HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද නිකිණි පෝය දා - පළමු ධර්ම සංගායනාව පැවැත්වූ දිනය අදයි

අද අගෝස්තු 3 වැනිදා, නිකිණි පෝය දා බෞද්ධයන්ට සුවිශේෂ වන කරුණු කීපයක් ම තියෙනවා. භික්ෂූන් වහන්සේලාට වස් එළඹීම සඳහා ඇති දෙවැනි දිනය වූ ‘පසු වස් දිනය’ යෙදෙන්නේ නිකිණි පොහෝ දිනයටයි. වස් ආරම්භ වීම සිදුවන්නේ ‘පෙර වස් දිනය” එනම් ඇසළ පොහොය දිනයේ සිටයි. එය කිරීමට අපොහොසත් වුවහොත් පසු වස් දිනයෙන් වස් විසීමේ චාරිත්‍රය කළ හැකියි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු එළඹුණු නිකිණි පෝදා, රජගහ නුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාවෙහි දී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ පන්සීයක් රහතන් වහන්සේලා එක්ව පළමු ධර්ම සංගායනාව පැවැත් වූ බව සඳහන් වෙනවා. එ් ධර්ම සංගායනාවට අත්‍යවශ්‍යම වූ බුදුරදුන් ධර්ම භාණ්ඩාගාරික ලෙස පත් කර සිටි ආනන්ද තෙරණුවන් රහත් භාවයට පැමිණියේද ඒ නිකිණි පෙහොය දා අලුයම ය.

රාහුල තෙරණුවන් රහත් වූයේ ද නිකිණි පොහෝ දිනකයි.

ශ්‍රී ලංකාවේ අයට විශේෂ කරුණක් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර ඇති සේරුවිල චෛත්‍යය ඉදි කිරීම ඇරඹුණේ ද නිකිණි පෝ දිනකයි. එසේ ම ශ්‍රී දළදා පෙරහරේ අවසාන රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කරන්නේද නිකිණි පෝදයි.

අලුත් සෙන් බොදු කතාවක් - මසුරු ගුරුතුමා දුන් සෙන් කමටහන 

කුසුදා ජපානයේ තෝකියෝවේ විසූ තරුණ වෛද්‍යවරයෙක්. ඔහුට පාසල් සමයේ මිතුරකු හමුවුණා. ඔහුගෙන් කියැවුණා, ඔහු සෙන් බුදු දහම ගැන ඉගෙන ගන්නා බව. ඔහු මිතුරාගෙන් ඇසුවා, ‘සෙන් යනු කුමක්ද ?’ කියා.

'මට කියන්න බැහැ හරියට ම ඒ මොකක්ද කියලා’ යයි කී මිතුරා ‘ඒත් එකක් නම් මට විශ්වාසයි, ඔබ සෙන් හරියට තේරුම් ගත්තොත් ඹබේ මරණ බිය නැති වෙනවා.’ කියා පිළිතුරු දුන්නා.

‘ඒක අපූරු දෙයක්!’ කුසුදා කීවා. ‘මං කැමතියි ඉගෙන ගන්න. මං කොහෙන්ද ගුරුවරයෙක් හොයා ගන්නෙ?’

‘යන්න නැන් ඉන් ගුරුතුමා ළඟට’ මිතුරා කීවා.

මිතුරා කියාපු විදියට කුසුදා පසුවදා ම නැන් ඉන් ගුරුතුමා හමුවෙන්න ගියා. හැබැයි නිකං නොවෙයි, අඟල් නමය හමාරක් දිග කිරිච්චියකුත් අරගෙනයි, ගියේ. ඔහුට ඕනෑ වුණා ගුරුතුමා මැරෙන්න තියන භය නැති කර ගෙන ද නිසැකව ම දැන ගන්න.

කුසුදා තමන් ළඟට එනව දැකපු ගමන් ම නැන් ඉන් ගුරුතුමා මෙහෙම කිව්වා, ‘ආයුබෝවන් මිත්‍රයා, කොහොමද සැප සනීප? අපි දෙන්නා හුඟ කාලෙකින් මුණ ගැහුණෙ නෑ නේද?’

ඉන් විමතියට පත් කුසුදා එකවරම මෙහෙම කිව්වා, ‘අපි කවදාවත් හමුවෙලා නෑ.’

‘ඒක හරි’ නැන් ඉන් පිළිතුරු දුන්නා. ‘මම ඔබට රැවටුණා, මෙහෙට උපදෙස් ගන්න එන ‍වෙන වෛද්‍යවරයෙක් කියලා.’

මුලින් ම හමුවෙන කොට සිදුවුණු මේ සිදුවීම හින්දා කුසුදාට බැරි වුණා, ගුරුතුමා පරීක්ෂාවට ලක් කරන්න. අකමැත්තෙන් වුණත් ඔහුට කෙළින් ම කියන්න සිදු වුණා, තමා ආ කාරණේ.

