වමත් කණ්ඩායම හා දකුණත් කණ්ඩායම; කවුරු දිනයි ද?

2878

1975 වසරේ ජුනි මස 7 වැනි දින එංගලන්තයේ මැන්චෙස්ටර් හී දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තම මංගල ජාත්‍යන්තර පන්දුවාර 50 එක්දින තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එදින පටන් අද වන තෙක් ජාත්‍යන්තර එක්දින පිටියේ තරග 852කට සහභාගී වී ඇත.

ඉන් තරග 389ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර පරාජය වී ඇති තරග සංඛ්‍යාව 421කි. තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වූ තරග ගණන 37ක් ලෙස සටහන් වේ.

එම තරග 852 වෙනුවෙන් ක්‍රීඩකයන් 192ක් ශ්‍රී ලංකා ජාතික එක්දින කණ්ඩායම නියෝජනය කිරීමේ වාසනාව හිමි කරගෙන ඇත.

එම ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ දක්වන ලද දස්කම් සැලකිල්ලට ගනිමින් වමතින් පන්දුවට පහර දුන් හා දකුණතින් පන්දුවට පහර දුන් ලෙසින් ක්‍රීඩකයන් වර්ගීකරණය කොට ඔවුන් අතරින් හොඳම ක්‍රීඩකයන් තෝරාගෙන කණ්ඩායම් දෙකක් නම් කළහොත් කුමන ක්‍රීඩකයන් එම කණ්ඩායම් දෙකට ඇතුළත් වේවි ද? කුමන කණ්ඩායම වඩාත් ප්‍රබල කණ්ඩායම බවට පත් වේවි ද?

වෙඩි උණ්ඩයට පවා නොසැලුණු තිලාන් සමරවීර

ඉතින් මා මේ උත්සාහ කරන්නේ එදා මෙදා තුර ශ්‍රී ලංකාව නියෝජනය කළ හොඳම වමත් එක්දින කණ්ඩායම හා හොඳම දකුණත් එක්දින කණ්ඩායම තෝරාගැනීමටයි.

මේ ක්‍රීඩකයන්ගේ දස්කම් උපරිම තලයේ තිබිය දී මෙම කණ්ඩායම් දෙක අතර තරගයක් පැවැත්වීමට හැකියාවක් තිබුණි නම් සැබැවින්ම එය ඉතා චමත්කාර ජනක තරගයක් වනවාට කිසිදු සැකයක් නොමැත.

මෙම කණ්ඩායම් දෙක තෝරාගැනීමේ දී එහි නිර්ණායකයන් ලෙස එක් එක් ක්‍රීඩකයන් ජාත්‍යන්තර එක්දින තරග බිමේ ලබා ගත් ලකුණු හා දවා ගත් කඩුලු ප්‍රමාණයන් සැලකිල්ලට ගෙන ඇති අතර එක් කණ්ඩායමකට පිතිකරුවන් 4 දෙනෙක්, කඩුලු රකින පිතිකරුවෙක්, දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙක්, වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, එක් දඟපන්දු යවන්නෙක් හා වේගපන්දු යවන්නන් දෙදෙනෙක් ඇතුළත් වන අයුරින් කණ්ඩායම් දෙක තෝරාගෙන ඇත.

පළමුව අපි පිතිකරණ ලැයිස්තුවේ අනුපිළිවෙළ අනුව වමත් කණ්ඩායම පිළිබඳව විමසා බලමු.

ආරම්භක පිතිකරුවන්

උපුල් තරංග (පිතිකරු)

එක්දින ජාත්‍යන්තර තරග 234
ලකුණු 6941
පිතිකරණ සාමාන්‍යය 33.85
ඉනිමක වැඩිම ලකුණු 174*
ශතක 15
අර්ධ ශතක 37
පන්දුවට පහර දීමේ වේගය 75.99

ශ්‍රී ලංකාව බිහි කළ සාර්ථකම ආරම්භක පිතිකරුවන් කිහිප දෙනාගෙන් එක් අයෙක් ලෙස උපුල් තරංග හැඳින්විය හැක. ඔහු සතුවන හැකියාවේ තරමටම දක්ෂතා දැක්වීමට අපොහොසත් වුවත් එක්දින ජාත්‍යන්තර ශතක 14කට උරුමකම් කීමට තරංගට හැකියාව ලැබී ඇත. එසේම පන්දුවට පහර දෙන අවස්ථාවේ පහරේ කාලය මැනීම අතින් ඉදිරියෙන්ම පසුවන පිතිකරුවෙක් ලෙස තරංගව හැඳින්විය හැක.

