Main Logo

Thursday 30 July 2020

කාට කියන්න ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




කාට කියන්න ද? 

මා විශ්වවේදය තරමක් දුරට හදාරා තියෙනවා. එහි මහා පිපුරුම කියා සංසිද්ධියක් ගැන කියන කතන්දරයක් තියෙනවා. මා විද්‍යාඥයකු නම් නොවෙයි. විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරිව ආපසු කෙනෙක්. මගේ සීමිත දැනුම අනුව මහා පිපිරුම කතන්දරය අසංගතයි. එය සංගත කිරීම සඳහා පසු කලෙක උද්ධමනය (ආර්ථිකයේ කතා කරන උද්ධමනය නොවෙයි. එහෙත් ඉන් කියැවෙන්නේත් එවැනි දෙයක්. විශ්වය මහා පිපිරුමට සුළු කාලයකින් පසුව ඇති වූ විශාල ත්වරණයකින් ප්‍රසාරණය වීම) වගේ සංකල්ප නිපදවන්න වුණා. එහෙත් උද්ධමනය ඇති වන්නේ කොහොමද කියන එකට හරි හමන් කතන්දරයක් නැහැ. මා මහාපිපිරුම විශ්වාස කරන්නේ නැහැ. එය පට්ට ම පට්ට පල් බොරුවක්. 


විශ්වවේදය හැදෑරීමට සාධාරණ (පොදු යන අරුතින් - මහා නොවෙයි general කියන්නේ මහා නොවෙයි. සාමාන්‍ය කියන එකත් නොවෙයි. ජෙනරල් මැනේජර්ලා සාමාන්‍යාධිකාරිලා නොවෙයි. පරිවර්තන ගැන අප පරෙස්සම් වෙන්න ඕන) සාපේක්‍ෂතාවාදය දැන ගන්න ඕන. ඒ සඳහා අවකල ජ්‍යාමිතිය රීමානියානු ජ්‍යාමිතිය යම් ප්‍රමාණයකට හරි දැන ගන්න ඕන. ඒත් එහෙම නැතුවත් ජනප්‍රිය පොත් කියවලත් යම් දැනුමක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය පෙළට යුක්ලීඩීය ජ්‍යාමිතිය ප්‍රමේය කිහිපයක් පමණක් ඉගෙන ගත් අයටත් නොගත් අයටත් එලෙස විශ්වවේදය ගැන දැන ගන්න පුළුවන්. එහි දී ජනප්‍රිය ලේඛකයන් ගැන පමණක් නොව විද්‍යාඥයන් ගැන තියෙන විශ්වාසයත් බලපානවා. ඒ විශ්වාසය නැතිව මහා පිපිරුම විශ්වාස කරන්න බැහැ. ඔවුන්ගේ විශ්වාසය පළුදු කරන්න මා කැමති නැහැ. අවසානයේ දී සියළු දැනුම් විශ්වාසය මත රඳා පවතිනවා. තර්කයත් ගණිතයත් එහෙමයි. 

බුදුහාමුදුරුවන් තමයි මට තේරෙන අයුරින් නෙදැනුම ගැන දේශනා කළ එක ම තැනැත්තා. ඒ විධියට ගත්තත් උන්වහන්සේ අනන්‍යයයි. උන්වහන්සේ අපට නොදැනුම ඉගැන්නුවා. එය තරමක විසංවාදයක් ලෙස කාට හරි පේන්න පුළුවන්. ඇතැමුන්ට අනුව මගේ ලිපිවල කිසිම තර්කයක් නැහැ. මේ ලිපියත් එහෙම තමයි කියාවි. ඒ ඊනියා තර්කානුකූල නිගමනයකට වඩා විශ්වාසයක්. අප සාමාන්‍යයෙන් ඉගෙන ගන්නේ හරි උගන්වන්නේ හරි දැනුමක්. නොදැනුම උගන්වන්නේ කොහොම ද? මා බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නය ලෙස මෑත කාලයේ හඳුන්වන්න පටන් ගත්තේ එයයි. නොදැනුම උගන්වන්නේ කෙසේ ද? 

මා අහගෙන හිටියා පසුගිය දා දිලිත් ජයවීර  මාධ්‍යවේදී නාරදට කියනවා බුදුදහම කියන්නෙ ඉගැන්වීමක් කියල. ඒක එහෙම තමයි. එහෙත් ඒ පිළිතුර සම්පූර්ණ නැහැ. සම්පූර්ණ පිළිතුර කිව්ව නම් ඒ මාධ්‍යවේදියාට ඒක තේරෙයි ද යන එක ප්‍රශ්නයක්. අද මාධ්‍යයේ මාධ්‍ය චන්ඩි වගේ ම මාධ්‍ය පඬියන් ඉන්නවා. දිලිත් කිව්ව වගේ මාධ්‍ය අධ්‍යාපනයක් දෙනව නම් හොඳයි. ඒත් කවුද දෙන්නෙ? ජනසන්නිවේදනය කියල නමක් දාගත්තට උගන්වන්නෙ කවු ද? සම්භාව්‍ය සිංහල සාහිත්‍යය දන්නෙ නැහැ කියන්නෙ ජනසන්නිවේදනය දන්නවා කියන එක නො වෙයි. 

