Main Logo

Saturday 25 July 2020

මුට නමක් කියාපියෝ

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




මුට නමක් කියාපියෝ 

උප්පැන්න සහතිකයේ ආකෘතිය වෙනස් කිරීමට තීරණය කෙරුණේ ජඩපාලන ආණ්ඩුව විසින්.  එය ක්‍රියාත්මක වීමට යන්නේ දැන්. මෙරට උප්පැන්න නොව මරණය ගැනවත් ඊනියා ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා මේ ආණ්ඩුවට නව උප්පැන්න සහතික ආකෘතිය වෙනත් ම ආකාරයකට වෙනස් කිරීම ප්‍රශ්නයක් වීමට බැහැ. 


ජඩපාලනයට උප්පැන්න සහතිකය වෙනස් කිරීමට අවශ්‍ය වූණේ සිංහල ජාතියේ උප්පැන්නය වෙනස් කිරීමට මිස වෙනත් දෙයකට නො වෙයි. ජඩපාලකයන්ගේත් ඔවුන් වටා සිටියවුන්ගේත් එක ම අරමුණ වූයේ සිංහල උරුමය නැති කිරීමයි. එදා මුල දී එ ජා ප, දෙමළ ජාතික සංධානය, ජ වි පෙ සිටියේ එකට. නන්නත්තාර වී අවසානයේ දී සකර්බර්ග් නිසා යන්තම් දිවි ගැටගහ ගන්නා ඊනියා බුද්ධිමතුන්ට හෙවත් පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට ද දේශපාලනයක් තිබුණේ ජඩපාලනය ඔස්සේ පමණයි. ඒ සියල්ලන් ම එකට එක් කර ගනු ලැබුයේ සිංහල බෞද්ධ විරෝධය විසින්. 

මංගල සමරවීර අසූුවේ දශකයේ අග සිට ම මේ දේශපාලනයේ ප්‍රකාශකයා වුණා. ඊනියා රටවැසි පෙරමුණ (රතන හිමි සහ චම්පක සමග), X කණ්ඩායම, මාතොට මේ දේශපාලන ගමන් මගේ විවිධ මං සලකුණූ වුණා. මංගල පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගෙන නැහැ. ඔහු සමු ගෙන ඇත්තේ මන්ත්‍රී දේශපාලනයෙන් පමණයි. ඒ ඔහුට තරග කර දිනීම ප්‍රශ්නයක් වෙලා තියෙන බැවින්. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රස්සාවක් හොයා ගත්තෙ නැත්තෙ නම් පාර්ලිමේන්තු එන්න ඉඩ තියෙනවා.

අද සිංහල ජාතිකත්වය හමුවේ ඒ සිංහල විරෝධී දේශපාලනය දෙදරා ගිහින්. අද සිංහල විරෝධය කෑලි පහකට කැඩී ගිහින්. සජිත්, රනිල්, රනිල්දාස, සුමන්තිරන්, විග්නේෂ්වරන් ඒ කොටස්වල නායකත්ව දරනවා. සිංහල විරෝධී ඊනියා වම රනිල්දාස වටා කැරකැවෙනවා දකින්න පුළුවන්. මාලිමාව කැඩී ගිහින්. එහි පෙන්වන දිශානතිය ගැන ඇත්තේ විශ්වාසයක් ද දැනුමක් ද කීමට දැනුමක් විශ්වාසයක් ඇති අයකු නැහැ.

මේ කණ්ඩායම් පහ ම නව උප්පැන්න සහතික ආකෘතියට එකඟ වේවි. එහි පිටුපස ඇත්තේ බටහිර චින්තනයයි. අද ඔවුන්ට අවශ්‍ය සිංහල යන්න දේශපාලනයෙන් අතුගා දැමීමටයි. මේ රටේ එදා සිට වැඩ කරන ඊනියා සාම කාරයන්ට හා වෙනත් රාජ්‍ය නොවන කණ්ඩායම්වලට අවශ්‍ය සිංහල බහුතර මතය නොසළකා හැර කටයුතු කිරීමට. එය කළ නොහැක්කක් බව ඔවුන් තේරුම් නොගන්නේ බටහිරයන්ට ඇති හයිය නිසයි. ඒත් සිංහලයන් කෙසේ නමුත් අද දක්වා ඒ හයියට අභියෝග කර තියෙනවා. සිංහලයන් එකමුතු වන තරමට මේ අභියෝගය තවත් ශක්තිමත් කරන්න පුළුවන්. 

දැනට ක්‍රියාත්මක වන උප්පැන්නයට අනුව සිංහල දෙමළ මුස්ලිම් සියල්ල ජාතීන්. නව උප්පැන්නයට අනුව ඒ සියල්ල ජනවර්ග. දෙමළ නම් ජනවර්ගයක්වත් නො වෙයි. ප්‍රභාකරන්ට ආයුධ බලයෙන්වත් දෙමළ ජනවර්ගයක් ගොඩ නගා ගන්න බැරි වුණා. තොණ්ඩමන් පමණක් නොව අවසානයේ දී කරුණා අම්මාන් ද එයට හරහට හිටියා. ලංකාවේ මේ සියල්ලන් එක ම ගොඩකට දැමීම වැරදියි. සිංහල ජාතියට අද යම් අනන්‍යතාවක් තියෙනවා. එය උප්පැන්න සහතිකයේ පිළිබිඹු වෙන්න ඕන. ඒ අනන්‍යතාව නැති වූ දිනක, නැති කළ දිනක නොවෙයි, එය අවශ්‍ය යැයි මා හිතන්නේ නැහැ. එහෙත් එතෙක් අවශ්‍යයි. 