සනත් ජයසූරිය (දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)

එක්දින ජාත්‍යන්තර තරග 441
ලකුණු 13364
පිතිකරණ සාමාන්‍යය 32.51
ඉනිමක වැඩිම ලකුණු 189
ශතක 28
අර්ධ ශතක 68
පන්දුවට පහර දීමේ වේගය 91.25
කඩුලු 320
පන්දු යැවීමේ සාමාන්‍යය 36.67
ඉනිමක හොඳම පන්දු යැවීම 6/29
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 4.77
කඩුලු 5ක් දවා ගත් අවස්ථා 4

ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ ක්‍රීඩකයෙකු ලෙස ඉතිහාසයට එක්වී ඇති සනත් ජයසූරිය සතු වන වාර්තා ගණන මෙතෙකැයි කියා කිව නොහැක. තරග දිනවන්නෙකු ලෙස ප්‍රකට සනත් ඔහුගේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ අවස්ථා ගණන මෙතෙකැයි කියා කිව නොහැක. 1996 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානයට පාත්‍ර වූ ඔහු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ක්‍රීඩකයෙකි. එක් වකවානුවක ඇතැම් ඉන්දීය හා පාකිස්තානු ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකාව Jayasuriya’s Country ලෙස  හැඳින්වීමෙන්ම ඔහු උපයාගෙන තිබූ ජනප්‍රියත්වයේ තරම වටහා ගත හැක.

නොම්මර 3

කුමාර් සංගක්කාර (කඩුලු රකින පිතිකරු)

එක්දින ජාත්‍යන්තර තරග 397
ලකුණු 13975
පිතිකරණ සාමාන්‍යය 41.96
ඉනිමක වැඩිම ලකුණු 169
ශතක 25
අර්ධ ශතක 90
පන්දුවට පහර දීමේ වේගය 78.88
උඩපන්දු 402
ස්ටම්ප් කිරීම් 99

එක්දින තරග ඉතිහාසයේ වැඩිම දවාලීම් ප්‍රමාණයකට සම්බන්ධ වූ පන්දු රකින්නා කුමාර් සංගක්කාරය. එම දවා ගැනීම් ප්‍රමාණය 501කි. ලෝක කුසලාන තරගාවලියක තරග 4ක් තුළ නොකඩවා ශතක රැස් කිරීමේ වාර්තාවට ද උරුමකම් කියන්නේ ඔහුය. එසේම එක්දින තරග ඉතිහාසයේ දෙවන වැඩිම ලකුණු ලාභියා ද සංගක්කාරය.

නොම්මර 4

අසංක ගුරුසිංහ (පිතිකරු)

එක්දින ජාත්‍යන්තර තරග 147
ලකුණු 3902
පිතිකරණ සාමාන්‍යය 28.27
ඉනිමක වැඩිම ලකුණු 117*
ශතක 2
අර්ධ ශතක 22
පන්දුවට පහර දීමේ වේගය 60.88

අසංක ගුරුසිංහ පිළිබඳව බොහෝ ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳී ඇත්තේ 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඔහු ක්‍රීඩා කළ ඉනිම වුවද ගුරුසිංහ ඔහුගේ බොහෝ දස්කම් 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට පෙරාතුව දක්වා ඇති නිසා ඔහු පිළිබඳව එතරම් කියවීමක් බොහෝ ප්‍රේක්ෂකයන් හට නොමැත. 1996 ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම පැමිණි ගමනේ කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ ආරක්ෂක බැම්ම ලෙසින් ක්‍රීඩා කරමින් එක් අන්තයකින් කඩුල්ල රැකගෙන තම වගකීම මැනවින් ඉටු කළ ගුරුසිංහ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පිතිකරුවන්ගෙන් එක් අයෙකි.

