Main Logo

Tuesday 28 July 2020

සිංහල බහුතර මතය නොසලකා ලාංකික වෙන්න බැහැ


                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9



සිංහල බහුතර මතය නොසලකා ලාංකික වෙන්න බැහැ

ජාතිය ද ජාතික රාජ්‍යය ද කලින් ඇතිවුණෙ කියල බටහිර බුද්ධිමතුන් අතර වාදයක් තියෙනවා. මෙරට පඬියන්ට ඒ ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි ව යා හැකි දෙයක් බටහිරයකු කියා ඇත්නම් එය ඉස්මතු කර පට්ටා ගැහීම පමණයි. ඊනියා ජාතික රාජ්‍ය ඇතිවීමට පෙර යුරෝපයේ රාජ්‍යවලට නිශ්චිත මායිම් තිබුණෙ නැහැ. ඒවා වෙනස් වුණා. දු කුමරිය විවාහ වෙන විට ඇතැම් විට රටෙන් කොටසක් දෑවෑද්දට දුන්නා. රටක් රාජ්‍යයක් කියන්නෙ පරවේණියට ලබුණු තම හිතු මතේට වෙනස් කළ හැකි දෙයක් ලෙසයි වැඩවසම් යුගයේ සැලකුණේ. පඬියන්ට හැරෙන්න අන් අයට නම් ලංකාවේ වැඩවසම් රාජ්‍යයක් තිබී නැහැ. 


රාජ්‍යයේ දේශ සීමා වෙනස්වීම නැවැත්වීම තමයි ඊනියා ජාතික රාජ්‍යයකින් කෙරුණු එක් දෙයක් වුණෙ. ඒත් ඒ රාජ්‍යය තුළ හිටිය අයට පොදු ජාතික විඥානයක්, එහෙමත් නැත්නම් අප එක් සමූහයක් කියන විධියෙ විඥානයක් තිබුණෙ නැහැ. ස්කොට්ලන්ත වැසියකුට සංගමයෙන් (union) පසුවත් බිරිතානි විඥානයක් තිබුණෙ නැහැ. අදත් ඔවුන්ට එක්සත් රාජධානි විඥානයක් නැහැ. ඔවුන් කොයි මොහොතක හරි වෙන ම රටක් බවට පත් වෙනවා. පත් වෙලා යුරෝපා සංගමයට බැඳෙන්න බොහෝ ඉඩකඩක් තියෙනවා. 

බටහිරයන් අප්‍රිකානු මහාද්වීපයේ ඊනියා ජාතික රාජ්‍ය ඇති කෙළෙ සමහර විට අඩි කෝදුවෙන් ඇඳි සරල රේඛා ඛණ්ඩ මගින්. ඒ ඊනියා ජාතික රාජ්‍යවල විවිධ ජනවර්ග හිටියා. දැනුත් ඉන්නවා. ඒ අය අතර ප්‍රශ්න කෙළවරක් නැහැ. බලවත් (සංඛ්‍යාව අතින් ම විය යුතු නැහැ) ජනවර්ගය තමයි රට ආණ්ඩු කරන්නෙ. බටහිරයන්ට ඒ රටවල් මගුල් සක්වළ. ඒ ඒ ජනවර්ග අතර ඇති වන ප්‍රශ්න නිරාකරණය කිරීමට ඊනියා සාම මණ්ඩල පවත්වා ගෙන යන්න පුළුවන්. ඒ මගින් තම ආධිපත්‍යය පවත්වා ගෙන යන්න පුළුවන්. මේ නූතන යටත්විජිතවාදයේ එක් ආයුධයක් පමණයි. මේ රටවල ඇති ජාතික විඥානයක් නැහැ. 

ඉන්දියාවේ වුණත් තත්වය ඒයි. ඉන්දියාව කියා රාජ්‍යයක් බිරිතානීන් ඒ ප්‍රදේශයට පැමිණීමට පෙර තිබී නැහැ. එහි පැවතියේ වාංශික රාජ්‍ය පමණයි. අශෝක රජුගේ රාජ්‍යයත් වාංශික රාජ්‍යයක්. ඒ මෞර්ය වංශයේ. අපේත් මෞරය වංශයක් ධාතුසේන රජු ආරම්භ කළා. ඔහුට පිය පාර්ශ්වයෙන් මෞර්ය සම්බන්ධකමක් තිබුණා. එහෙත් ධාතුසේන රජු මෙරට මෞර්ය වාංශික රාජ්‍යයක් ආරම්භ කෙළේ නැහැ. ඔහු සිංහල රාජ්‍යයේ ප්‍රථම මෞර්ය වාංශික රජු. චන්ද්‍රගුප්ත රජු භාරතයේ මෞර්ය රාජ්‍යයක් පිහිටවු ප්‍රථම මෞර්ය රජු. චන්ද්‍රගුප්ත රජු හා ධාතුසේන රජු අතර මේ වෙනස පඬියන්ට පඬි නැට්ටන්ට තේරෙන එකක් නැහැ. ඔවුන්ට තේරුම් කරල දෙන්න මහන්සි වෙන්න ඕනත් නැහැ. ඔවුන් මතුපිට පමණක් දකින අය.

