යොවුන් ක්‍රිකට් පිටියේ වැඩපෙන්වන මීගමුවේ දක්ෂයා

3867
Lasith Croospulle

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයකට මාන බලමින් සිටින යොවුන් ක්‍රීඩකයන් අතර ලසිත් කෲස්පුල්ලේගේ නම ද වේ. තවම 21 හැවිරිදි වියේ පසුවන ලසිත් ThePapare.com  සමඟ කතාවකට එක්කර ගත්තේ මේ ගැන අහන්න. මේ ඔහු සමඟ පැවති කතාවේ සංක්ෂිප්තයයි. 

>> කොළඹට අභියෝග කළ මොනරාගල කොල්ලා 

“ඒක ලෙහෙසි අභියෝගයක් නොවේ. එත් මම ඒ අභියෝගය ජය ගන්නවා කියන මතයේ ඉන්නවා. මේ ගමනේ දී මම, මාව අනෙක් අය හා සංසන්දනය කරන්නේ නැහැ. මගේ දක්ෂතා සමඟ ඉහළට එන්නයි මගේ බලාපොරොත්තුව” ලසිත් කෲස්පුල්ලේ අප සමඟ කතාව ආරම්භ කළා. 

ලසිත් ක්‍රිකට් ආරම්භ කරන්නේ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයෙන්. ඒ වෙද්දී ඔහුට යන්තම් අවුරුදු 9ක් ගත වූවා පමණයි. 

“ඒ වෙද්දි මගේ අයියා, නිමාෂ් ඉස්කෝලෙ ක්‍රිකට් ගහනවා. ගෙදරත් ක්‍රිකට්ම තමයි. ඉතිං ගෙදරදිත් අයියට තමයි වැඩිපුර අවස්ථාවන් ලැබෙන්නේ. ඒක මට දරාගන්න බැරි වෙන්න ඇති. රණ්ඩු වුන වාර අනන්තයි කියලයි කියන්නේ. ඒත් එහෙම වුනා කියල මට ගෙදර දී වැඩි අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒ නිසා මම පාසලේ ක්‍රිකට් භාර ආචාර්යවරයා හමුවෙලා අහනවා ක්‍රිකට් ගහන්න එන්න ද කියලා. සර් කියනවා ඇකඩමි එකට එන්න කියලා. එතැනින් පස්සෙ තමයි මගේ ක්‍රිකට් නියම විදිහට ආරම්භ වෙන්නේ” ලසිත් පැවසුවා. 

ලසිත්ගේ පියා ශිරාන් කෲස්පුල්ලේ. වෘත්තියෙන් ගුරුවරයෙක්. මේ වෙද්දී මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ඉගැන්විම් හී නිරත වෙනවා. මව ශ්‍රීමා ප්‍රනාන්දුපුල්ලේ. ඇය තමයි ලසිත්ලාගේ ඕනෑ එපාකම් වෙනුවෙන් වඩාත්ම වෙහෙස මහන්සි වෙන්නේ. 

කෲස්පුල්ලේ පවුලේ අයියත්, මල්ලිත් ක්‍රිකට් ක්‍රීඩාවට වහවැටෙන්නෙ තාත්තා නිසා. තාත්තටත් තනිකරම ක්‍රිකට් තමයි. මේ ක්‍රිකට් ළැදියාව නිසාම තම පුතුන්ට ගෙදර සිට පුහුණු වෙන්න අවශ්‍ය දැල් විකට්ටුවක් (Net Wicket) පවා ශිරාන් කෲස්පුල්ලේ හදනවා. ලසිත් පවසන්නේ එය දැන් ඉතා ඉහළ මට්ටමේ පවතින බවයි. 

මාරිස් ස්ටෙල්ලා ක්‍රිකට් ඇකඩමියේ වසරක පමණ පුහුණු කාලයකට පසු ලසිත්ට විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ B කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඊට පසුව වසරේ දී A කණ්ඩායමේ ස්ථානයක් හිමිවෙන ලසිත්, තෙවැනි වසරේ දී 13න් පහළ කණ්ඩායමේ නායකත්වයට ද පත් වෙනවා.

ඊට පසුව වසර කිහිපයක් ලසිත්ගේ දායකත්වය ලැබෙන්නේ කඳාන ද මැසිනොද් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාවට.

“මැසිනෝද් එකේ 17න් පහළ ක්‍රීඩා කළ අවසන් අවුරුද්දේ මට වයස අවුරුදු 19න් පහළ පළාත් තරගාවලියේ නැගෙනහිර කණ්ඩායමට සහභාගී වීමට අවස්ථාව හිමි වෙනවා. තරගාවලියේ තරග හතරකට සහභාගී වෙන මම ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 336ක් ලබා ගන්නවා. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 84.00ක් වුනා.”