නොම්මර 5

අර්ජුන රණතුංග (පිතිකරු / නායක)

එක්දින ජාත්‍යන්තර තරග 269
ලකුණු 7456
පිතිකරණ සාමාන්‍යය 35.84
ඉනිමක වැඩිම ලකුණු 131*
ශතක 4
අර්ධ ශතක 49
පන්දුවට පහර දීමේ වේගය 77.90

ශ්‍රී ලංකාවට 1996 ලෝක කුසලානය දිනාදීමේ පුරෝගාමියා අර්ජුන රණතුංගය. අර්ජුනගේ නායකත්වය නොවන්නට ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට සිහිනයක්ම වන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි. තම කණ්ඩායමේ ක්‍රීඩකයන් පිටිය තුළ දී මෙහෙයවීමෙන් ඔබ්බට ගොස් පීතෘ මූලික නායකයෙක් ලෙසින් ක්‍රීඩකයන්ගේ විවිධ ගැටලු නිරාකරණය කිරීමට සෘජුවම මැදිහත් වූ අර්ජුන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ඔසවා තැබීම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළ නායකයෙකි. ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී අර්ජුන ශේන් වෝන්ට හයේ පහරක් එල්ල කළ ආකාරය සහ තරගය ජයග්‍රහණය කිරීමට පන්දුව තර්ඩ් මෑන් කලාපයට තල්ලු කළ ආකාරය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හට කිසිදා අමතක නොවන මතකයකි.

නොම්මර 6

හෂාන් තිලකරත්න (පිතිකරු)

එක්දින ජාත්‍යන්තර තරග 200
ලකුණු 3789
පිතිකරණ සාමාන්‍යය 29.60
ඉනිමක වැඩිම ලකුණු 104
ශතක 2
අර්ධ ශතක 13
පන්දුවට පහර දීමේ වේගය 57.51

එක්දින ජාත්‍යන්තර තරගයක නොම්මර 7 ස්ථානයේ ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කිරීමට සමත් වූ ලොව පළමු ක්‍රීඩකයා හෂාන් තිලකරත්නය. කණ්ඩායමට ඇතුළත් වූ අවධියේ කඩුලු රකින්නෙකු ලෙස කටයුතු කළත්, 1992 වසරේ පටන් විශේෂඥ පිතිකරුවෙකු වශයෙන් කණ්ඩායමට තම දායකත්වය දැක්වූ හෂාන් තාක්ෂණයෙන් අනූන පිතිකරුවෙකු ලෙසින් පිළිගැනීමට ලක්වූ අයෙකි. 1995/96 සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් සැපයූ හෂාන් 1996 ලෝක කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකි.

නොම්මර 7

රසල් ආනල්ඩ් (දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)

එක්දින ජාත්‍යන්තර තරග 180
ලකුණු 3950
පිතිකරණ සාමාන්‍යය 35.26
ඉනිමක වැඩිම ලකුණු 103
ශතක 1
අර්ධ ශතක 28
පන්දුවට පහර දීමේ වේගය 72.57
කඩුලු 40
පන්දු යැවීමේ සාමාන්‍යය 43.47
ඉනිමක හොඳම පන්දු යැවීම 3/47
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 4.83
කඩුලු 5ක් දවා ගත් අවස්ථා

තරග අවසන් කරන්නෙකු ලෙසින් නම් දරා සිටි රසල් ආනල්ඩ් කණ්ඩායමට අවශ්‍ය මොහොතේ දී පන්දුවෙන් ද තම වගකීම නිසි පරිදි ඉටු කළ ක්‍රීඩකයෙකි. ඔහුටම ආවේණික වූ ස්වීප් පහරකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ආනල්ඩ් සටන්කාමී ක්‍රීඩකයෙකු වශයෙන් නම්දරා සිටි අයෙකි.

නොම්මර 8

තිසර පෙරේරා (වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)

එක්දින ජාත්‍යන්තර තරග 164
ලකුණු 2316
පිතිකරණ සාමාන්‍යය 20.13
ඉනිමක වැඩිම ලකුණු 140
ශතක 1
අර්ධ ශතක 10
පන්දුවට පහර දීමේ වේගය 112.59
කඩුලු 172
පන්දු යැවීමේ සාමාන්‍යය 32.95
ඉනිමක හොඳම පන්දු යැවීම 6/44
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 5.83
කඩුලු 5ක් දවා ගත් අවස්ථා 4

ආක්‍රමණශීලී පසුපෙළ පිතිකරුවෙකු වශයෙන් මෙන්ම කණ්ඩායමට අවශ්‍ය මොහොතේ දී පන්දුවෙන් ද දස්කම් දක්වමින් අවස්ථා ගණනාවකම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ ක්‍රීඩකයෙකු ලෙස තිසර පෙරේරා හැඳින්විය හැක. වරක් දකුණු අප්‍රිකාණු දඟපන්දු යවන්නෙකු වූ රොබින් පීටර්සන්ගේ එක් පන්දුවාරයක් තුළ හයේ පහර පහක් හා එක් හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 34ක් රැස් කරගත් තිසර ඔහුගේ ප්‍රහාරාත්මක හැකියාව ලොවටම ප්‍රදර්ශනය කළේය.