‘මං ආවේ සෙන් දහම ඉගෙන ගන්නයි’ සුකුදා කීවා.

‘සෙන් ඉගෙන ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. ඔබ වෛද්‍යවරයකු නම් ඔබේ රෝගීන්ට හොඳින් සලකන්න. ඒ තමයි සෙන්’ නැන් ඉන් ගුරුතුමා කීවා.

කුසුදා පසුදාත් නැන් ඉන් ගුරුතුමා හමුවෙන්න ගියා. එදාත් ගුරුතුමා දුන්නේ කලින් දා දුන් පිළිතුරමයි. ‘ඔබේ රෝගීන්ට හොඳට සලකන්න’ කියලා විතරයි. කුසුදා පසුදාත් නැන් ඉන් ගුරුතුමා හමුවෙන්න ගියා. එදාත් ගුරුතුමා දුන්නේ කලින් දා දුන් පිළිතුරමයි.

හතර වැනි වතාවට හමුවෙන්න ගියාමත් ගුරුතුමා ඒ උපදේශයමයි දුන්නෙ. ‘වෛද්‍යවරයෙක් හැටියට මෙතැන කාලෙ නාස්ති කර කර ඉන්න එක හොඳ නෑ. ගෙදර යන්න. ගිහින් ඔබේ රෝගීන් හොඳින් බලා ගන්න.’ කුසුදා එදා ඒක පිළිගෙන ආපසු හැරිලා ගියේ නෑ.

කුසුදාට තවමත් පැහැදිලි නෑ, ඒ වගේ ඉගැන්වීමකින් කොහොමද මරණ බය නැති කර ගන්නේ කියලා. ඒ නිසා එයා ගුරුතුමා ඉදිරියෙ මෙහෙම මැසිවිල්ලක් නැඟුවා. ‘මගේ මිත්‍රයා මට කීවේ, සෙන් ඉගෙන ගත්තා ම කෙනකුගේ මරණ බය නැති වෙනව කියලයි. මම හැමදාම මෙහෙ ආවාම ඔබතුමා කීවේ එකම දෙයයි. ගිහින් මගේ රෝගීන් ගැන බලා ගන්න කියලයි. ඒක මං දන්නවා. ඒක නම් ඔබේ සෙන්, මං මීට පස්සෙ මෙහේ එන්නෙ නෑ.’

නැන් ඉන් ගුරුතුමා සිනාවක් මුහුණට නඟා ගෙන වෛද්‍යවරයාගේ පිටට තට්ටුවක් දැම්මා. ‘මං ඔබට කී දේ ටිකක් දරදඬු වැඩියි වගේ. ඉන්න! මං ඔබට කෝන් (ජපන් සෙන් ප්‍රහේළිකාවක්, බවුන් වඩන්න දෙන කමටහනක් වැන්නක්.) එකක් දෙන්නම්.’ එතුමා ජෝසුගේ මියූ කියන ප්‍රහේළිකාව දුන්නා ඒ ගැන හිතන්න කියලා. ඒක තමයි, ‘දොරක් නැති දොර’ කියන පොතේ එන මනස දියුණු කරන මුල් ම ගැටලුව. (‘මියූ’ යන්නෙහි අරුත ‘කිසිත් නැති’ යන්නයි.)

කුසුදා මියූ ගැටලුව ගැන වසර දෙකක් තිස්සේ කල්පනා කළා. ඔහුට ඔහුගේ මනස ගැන වෙනසක් දැනුණා. ඔහු හිතුවා යම් ප්‍රමාණයකට මනස දියුණු කර ගත්තාය කියලා. ඒත් ගුරුතුමා හමුවීමට ගියාම එතුමා කීවා, ‘ඔබ තවමත් ඇතුළට ආවේ නෑ’ කියලා.

කුසුදා තවත් අවුරුදු එකහමාරක් ඒ ගැන වෙහෙසුණා. අන්තිමේ දී ඔහුගේ මනස සන්සුන් වුණා. ගටලු සියල්ල විසඳුණා. සත්‍යය ඇත්තේ ‘කිසිත් නැති’ තැන බව ඔහුට වැටහුණා. ඔහු රෝගීන්ව හොඳින් බලා ගත්තා. නොදැන ම ජීවිතය හා මරණය යන දෙකෙන් ම ඔහු නිදහස ලබා සිටියා.

අවසානයේ ඔහු ගුරුතුමා හමුවීමට ගිය විට ගුරුතුමා කළේ මුවඟ’ට සිනාරැල්ලක් නඟා ගත්තු එක විතරයි.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ කෘතියෙනි)

Post a Comment

0 Comments