ඒ නැති විය හැක්කේ අනෙක් ජනකොටස් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධ වීම නැවැත්තුව විටයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් අමතක කරන්න. ඔවුන්ගේ සිංහල විරෝධය කිහිප දෙනකු අතර හරි පොරවල් වීමට අවශ්‍ය හීනමානයක් නිසා ඇති වන්නක්. එක් එක් අයගේ හීනමානයට හේතුව වෙනස් වෙන්න පුළුවන්. එක් එක් අය පොර වෙන්න හදන විධියත් වෙනස් වෙන්න පුළුවන්. අර ජනකොටස්වල සිංහල විරෝධය අත්හරින්නට ඒ අයට නොදෙන්නේ බටහිරයන්. අර පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්ටත් අවසානයේ දී ශක්තිය ලබන්නේත් බටහිරයන්ගෙන්. ඔවුන්ට තමන්ගේ ම වූ මතවාදයක් නැහැ. හැම තිස්සෙ ම බටහිර අහවලා මෙහෙම කියල තියෙනවා කියනවා. බටහිර තියෙන්නෙ අවුල් සංකල්ප. 

බටහිරයන්ට අවශ්‍ය ලංකාවේ ඉන්නේ ශ්‍රී ලාංකිකයන් (ස්‍රී ලාංකිකයන්) යන්නට මුවා වෙලා සිංහලකම නැති කරන්න. සිංහලත්වය කියන එක හැමදා තිබුණු එකක්වත් හැමදා තියෙන එකක්වත් නො වෙයි. ඒත් දැන් අවුරුදු දෙදහසක පමණ කාලයක තියෙනවා. සිංහල එක් සේසත් රාජ්‍යයක් මේ රටේ තිබුණා. ඉඳහිට ප්‍රාදේශීය බලවතකු කැරලි නොගැසුවා නොවෙයි. එහෙත් සුළු කාලයකින් නැවතත් රට එක් සේසත් කෙරුණා. රට කී වතාවක් එක් සේසත් කරල තියෙනව ද කියල හොයල බැලුව ම මා කියන කාරණය තේරෙයි. මා නව සමසමාජ පක්‍ෂයෙ ඉන්න කොට, මට මතක නැහැ කවුද කිව්වෙ කියල, එක් පඬියකු කිව්ව ලංකාව එක් සේසත් වෙලා තිබිල තියෙන්නෙ රජවරු අට දෙනකු වගේ ගණනක් යටතෙ විතරයි කියල. ඒකත් බලා ගෙන ගියා ම තර්කයක් තමයි. 

පඬියන් ඒ මදිවට පෙන්නනව නායක්කාර රජවරු දෙමළ, පරාක්‍රමබාහුට පාණ්ඩ්‍ය සම්භවයක් තියෙනවා ආදී වශයෙන්. ඔවුන් හිතන්නෙ ඒ කාලවල මෙරට සිංහල රාජ්‍යයක් තිබුණෙ නැහැ කියලා. රාජ්‍යයට වැදගත් වන්නේ රජුගෙ සම්භවය නො වෙයි. රාජ්‍යයේ ගුණය මොකක් ද කියන එක. වත්මන් එංගලන්ත හරි බිරිතානි හරි කියමු රජවරුන්ගෙ සම්භවය ජර්මන්. පඬියකු නරක ද බකින්හැම් මාළිගාව ළඟට ගිහින් කෑ ගහලා කිව්වොත් මේ ජර්මන් රැජන පළවා හරිමු කියලා. ඕන නම් සමාජවාදී රාජ්‍යයක් ඇති කිරීමට පෙළ ගැසෙමු කියලත් කියන්න පුළුවන්. 

එංගලන්තය කියල අද නිල වශයෙන් රටක් නැහැ. නිල වශයෙන් ඉංගිරිසි ජාතියකුත් නැහැ. අඩු තරමෙන් බිරිතානි රජයක්වත් බිරිතානි ජාතියක්වත් නැහැ. ඒ අර තකතීරු ජාතික රාජ්‍ය සංකල්පයේ ප්‍රතිඵලයක්. අද ඇත්තේ එක්සත් රාජධානිය. ඔවුන් තම ජාතිකත්වය හඳුන්වන්නේ කොහොම ද? යුනයිටඩ් කිංග්ඩමියන් කියල ද? අපේ පසල්වල ආදි ශිෂ්‍යයන්ට/ශිෂ්‍යාවන්ට බැරි ද උපකාරයක් කරන්න රෝයලිස්ට්, තෝමියන්, ආනන්දියන්, විසාකියන්, බ්‍රිජටියන්, තර්ස්ටනයිට්, පීටරයිට්, අනුලියන්, වගේ නමක් දාගන්න. අන්ලියන් වුණත් කමක් නැද්ද? එලිසබෙත්ට ජර්මන් සම්භවයක් තියෙන නිසා අන්ලියක් කියනවා ද?  කින්ග්ඩමයිට් හොඳ ද? ඒක ඩයිනමයිට් වගේ නමක්. කොහොමත් ඔය කට්ටිය කෙළෙ ලෝකෙ පුපුරන එක තමයි. (මතු සම්බන්ධයි)