නොම්මර 9

චමින්ද වාස් (වේගපන්දු යවන්නා)

එක්දින ජාත්‍යන්තර තරග 321
කඩුලු 399
පන්දු යැවීමේ සාමාන්‍යය 27.45
ඉනිමක හොඳම පන්දු යැවීම 8/19
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 4.18
කඩුලු 5ක් දවා ගත් අවස්ථා 4

එක්දින තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව සටහන් වන්නේ චමින්ද වාස්ගේ නමිනි. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුලු 8ක් දවා ගැනීමෙන් අනතුරුවය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග ඉතිහාසයේ දෙවන වැඩිම කඩුලු ලාභියා වන්නේ වාස් ය. එසේම වාස් 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නායි. පන්දුවෙන් පමණක් නොව කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව පිත්තෙන් ද දස්කම් දැක්වූ වාස් සාජා පිටියෙන් ඉවතට ඇදී යන්නට එල්ල කළ දැවැන්ත හයේ පහර ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ රැඳී ඇති සුවිශේෂී මතකයකි.

නොම්මර 10

නුවන් සොයිසා (වේගපන්දු යවන්නා)

එක්දින ජාත්‍යන්තර තරග 95
කඩුළු 108
පන්දු යැවීමේ සාමාන්‍යය 29.75
ඉනිමක හොඳම පන්දු යැවීම 5/26
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 4.52
කඩුලු 5ක් දවා ගත් අවස්ථා 1

විශාල හැකියාවක් තිබුණ ද විටින් විට ඇතිවූ ආබාධ නිසා දිගු ගමනක් යෑමට නොහැකි වූ ක්‍රීඩකයෙක් ලෙස නුවන් සොයිසා හැඳින්විය හැක. ඔහුගේ උස නිසා පන්දුවේ ඇතිවූ ඉල්පීම මෙන්ම පන්දුව තණතීරුව මත සීම් කිරීමට ඔහුට තිබූ හැකියාව නිසා එක්දින ජාත්‍යන්තර කඩුලු 100කට වැඩි ප්‍රමාණයක් දවා ගැනීමට නුවන්ට හැකියාව ලැබුණි. එසේම ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වශයෙන් ද අවස්ථා කිහිපයක දී කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීමට සමත් වී ඇත.

නොම්මර 11

රංගන හේරත් (දඟපන්දු යවන්නා)

එක්දින ජාත්‍යන්තර තරග 71
කඩුලු 74
පන්දු යැවීමේ සාමාන්‍යය 31.91
ඉනිමක හොඳම පන්දු යැවීම 4/20
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 4.37
කඩුලු 5ක් දවා ගත් අවස්ථා

මුරලිගේ දඟපන්දු ආධිපත්‍යය මෙන්ම සනත් ජයසූරියගේ වමත් දඟපන්දු යැවීම හේතුවෙන් එක්දින පිටිය තුළ එතරම් දස්කම් දැක්වීමට රංගන හේරත් හට අවස්ථාවක් හිමි වූයේ නැත. කෙසේ නමුත් සනත් ජයසූරියට පසුව එක්දින පිටියේ සාර්ථකම වමත් දඟපන්දු යවන්නා වන්නේ හේරත් ය.

ඒ අනුව වමත් කණ්ඩායම පෙළගැසෙන්නේ මෙසේය.

  1. උපුල් තරංග (පිතිකරු)
  2. සනත් ජයසූරිය (දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)
  3. කුමාර් සංගක්කාර (කඩුලු රකින පිතිකරු)
  4. අසංක ගුරුසිංහ (පිතිකරු)
  5. අර්ජුන රණතුංග (පිතිකරු / නායක)
  6. හෂාන් තිලකරත්න (පිතිකරු)
  7. රසල් ආනල්ඩ් (දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)
  8. තිසර පෙරේරා (වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)
  9. චමින්ද වාස් (වේගපන්දු යවන්නා)
  • නුවන් සොයිසා (වේගපන්දු යවන්නා)
  • රංගන හේරත් (දඟපන්දු යවන්නා)

දැන් අප පිතිකරණ ලැයිස්තුවේ අනුපිළිවෙළ අනුව දකුණත් කණ්ඩායම පිළිබඳව විමසා බලමු.

