන ඉන්න ඒ ඉරියව්වත් එක්ක මට short ball වලට ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි ද කියලා. මං කිව්වා මට පුළුවන් කියලා.”

තවත් කියවන්න;

අවසාන වශයෙන් එම එංගලන්ත සංචාරයේ දී ඔහු දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් එල්ල වූ විවේචන හරහා ඔහුට යම්කිසි බලපෑමක්  සිදුවුවේ ද යන්න විමසා සිටි විට Kohli පවසා සිටියේ;

“2014 වසරේ ඒ සංචාරයෙන් පස්සේ මිනිස්සු මාව දැකපු විදිහ ගැන මම ඇත්තටම ලොකු අවධානයක් යොමු කළේ නැහැ. හැබැයි ඒක මට පොඩි ගැටලුවක් වුනා, මොකද මම ක්‍රීඩකයෙක් විදිහට ගොඩනඟා ගෙන තිබ්බ ඒ විශ්වසනීයත්වය එහි දී එක මාසයක් ඇතුළත වගේ එක පාරටම නැති වෙලා ගියපු නිසා. එතකොට නිකන් හරියට ඔබ දන්නවා ඔබ හොඳ ක්‍රීඩකයෙක් කියලා, ඒත් අනිත් පැත්තෙන් ඔබ මිනිස්සු ඔබ ගැන කියන දේවල් ගැන ඕනවට වඩා අවධානය යොමුකරන්න ගන්නවා. ඉතින් ඒකෙන් කලකිරීමක් ඇතිවෙන්න පුළුවන්. මටත් ඒක වුනා. හැබැයි ඊට පස්සේ මම මිනිස්සුන්ට මං ගැන කියන්න තිබ්බ දේවල් ගැන අවධානය යොමුකරන එක නවත්තන්න කටයුතු කළා.”

espncricinfo.com වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙන් රචනා කරන ලද්දකි

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<