ඉන්පසුව ඔහු නැවත මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමඟ එක්වෙන අතර එම වසරේ දී ම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක්වීමට ද සුදුසුකම් ලැබුවා. එම වසරේ දී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගාවලියේ දී ලකුණු දහසක් ලබා ගත් ක්‍රීඩකයන් අතරට එක් වීමට ලසිත් සමත් වූවා. 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලියක දී ක්‍රීඩකයෙක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් ලසිත් ලබා ගත් ලකුණු 1273 ඉතිහාස ගත වුනා. එම ලකුණු අතරට මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයට සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලවලට එරෙහිව ලබා ගත් ශතක සහ මාරවිල සාන්ත සේවියර් විද්‍යාලයට එරෙහිව රැස් කරන ලද ද්විත්ව ශතකයක් ද ඇතුළත්. 

එම වසරේ දී පාසල් ක්‍රිකට් අගයමින් පැවති Dialog 4G සම්මාන උළෙලේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා  ලෙසින් සම්මානයෙන් පිදුම් ලැබීමට ලසිත් සමත් වුනා. 

අනතුරුව වසරේ දී ඔහු  අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ශතක 4ක් සමඟින් ලකුණු 900ක් වාර්තා කරන අතර මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ උළෙලේ දී දිවයිනේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මානයට පාත්‍ර වුනා. ලසිත්ට 2017/18 වසරේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාර වෙනවා. එම වසරේ දී ඔහු ඒ යුතුකම ඉටු කරන්නේ තරගාවලියේ අනුශූරතාව තම විද්‍යාලයට ලබා දෙමින්. 

එම දක්ෂතා ද සමඟ ලසිත්ට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක්වීමට අවස්ථාව හිමි වෙනවා. ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්. ඊට පසුව ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ද ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමි වෙනවා. 

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් සිටිය දී ම මීගමු ක්‍රිකට් සමාජය හා එක්වෙන ලසිත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින්, තමන් ක්‍රීඩා කළ පළමු තරගයේ දෙවැනි ඉනිමේ දී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුනා. ලකුණු 63ක් වූ එම ඉනිම පන්දු 70කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුනා. ප්‍රතිවාදීන් වූයේ ලන්කන් ක්‍රිකට් සමාජයයි. 

තම පළමු, පළමු පෙළ තරගාවලියේ දී ලසිත්, තරග 5කට ක්‍රීඩා කරමින් ලකුණු570ක් රැස් කරන්නේ රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 157ක් ද සමඟින්. 

මේ අවදියේ ම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ලසිත් එහි දී තමන්ට ලැබුණ එකම තරගයේ දී පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා ගත්තා. බංග්ලාදේශය සමඟ පැවති එම තරගයේ දී ඔහු පැතුම් නිස්සංක සමඟ එක් වෙමින් දෙවැනි කඩුල්ලට පන්දු 84ක දී නොදැවුණු ලකුණු 134ක සබඳතාවක් ද ගොඩ නගනවා. මේ දක්ෂතා හේතුවෙන් ලසිත් එම තරගයේ, තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලබනවා. 

ඉන් අනතුරුව ලසිත්ගේ නවාතැන වෙන්නේ හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමයි. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම හා එක්වෙන ලසිත් තරග 8කට මුහුණ දෙමින් ලකුණු 515ක් ලබා ගන්නවා. එන්. සී. සී, කළුතර පි. සී. සී සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් කණ්ඩායම්වලට එරෙහිව ශතක වාර්තා කරන ලසිත්, එම වසරේ දක්ෂතම පිතිකරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් බුහුමන් ලබනවා. 

තවත් විශේෂාංග ලිපි:

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2019/20 අන්තර් ක්‍රීඩා සමාජ පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ දී ලසිත්, හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තරග 6කට සහභාගී වෙමින් ඉනිම් 10ක දී ලකුණු 330ක් ලබා ගන්නවා. එම ලකුණු සංඛ්‍යාව එම කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණයයි. නිමා වූ තරග වාරයේ ලසිත්ගේ හොඳම ඉනිම බවට පත් වූයේ රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 99ක ඉනිමයි. 