අද දකුණු ඉන්දියාව කියන ප්‍රදේශයෙහිත් එදා තිබුණෙ වාංශික රාජ්‍යය. දෙමළ කතා කරන ජනයා ජනවර්ගයක් ලෙසවත් සංවිධානය වෙලා තිබුණෙ නැහැ. පාණ්ඩ්‍ය, සොළී, විජයනගර්, පල්ලව, සාතවාහන ආදී වශයෙන් වාංශික රාජ්‍ය තිබිල තියෙනවා. ඒ සෑම රාජ්‍යයක් ම දෙමළ කතා කරන ජනයාට පමණක් සීමාවීත් නැහැ. ලෝකයේ කිසිම තැනක කිසිම දිනක දෙමළ රාජ්‍යයක් කියා එකක් තිබී නැහැ. මෙරට තිබූ ආර්යචක්‍රවර්ති රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක්වත් දෙමළ රාජ්‍යයක්වත් නො වෙයි. එය සිංහල රජු යටතේ තිබූ වාංශික යාපා රාජ්‍යයක් පමණයි.

ලංකාවේත් චීනයේත් බොහෝ කලක සිට ජාතික රාජ්‍ය තිබී තියෙනවා. අපේ සිංහල රාජ්‍යය ජාතික රාජ්‍යයක්. බටහිරයන්ට ා ජාතික රාජ්‍ය සංකල්පය තිබුණට ජාතික රාජ්‍ය නැහැ. ඔවුන්ට ඇත්තේ ඊනියා ජාතික රාජ්‍ය. ලංකාවේ ජාතික රාජ්‍යය කියන සංකල්පය නොතිබෙන්න ඇති. එහෙත් සිංහල ජාතික රාජ්‍යයක් තිබුණා. තවත් දුරට කිව්වොත් සිංහල බෞද්ධ ජාතික රාජ්‍යයක් තිබුණා. එය එක්සේසත් රාජ්‍යයක් ද වූවා. වත්මන් වචනවලින් නම් ඒකීය රාජ්‍යයක් කියන්න පුළුවන්. 

අප මෙහි දී බටහිර සංකල්ප යොදා ගන්නවා නො වෙයි. එසේ යොදා ගත්තත් එහි වරදක් නැහැ. බටහිර දැනුම් ආධිපත්‍යයට යට නොවී. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ සංකල්ප තමයි ජාතිය, ජාතික රාජ්‍යය, ඒකීය රාජ්‍යය ආදිය. එහෙත් එයින් කියන්නේ නැහැ ඒ රාජ්‍ය ලෝකයේ කොහේවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට කලින් තිබුණෙ නැහැ කියා. ලංකාවේ හැරුණා ම චීනයේ ඒ රාජ්‍ය තිබුණා. කොමියුනිස්ට් පක්‍ෂ බොරුව පැත්තකින් තියන්න. අදත් චීනයේ පවතිනනේ ඒ ඒකීය ජාතික රාජ්‍යයයි. 

පැරණි කොමියුනිස්ට්වාදියකු වූ ද කලක් මාක්සිසම් ටුඩේ සඟරාවේ කතෘ වූ ද මාටින් යැක් චීන රාජ්‍යය සභ්‍යත්ව රාජ්‍යයක් ලෙස හැඳින්වුවා. ඔහු තම ආසියාතික බිරිඳ නිසා (ඔහු කියන විධියට) බටහිර නොවන ඇසකින් ලෝකය බලන්න පුරුදු වෙලා. චීන ජාතිකයන්ගෙන් 90%ක් පමණ හිතන්නේ ඔවුන් හන් වර්ගයට අයත් කියා. චීන රාජ්‍යය චීන සභ්‍යත්වය මත පදනම් වූවක්. එය ඒකීය රාජ්‍යයක්. එමෙන් ම ජාතික රාජ්‍යයක්. මට චීනය ගැන විවේචනයක් තියෙනවා. එහෙත් චීන රාජ්‍යයේ ස්වභාවය හොඳින් තේරුම් ගන්න පුළුවන්.