ආරම්භක පිතිකරුවන්

තිලකරත්න ඩිල්ෂාන් (දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)

එක්දින ජාත්‍යන්තර තරග 330
ලකුණු 10290
පිතිකරණ සාමාන්‍යය 39.27
ඉනිමක වැඩිම ලකුණු 161*
ශතක 22
අර්ධ ශතක 47
පන්දුවට පහර දීමේ වේගය 86.23
කඩුලු 106
පන්දු යැවීමේ සාමාන්‍යය 45.07
ඉනිමක හොඳම පන්දු යැවීම 4/4
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 4.87
කඩුලු 5ක් දවා ගත් අවස්ථා

මැදපෙළ පිතිකරුවෙකු ලෙසින් තම ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය ආරම්භ කළ තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩාවට සමුදෙන අවස්ථාව වන විට ලොව පහළ වූ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවන් කිහිපදෙනා අතරට එක් වන්නට සමත් වූ අයෙකි. පන්දු රැකීමේ දී පිටිය තුළ විදුලි වේගයෙන් ගමන් කරන්නෙකු ලෙස ප්‍රකට ඩිල්ෂාන් ඔහුගේ පන්දු රැකීමෙන් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා යොමු කළ අවස්ථා ද තිබේ.

එසේම කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවල දී ඔහුගේ පිට දඟපන්දුවෙන් කඩුලු කිහිපයක් ලබාගෙන තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට දෝලනය කිරීමට ද ඩිල්ෂාන් අතිදක්ෂයෙකි. ආක්‍රමණශීලී ක්‍රීඩකයෙකු ලෙසින් ප්‍රකට ඔහු අවසාන ලකුණ දක්වාම සටන් කරන්නෙකු ලෙස ප්‍රකටය. ඩිල්ෂාන් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැක.

රොමේෂ් කළුවිතාරණ (කඩුලු රකින පිතිකරු)

එක්දින ජාත්‍යන්තර තරග 189
ලකුණු 3711
පිතිකරණ සාමාන්‍යය 22.22
ඉනිමක වැඩිම ලකුණු 102*
ශතක 2
අර්ධ ශතක 23
පන්දුවට පහර දීමේ වේගය 77.70
උඩපන්දු 132
ස්ටම්ප් කිරීම් 75

ජයසූරිය හා එක්ව එක්දින තරග රටාව උඩු යටිකුරු කළ අනෙක් ක්‍රීඩකයා වන්නේ රොමේෂ් කළුවිතාරණයි. 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මූලික අඩිතාලම දමා දුන් කළුවිතාරණ ඔහුගේ මුඛරි වාග් විලාශයෙන් කණ්ඩායමේ සගයන් නිරන්තරයෙන් දිරිමත් කළ ක්‍රීඩකයෙකි. “ලිට්ල් කළු” යන නාමයෙන් ලොව පුරා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගත් කළුවිතාරණ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම කඩුලු රකින පිතිකරුවෙකු වශයෙන් හැඳින්විය හැක.

නොම්මර 3

මාවන් අතපත්තු (පිතිකරු)

එක්දින ජාත්‍යන්තර තරග 268
ලකුණු 8529
පිතිකරණ සාමාන්‍යය 37.57
ඉනිමක වැඩිම ලකුණු 132*
ශතක 11
අර්ධ ශතක 59
පන්දුවට පහර දීමේ වේගය 67.72

ශ්‍රී ලංකාව බිහි කළ තාක්ෂණයෙන් අනූනම පිතිකරුවා වන්නේ මාවන් අතපත්තුය. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම පිතිකරණ යුගලයන් අතරින් සිව්වැනි තැන හිමිකර ගැනීමට මාවන් සමත් වන්නේ සනත් ජයසූරිය හා එක්ව ඉනිම් 144ක දී ලකුණු 5462ක් රැස්කර ගනිමිනි. මාවන්ටම ආවේණික වූ කවර් ඩ්‍රයිව් පහර ප්‍රේක්ෂකයන් හට ඔහු පිළිබඳව ඇති අමරණීය මතකයකි.

