වසන් වී තුරු වැල් අතර හිඳ
ඔවුන් හැර යන්නට නොහී
පිනි බිඳක් ගෙන හඬනු ඇසුණා
හිරුට, එක් තුරු කුමරියක්…
පුදා රන් හිරු රැස් හුඟක්
කුඩා සුහුඹුල් තුරු පතට ඒ
නමා ගති හේ හිරු දෙසට ඈ
මුදාගෙන තුරු වැල් මතින්..
පිස දමා පිනි හිරු රැසින්….
පැයෙන් පැය දින මස ද ගත වී
හිරු සමග සතුටින් පිරී
බලා ඉද්දී පිරී දිලුණා
තුරු කුමරි දලු ලා වැඩී….
දිනක් ඒ හිරු සැඟව ගොස්
මහ මේඝ කැටියක පැටලිලා
නුබ ට ළං වී හිඳින්නී ඈ
හිරු, එළිය ගෙන එනතුරා….
දිලුණු ළා දලු මැල ව ගොස් දැන්
සොවින් තනි වී වැලපිලා
සැඩ ව මේඝය රුදුරු වැසි දී
තුරු මුල’ග සවි ලුහු කළා….
හිරු එතැ’යි නෙත් යොමා සිටි මුත්
නො එන බව වැටහී ගියා
දරා සිටිනට නොහී සුළඟ ට
හසුව, ඇය සැඟ වී ගියා….
Image credit – https://bit.ly/2V3Lo6e