බුදුහාමුදුරුවන්ට අපි තිලෝගුරු කියනවා. තුන්ලෝකෙට ම උගන්වන්න තියෙන්නෙ මොකක් ද? නොදැනුම. බුදුහාමුදරුැවන්ට බුදුවෙලා ඒ කියන්නෙ නිවන සම්මාබෝධයෙන් පසු තපස්සු භල්ලුකත් හමු වීමෙනුත් පස්සෙ ධර්මය දේශනා කිරීම පිළිබඳ ප්‍රශ්නය ආවා. තපස්සු භල්ලුකටත් ධර්මය දේශනා කළේ නැහැ. ඔවුන්ට මංගල සමරවීරට වගේම සරණ යන්න තිසරණක් තිබුණෙත් නැහැ. තිසරණ සරණ නොගිය දෙසරණ පමණක් සරණ ගිය ත්‍රිත්වය ලෙස තපස්සු භල්ලුක මංගල හඳුන්වන්න පුළුවන් ද? මියන්මාරයෙ කාගෙන් හරි අහන්න ඕන. 

සහම්පති මහා බ්‍රහ්මයා තමයි ඇවිත් බුදුහාමුදුරුවන්ට ආරාධනා කළේ ධර්මය දේශනා කරන ලෙස. උන්වහන්සේට ඒ පුළුවන්කම තිබුණා. උන්වහන්සේ පෙරුම් පුරලා තිබුණෙ ඒ සඳහා. පසේ බුදුවරුන්ට නොදැනුම දේශනා කරන්න බැහැ. ඒ සඳහා අවශ්‍ය පෙරුම් පුරලා නැහැ. මා කියන මෙවැනි දේට සුපිරි ජාතිකවාදීන් කැමති නැහැ. ලන්ඩනයේ පළවෙන ලංකා වෙබ් සංස්කාරකවරයා මගේ ලිපි පළ කිරීම නැවැත්තුවෙ ඔහුට මා කියන මෙවැනි දේ ඇල්ලුවෙ නැති නිසා.   

බුදුහාමුදුරුවන් දේශනා කළේ මේ දැනුම් සියල්ල අනිච්ච දුක්ඛ අනත්ත සම්මාබෝධය නැති නිසා සංස්කරණය කරන දේ ලෙස. අවිජ්ජා පච්චයා සංඛාරා. සංස්කරණය කරන දැනුම් බොරු. ඒ දැනුම් බොරු බව සම්මාබෝධ කර ගැනීම තමයි නිවන. ඒකෙන් කියන්නෙ නිවන නොදැනුමක් කියන එක නො වෙයි. නිවන දැනුමක්වත් නොදැනුමක්වත් නො වෙයි. අසංග තිලකරත්න කියනවා නිවන වචනයෙන් කියන්න පුළුවන් කියා. ඒත් කියන්නෙ නැහැ. කියන්න පුළුවන් කියල කියන්නෙ නැතිව ඉන්න පුළුවන්. මා බැහැයි කියන්නෙ නැහැ. ඒත් බුදුහාමුදුරුවො නිවන කියන්නෙ මොකක් ද කියල කියපු තැනක් පෙන්නන්න පුළුවන් නම් කාට කාටත් හොඳයි.

මේ දැනුම් සියල්ල බොරු බව මට බුද්ධියෙන් තේරෙනවා. පඬියකු හරි පඬි නැට්ටකු හරි කියයි මට බුද්ධියක් නැහැ කියල. ඒකට කමක් නැහැ. මම කියල කෙනෙකු නැති බව මට තේරෙනවා. එහි පරස්පරයක් තියෙනවා. මා නැත්නම් මට තේරෙන්නෙ කොහොම ද? මා ඉන්නවා, ඒ සම්මුතියෙන්. සම්මුතියෙන් ඉන්න මට තමයි තේරෙන්නෙ. අවබෝධ වෙන්නෙ. ඒකෙන් කියන්නෙ නැහැ පරමාර්ථ වශයෙන් තමයි මම නැත්තෙ කියලා. පරමාර්ථය කියන්නෙ මොකක් ද? එහෙම එකක් ගැන බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ කොහෙ ද? මා දන්නෙ නැති නිසයි අහන්නෙ. 

බුදුහාමුදුරුවන් ධර්මය දේශනා කළාට පසු පස්වග තවුසන් පැවිදි කරල සඟ සසුන පිහිටෙවුවා. ඒ ඉගැන්වීමට. බුදුහාමුදුරුවන් භික්‍ෂුන් වහන්සේට කිව්වෙ ජනයාගේ හිත සුව පිණිස චාරිකා කරන්න කරලා. මා හිතනවා බුදුහාමුදුරුවන් කළ වැදගත් ම දෙයක් තමයි සඟ සසුන පිහිටුවන එක. සමහරුනට අල්ලන්නෙ නැත්තෙත් සඟ සසුනයි. ඇරිස්ටෝටල්ල ප්ලේටෝලා පිහිටුවපු ලයිසියම් ඇකඩමි අද නමින් නම් ලංකාවෙත් තියෙනවා. ඒත් ඒ එකක්වත් දිගින් දිගට පැවතුණෙ නැහැ. එහෙත් සඟ සසුන අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සෙ තවමත් පවතිනවා. 

සසුන මූලික වශයෙන් ඉගැන්වීම සඳහා. ඒ සහතික දෙන්න නම් නො වෙයි. අර නොදැනුම ඉගැන්වීමට. නාරද දිලිත්ගෙන් ප්‍රශ්න ඇහුවෙ ඉගෙන ගන්න ද නැත්නම් උගන්වන්න ද කියන එක ප්‍රශ්නයක්. මා නම් හිතුවෙ දිලිත් නොදැනුම කියා නුදුන්නත් නාරද නොදැනුම ඉගෙන නොගත්තත් යමක් ඉගෙන ගත්ත කියලා.