නොම්මර 4

අරවින්ද ද සිල්වා (දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)

එක්දින ජාත්‍යන්තර තරග 308
ලකුණු 9284
පිතිකරණ සාමාන්‍යය 34.90
ඉනිමක වැඩිම ලකුණු 145
ශතක 11
අර්ධ ශතක 64
පන්දුවට පහර දීමේ වේගය 81.13
කඩුලු 106
පන්දු යැවීමේ සාමාන්‍යය 39.40
ඉනිමක හොඳම පන්දු යැවීම 4/30
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 4.86
කඩුලු 5ක් දවා ගත් අවස්ථා

එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභීන් වන  කුමාර් සංගක්කාර හා සනත් ජයසූරිය පවා පිළිගන්නා පරිදි ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම පිතිකරුවා වන්නේ අරවින්ද ද සිල්වා ය. 1996 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී හා අවසන් මහා තරගයේ දී අරවින්ද ක්‍රීඩා කළ ඉනිම් දෙක පමණක් ඔහුගේ ක්‍රීඩා පරාසය කියවා ගැනීම සඳහා ප්‍රමාණවත්ය. පිත්තෙන් පමණක් නොව පන්දුවෙන් ද එක ලෙස දස්කම් දැක්වූ අරවින්ද වැදගත් තරගවල දී දක්ෂතා අතරට පැමිණෙන්නෙක් ලෙසින් ප්‍රකටය. එසේම 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා කණ්ඩායමේ උපනායකයා වශයෙන් ඔහු අර්ජුනට ලබා දුන් ශක්තිය සුළුපටු නොවේ.

නොම්මර 5

මහේල ජයවර්ධන (පිතිකරු / නායක)

එක්දින ජාත්‍යන්තර තරග 443
ලකුණු 12381
පිතිකරණ සාමාන්‍යය 33.01
ඉනිමක වැඩිම ලකුණු 144
ශතක 18
අර්ධ ශතක 75
පන්දුවට පහර දීමේ වේගය 78.67

පිටියේ අංශක 360 පුරාවටම පහර එල කළ හැකි, තරගයේ රිද්මය අනුව තම පිතිකරණ රිද්මය වෙනස් කර ගත හැකි පිතිකරුවෙකු ලෙස මහේල ජයවර්ධන හැඳින්විය හැක. මහේල විසින් 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව  රැස් කළ ශතකය මෙන්ම 2007 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තයට එරෙහිව රැස්කළ ශතකය ද එක්දින පිටියේ ලොව විශිෂ්ටතම ශතකයන් කිහිපය අතර ඉහළින්ම රැඳී තිබේ. පිතිකරුවෙකු ලෙසින් පමණක් නොව නායකයෙකු වශයෙන් ද මහේල ඉතා සාර්ථක වූ අතර ලොව උපක්‍රමශීලීම නායකයන් කිහිප දෙනාගෙන් එක් අයෙකු ලෙසින් ඔහුව හැඳින්වෙයි.

නොම්මර 6

රොෂාන් මහානාම (පිතිකරු)

එක්දින ජාත්‍යන්තර තරග 213
ලකුණු 5162
පිතිකරණ සාමාන්‍යය 29.49
ඉනිමක වැඩිම ලකුණු 119*
ශතක 4
අර්ධ ශතක 35
පන්දුවට පහර දීමේ වේගය 60.57

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පන්දු රකින්නෙකු වශයෙන් රොෂාන් මහානාම හැඳින්විය හැක. 1992 ලෝක කුසලානය ද ඇතුළත්ව ඔහුගේ ක්‍රීඩා දිවියේ බොහෝ අවස්ථාවල ආරම්භක පිතිකරුවෙකු වශයෙන් ක්‍රීඩා කර තිබුණ ද 1996 ලෝක කුසලාන තරගාවලිය තුළ මැදපෙළ පිතිකරුවෙකු වශයෙන් ක්‍රීඩා කිරීම නිසා බොහෝ දෙනා මහානාම හඳුනා ගන්නේ මැදපෙළ පිතිකරුවෙකු වශයෙනි. 1996 ලෝක කුසලානය ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායමට තම උපරිම දායකත්වය සැපයූ මහානාම බොහෝ ප්‍රේක්ෂකයන්ගේ මතකයන් තුළට එක්වී ඇත්තේ විශේෂඥ පන්දු රකින්නෙකු වශයෙනි.