ලංකාවේ තිබුණේත් ඒකීය ජාතික රාජ්‍යයක්. එහෙත් අප චීනයේ මෙන් සභ්‍යත්වයක් ගොඩනගා ගෙන තිබුණේ නැහැ. මා හිතන්නේ අප සභ්‍යත්වයක් ගොඩ නැගීමට කුඩා වැඩිය කියා. අපට අපේ ම වූ අනන්‍ය සංස්කෘතියක් තියෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය. එය අපේ නිර්මාණයක්. ඒ සංස්කෘතියේ ගොඩනැගුණු රාජ්‍යය සිංහල බෞද්ධ රාජ්‍යය. අපට අද ඇත්තේ ඒ සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩනගා ගැනීමයි. එය සභ්‍යත්ව රාජ්‍යයක් ලෙස හඳුන්වන්න ඕන නැහැ. එය සංකල්පීය වශයෙනුත් වැරදියි. 

අද ප්‍රශ්නය වී ඇත්තේ ලෝකයේ තිබූ දෙවැනි ඒකීය ජාතික රාජ්‍යය, එනම් සිංහල බෞද්ධ රාජ්‍යයට පැමිණ සිටින දෙමළ මුස්ලිම් ජනකොටස් ඒ රාජ්‍යයට අවශෝෂණය කර ගන්නේ කෙසේ ද යන්නයි. ඒ ප්‍රශ්නයට විසඳුම සියල්ලන් ලාංකික කිරීම නම් නො වෙයි. එය බටහිර ඊනියා ජාතික රාජ්‍යය සංකල්පයට හරි යන්න පුළුවන්. ඊනියා ජාතික රාජ්‍යයක් ලොරියකට බඩු පටවන්නාක් මෙන් ගොඩ නගන්න පුළුවන්. ලොරියට පොල් කොස් ආදිය පමණක් නොව ගෘහභාණ්ඩ ද පටවන්න පුළුවන්. ජාතියක් හරි ජාතික රාජ්‍යයක් හරි එහෙම ගොඩ නගන්න බැහැ. මෙහි දී ප්‍රධාන වන්නේ පොදු විඥානයයි. 

අද බටහිර රටවල පොදු විඥානයක් නැහැ. එක්සත් රාජධානියේ පොදු විඥානය කුමක් ද? එක්සත් ජනපදවල පොදු විඥානය කුමක් ද? ඒවා නමට ජාතික රාජ්‍ය. පොදු ජාතික විඥානයක් නැති කමේ ප්‍රශ්නය තමයි ෆ්ලොයිඩ්ගෙ මරණයෙන් පෙන්නුම් කරන්නෙ. එතැන ඇතැමුන් තුළ වහල් හිමි/වහල් මානසිකත්ව තියෙනවා. ඇතැම් කලු මිනිසුන් ඇමරිකන් එක්සත් ජනපද (වෙන නමක් නැති නිසා) විඥානයට අවශෝෂණය වෙලා. එවැන්නකුට ඒ රාජ්‍යයේ ජනාධිපති වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ ඔන්ලි සම් බ්ලැක් ලයිව්ස් මැටර් කියන එක ද? මේ ප්‍රශ්න හමේ පාටින් විසඳන්න බැහැ.  


අයිලන්ඩ් පත්තරේ ප්‍රභාත් සහාබන්ධු පත්තරේට පැමිණි දිනවල මා සමග සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ මා කොළඹ විශ්වවිද්‍යාලෙ උගන්වන කාලෙ. අඩුම තරමෙන් අවුරුදු විසිහතකට පෙර. එහි දී මා මේ කතාව කිව්වා. මෙරට පොදු විඥානය සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වෙන එකක් කියල. මට හරියට ම වචන මතක නැහැ. එහෙත් අරුත එයයි. අදටත් එය වලංගුයි. අපි ලාංකික වීමක් ගැන කතාව පසුවට තියා පළමුව පොදු විඥානයක් ගොඩ නගන්න බලමු. එහි දී කිසිවකු තම අනන්‍යතාව නැති කර ගන්න අවශ්‍ය නැහැ.  සිංහල බහුතරයේ විරුද්ධතාව මැද ඊනියා ලාංකික ජාතියක් ගොඩ නගන්න බැහැ.