සහය පාපන්දු පුහුණුකරු තනතුරෙන් නිදහස්

383

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර තිබුණේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ සහය පුහුණුකරු මහින්ද ගලගෙදර මහතාව එම ධුරයෙන් නිදහස් කළ බවයි.

>>“ශ්‍රී ලංකාවේ පාපන්දු කඩාවැටීමට ප්‍රධානම හේතුව FFSL” – රූමි<<

“ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඔබට දැනුම් දෙනවා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ සහය පුහුණුකරු 2020 ජූලි මස 8 වැනිදා සිට එම ධුරයෙන් නිදහස් කළ බව. ඔහු ඉදිරියට පොලිස් ක්‍රීඩා සමාජය සමඟ කටයුතු කරයි” ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වුනා. ඔවුන් තවදුරටත් මෙසේ  සඳහන් කර සිටියා.

“මෙම තීරණය ගනු ලැබුවේ මහින්ද ගලගෙදර මහතා විසින්මයි. ඔහුට කණ්ඩායම් දෙකක් පාලනය කිරීම අපහසු වීම හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නීති රීති අනුව ඔහුට නිල වශයෙන් එක් කණ්ඩායමක් සමඟ ඉන්න සිදු වෙනවා.”

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය තරමක් පරස්පර ස්වභාවයක් ගත් අතර එහි මුලින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඔහුව නිදහස් කිරීමට තීරණය කළ බව සඳහන් වුනත්, පසුව සඳහන් කර තිබුණේ මහින්ද ගලගෙදර මහතා එම තීරණය ගත් බවයි. FA කුසලාන ශූරයින් වන පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ද එම මහතායි.

>>Matara City පුහුණුකාරීත්වයට හිටපු ජාතික පුහුණුකරුවෙක්<<

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නීති රීති වලට අනුව ජාතික කණ්ඩායමක පුහුණුකරුවෙක්ට ක්‍රීඩා සමාජයක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට ඉඩක් නැහැ. එම නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මුලදී ගලගෙදර මහතා ව සහය පුහුණුකරු ලෙස නම් කළේ මන්ද යන ගැටලුව පැනනගිනවා. ඒ වන විටත් ඔහු වෙනස් ක්‍රීඩා සමාජයක පුහුණුකාර්ය මණ්ඩලයේ කටයුතු කරමින් සිටියා.

ThePapare.com වෙත වාර්තා වන ආකාරයට ගලගෙදර මහතා තමාට දිගටම පොලිස් කණ්ඩායම සමඟ පුහුණුවීමට ඉඩ ලබා දෙන සේ ප්‍රධාන පුහුණුකරු Amir Alagicගෙන් ඉල්ලා ඇති නමුත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<