නොම්මර 7

දිනේෂ් චන්දිමාල් (පිතිකරු)

එක්දින ජාත්‍යන්තර තරග 146
ලකුණු 3599
පිතිකරණ සාමාන්‍යය 32.42
ඉනිමක වැඩිම ලකුණු 111
ශතක 4
අර්ධ ශතක 22
පන්දුවට පහර දීමේ වේගය 74.12

පාසල් ක්‍රීඩා පිටියෙන් ජාතික කණ්ඩායමට පැමිණෙන විට බොහෝ දෙනා දිනේෂ් චන්දිමාල්ව හැඳින්වූයේ මීළඟ අරවින්ද ද සිල්වා ලෙසින් ය. කණ්ඩායමට පැමිණි මුල් අවධියේ ඉතා සාර්ථක ලෙසින් දස්කම් දැක්වූ චන්දිමාල් එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ දී රැස්කළ ශතකයත් සමඟින් ප්‍රේක්ෂයන් හට ඔහු පිළිබඳව අමතක නොවෙන මතකයක් සනිටුහන් කිරීමට සමත් විය.

නොම්මර 8

ඇන්ජලෝ මැතිව්ස් (වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)

එක්දින ජාත්‍යන්තර තරග 217
ලකුණු 5830
පිතිකරණ සාමාන්‍යය 41.94
ඉනිමක වැඩිම ලකුණු 139*
ශතක 3
අර්ධ ශතක 40
පන්දුවට පහර දීමේ වේගය 83.32
කඩුලු 120
පන්දු යැවීමේ සාමාන්‍යය 33.35
ඉනිමක හොඳම පන්දු යැවීම 6/20
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 4.62
කඩුලු 5ක් දවා ගත් අවස්ථා 1

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට තම දායකත්වය සැපයූ ඇන්ජලෝ මැතිව්ස් තරග අවසන් කරන්නෙකු වශයෙන් නම් දරා සිටි ක්‍රීඩකයෙකි. 2010 වසරේ දී ලසිත් මාලිංග හා එක්ව ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් හිදී ලබා ගත් තරග ජයග්‍රහණය නිසා එම වකවානුවේ හොඳම තරග අවසන් කරන්නා ලෙසින් විචාරකයන්ගේ පැසසුමට ලක් වන්නට මැතිව්ස්ට හැකියාව ලැබුණි. ශාරීරික යෝග්‍යතාවය නිසි පරිදි පවත්වා ගැනීමට නොහැකි වීම නිසා වරින් වර ආබාධයන්ට ලක් වීමට සිදු වුවද ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිප දෙනා අතරින් ප්‍රමුඛ ස්ථානයක් මැතිව්ස් හට හිමි වන්නේ කණ්ඩායම වෙනුවෙන් ඔහු දක්වා ඇති දක්ෂතා නිසාය.

නොම්මර 9

නුවන් කුලසේකර (වේගපන්දු යවන්නා)

එක්දින ජාත්‍යන්තර තරග 184
කඩුලු 199
පන්දු යැවීමේ සාමාන්‍යය 33.92
ඉනිමක හොඳම පන්දු යැවීම 5/22
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 4.90
කඩුලු 5ක් දවා ගත් අවස්ථා 1

 

නිහඬ දඩයක්කරුවෙකු ලෙසින් ප්‍රකට වී ඇති නුවන් කුලසේකර ලෝක එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානය දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙකි. ඔහුගේ දෝලනය ඉදිරියේ ලොව පුරා නම් දැරූ බොහෝ පිතිකරුවන් හට පසුබසින්නට සිදු විය. පන්දුවෙන් පමණක් නොව කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව පිත්තෙන් ද තරග ජයග්‍රහණය කරවන්නෙකු ලෙස ප්‍රකට කුලසේකර ඉතා නිහතමානී ක්‍රීඩකයෙකු ලෙස ප්‍රේක්ෂකයන් අතර ප්‍රකටය.