“කණ්ඩායමේ ප්‍රවීණ සහ පළපුරුදු ක්‍රීඩකයන් සමඟ එක්වෙමින් මේ තරමින් දක්ෂතා දැක්වීමට ලැබීම ගැන සතුටු වෙනවා. ඊට පෙර පැවති එක්දින තරගාවලියේදීත්, විස්සයි විස්ස තරගාවලියේදීත් දක්ෂතා දක්වන්නට මට හැකි වුනා. එක්දින තරගාවලියේ දී කැන්ඩි කස්ටම් කණ්ඩායමට එරෙහිව ශතකයකුත්, විස්සයි විස්ස තරගාවලියේ දී එස්. එස්. සී. සහ රාගමට එරෙහිව අර්ධ ශතකත් ලබා ගැනීමට සමත් වුනා. අපි Super 8 තරගාවලියට පැමිණෙන්නේ B කාණ්ඩයේ පළමු වැනි කණ්ඩායම වෙමින්. එතෙන්දි මීට වඩා දක්ෂතා දැක්වීමට බලාපොරොත්තු වෙනවා” ලසිත් කාලෙකට පස්සෙ ආරම්භ වෙන තරගාවලිය සිහිපත් කරමින් පැවසුවා. 

ලසිත්ගේ මේ ගමනේ දී ඔහු පිටුපසින් විශාල පිරිසක් සිට ඇත. ඒ අතරින් තම පුහුණුකරු වසන්ත විජේසූරිය මහතා, පාසල් පුහුණුකරුවන් වන රොෂාන් ජයසිංහ සහ අනිල් ගුණසිංහ මහත්වරුන් සිහිපත් කරන්නේ හදපිරි භක්තියෙන්. එමෙන්ම මීගමු ක්‍රිකට් සමාජයේ චන්න ප්‍රභාත්, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ ගොඩ්ෆ්‍රි දබරේරා සහ සරත් ජයවර්ධන මහත්වරුන් ද ගෞරවයෙන් යුතුව සිහිපත් කළා. 

“මගේ අම්ම තාත්ත තමයි මාව මේ තත්ත්වයට ගෙනාවේ. ඔවුන් අදටත් මගේ පිටිපස්සේ සිටිමින් මාව ධෛර්යමත් කරනවා. ඒ වගේම අයියත් සිහිපත් කළ යුතුයි. මගේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සහෝදර ක්‍රීඩකයන්, ඒ වගේම ක්‍රීඩා සමාජවල සියලුම දෙනා මේ අවස්ථාවේ සිහිපත් කරනවා. මම තනියම ගමනක් ආවෙ නැහැ. ආව නම් ආවේ මේ සියලු දෙනාගේ සහයෝගයෙන්. ඒකට එදා සිට අද දක්වා මට උදව් කළ පුහුණුකරුවන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට ද ස්තූතියි” ලසිත් පැවැසුවා.  

දකුණත් ඉදිරි පෙළ පිතිකරුවෙක් වෙන ලසිත්, දකුණතින් පිට දඟපන්දු ද යවමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි. මේ වෙද්දී පළමු පෙළ තරග 19කට සහභාගී වී ඇති ලසිත් ඉනිම් 33කට මුහුණ දෙමින් ලබා සිටින ලකුණු ප්‍රමාණය 1143ක්. ලබා ඇති කඩුලු ප්‍රමාණය 5ක්.

“පන්දු යවන්නෙක්ට වඩා පිතිකරුවෙක් ලෙසින් තමයි මට වැඩි අවස්ථාව හිමි වෙලා තිබෙන්නේ. පිතිකරුවෙක් ලෙසින් මේ ආ ගමන ගැන තෘප්තිමත්. ඒත් මීට වඩා දීර්ඝ ඉනිම් දෙක තුනක් ක්‍රීඩා කරන්න ආසාවක් තිබෙනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා. ඒ වගේම පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක්වීමට මම බලාපොරොත්තු වෙනවා. සමහර විට මට ඉදිරියේ දී ඒ අවස්ථාවන් ලැබේවි.”

මව, පියා සහ සොහොයුරා සමඟ

ලසිත්ගේ මේ සියලු බලාපොරොත්තුවල අවසානය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්තීර ස්ථානයක් හිමිකර ගැනීම. ලසිත් අද දවසේ දී වෙහෙස මහන්සි වෙන්නේ ඒ වෙනුවෙන්. “විශාල වෙහෙසක් දරන්න වෙනවා. මම ඒකට සූදානම්” ලසිත් පවසනවා. ඔහුගේ ඒ අධිෂ්ඨානශීලී ගමනට ThePapare.com වෙතින් සුබ පැතුම්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<