හතුරුසිංහ නිව් සවුත් වේල්ස් හි වැඩ අරඹන්නට යයි

6798

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ ප්‍රධාන සහායක පුහුණුකරු සහ පිතිකරණ පුහුණුකරු ලෙස තෝරාපත් කරගෙන ඇත. 

>>ස්ටෝක්ස්ගේ මැදඇඟිල්ලේ ඔබ නොදන්න කතාව<<

හතුරුසිංහ මහතා මීට පෙර එනම් 2010-2014 යන කාල වකවානුව තුල ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

ග්‍රෙග් මේල් මහතා පසුගිය මැයි මාසයේ දී නිව් සවුත් වේල්ස් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානියා බවට පත්වීමෙන් පසු සිදු වූ පළමු වැදගත් පියවර වන්නේ හතුරසිංහ මහතාගේ මෙම පත්වීමයි. එම පුහුණුකරු කාර්ය මණ්ඩලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ෆිල් ජැක් ය. එහි වේගපන්දු යවන පුහුණුකරු ඇන්ඩ්‍රේ ඇඩම්ස් සහ දඟපන්දු යවන පුහුණුකරු ලෙස ඇන්තනි ක්ලාක් යන කටයුතු කරයි.

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන හතුරුසිංහ මහතා 2017 වසරේ දෙසැම්බර් මාසයට පසුව වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත වූ අතර ඔහුගේ නිල කාලය නිමා වීමට තිබුණේ 2020 වසරේ දී වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ දුර්වල දක්ෂතා නිසා පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ඔහුගේ කොන්ත්‍රාත්තුව අහෝසි කර හතුරුසිංහ මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කරන ලදි.

>>අනූහයේ මල්ලිලාව බලාගත්ත ලොකු අයියා – අර්ජුන රණතුංග<<

ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා හදිසියේ ශ්‍රී ලංකා කණ්ඩායම අතහැර යාම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි වෙහෙසකින් අනතුරුව හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාව වෙත රැගෙන ආවේ බංගලාදේශයේ සාර්ථක ධුර කාලයක් ක්‍රියාත්මක කරමින් සිටිය දීයි.

ඒ නිසාම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වැටුපක් හිමිවන පුහුණුකරුවා බවට පත් වූ නමුත් 2019 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ බලය තරමකට සීමා කළේ විදේශ සංචාරවල දී තේරීම් කමිටුවට සහභාගී වීමට ඔහුට ඇති අයිතිය ද අත්හිටුවමින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<