නොම්මර 10

ලසිත් මාලිංග (වේගපන්දු යවන්නා)

එක්දින ජාත්‍යන්තර තරග 226
කඩුලු 338
පන්දු යැවීමේ සාමාන්‍යය 28.87
ඉනිමක හොඳම පන්දු යැවීම 6/38
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 5.35
කඩුලු 5ක් දවා ගත් අවස්ථා 8

එක්දින තරග ඉතිහාසයේ ලොව විශිෂ්ටතම අවසන් පන්දුවාර යවන ක්‍රීඩකයා ලෙසින් පිළිගැනෙන්නේ ලසිත් මාලිංගය. මාලිංගගේ නම ඉදිරියේ සටහන් වී ඇති වාර්තා ගණන මෙතෙකැයි කියා කිව නොහැක. එක්දින තරගවල දී පමණක් මාලිංගගේ නම ඉදිරියෙන් සටහන් වී ඇති කඩුලු ත්‍රිත්වයන් ගණන තුනකි. 2007 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 4ක් තුළ කඩුලු 4ක් දවා ගැනීම මාලිංගගේ එක්දින දිවියේ ස්වර්ණමය අවස්ථාව ලෙසින් හැඳින්විය හැක.

නොම්මර 11

මුත්තයියා මුරලිදරන් (දඟපන්දු යවන්නා)

එක්දින ජාත්‍යන්තර තරග 343
කඩුලු 523
පන්දු යැවීමේ සාමාන්‍යය 23.07
ඉනිමක හොඳම පන්දු යැවීම 7/30
පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 3.92
කඩුලු 5ක් දවා ගත් අවස්ථා 10

සංඛ්‍යා දත්තවලට අනුව ලොව පහළ වූ විශිෂ්ටතම පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් ය. එසේම එක්දින ජාත්‍යන්තර පිටියේ වැඩිම කඩුලු ලාභියා ද වන මුරලි ලෝක කුසලාන තරගාවලි 5ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. 1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ දඟ පන්දු තුරුම්පුව වූයේ ද මුරලි ය.

ඒ අනුව දකුණත් කණ්ඩායම පෙළගැසෙන්නේ මෙසේය.

  1. තිලකරත්න ඩිල්ෂාන් (දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)
  2. රොමේෂ් කළුවිතාරණ (කඩුලු රකින පිතිකරු)
  3. මාවන් අතපත්තු (පිතිකරු)
  4. අරවින්ද ද සිල්වා (දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)
  5. මහේල ජයවර්ධන (පිතිකරු / නායක)
  6. රොෂාන් මහානාම (පිතිකරු)
  7. දිනේෂ් චන්දිමාල් (පිතිකරු)
  8. ඇන්ජලෝ මැතිව්ස් (වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක)
  9. නුවන් කුලසේකර (වේගපන්දු යවන්නා)
  • ලසිත් මාලිංග (වේගපන්දු යවන්නා)
  • මුත්තයියා මුරලිදරන් (දඟපන්දු යවන්නා)

ඒ අනුව පිළිවෙළින් වමත් හා දකුණත් කණ්ඩායම් දෙක එකිනෙකාට එදිරිව මේ අයුරින් පෙළගැසෙයි.

වමත් කණ්ඩායම දකුණත් කණ්ඩායම
1.        උපුල් තරංග

2.        සනත් ජයසූරිය

3.        කුමාර් සංගක්කාර

4.        අසංක ගුරුසිංහ

5.        අර්ජුන රණතුංග (නායක)

6.        හෂාන් තිලකරත්න

7.        රසල් ආනල්ඩ්

8.        තිසර පෙරේරා

9.        චමින්ද වාස්

10.      නුවන් සොයිසා

11.      රංගන හේරත්

1.        තිලකරත්න ඩිල්ෂාන්

2.        රොමේෂ් කළුවිතාරණ

3.        මාවන් අතපත්තු

4.        අරවින්ද ද සිල්වා

5.        මහේල ජයවර්ධන (නායක)

6.        රොෂාන් මහානාම

7.        දිනේෂ් චන්දිමාල්

8.        ඇන්ජලෝ මැතිව්ස්

9.        නුවන් කුලසේකර

10.      ලසිත් මාලිංග

11.      මුත්තයියා මුරලිදරන්

මෙම කණ්ඩායම් දෙක අතරින් කුමන කණ්ඩායම ජයග්‍රහණය කරයි කියා ඔබ සිතන්නේ ද? එසේ නැතිනම් මෙම ක්‍රීඩකයන් වෙනුවට වෙනත් ක්‍රීඩකයන් ආදේශ විය යුතු යැයි ඔබ සිතන්නේ ද? පහළින් comment කරන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<