“2020 ආසියානු ක්‍රිකට් කුසලානය අවලංගුයි” – ගංගුලි

8441

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ‘ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය’ පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එහි විධායක කමිටුව, එහි සභාපති සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී නස්මුල් හසන් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) දින වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීමට නියමිතව තිබිනි. එවැනි පසුබිමක දී මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවලංගු වූ බව ඉන්දීය ක්‍රිකට් සභාපති සවුරව් ගංගුලි මහතා අද (08) දින පැවසීය.

“IPL එළියට ගෙනියන්නේ ඉන්දියාවේ බැරිමනම් විතරයි” භාණ්ඩාගාරික

“2020 ආසියානු කුසලානය අවලංගු කළා” මෙය ආසියානු ක්‍රිකට් ආයතනය විසින් ගනු ලැබූ තීරණයක් ද යන්න නිසි ලෙස නොපවසා, වික්‍රන්ත් ගුප්තා සමඟ අද (08) දින පැවති Instagram සංවාදයක දී ගංගුලි පැවසීය. 

කෙසේ නමුත් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන්ගෙන් විමසූ විට, ආසියානු ක්‍රිකට් කවුන්සිලය එවැනි තීරණයක් ගෙන තිබෙනවා ද යන්න ඔවුන් නිසි ලෙස නොදන්නා බව තහවුරු විය. 

ඉන්දියාව සහ පාකිස්තානය මේ තරගාවලිය පැවැත්වීම පිළිබඳ මත දෙකක සිටින අතර එංගලන්ත සංචාරයෙන් අනතුරුව ‘ආසියානු කුසලාන තරගාවලිය’ පැවැත්විය හැකි බව පාකිස්තානය පවසා සිටියි. නමුත් විස්සයි විස්ස ලෝක කුසලානය නොපැවැත්වේ නම් එම කාලය තුළ IPL තරගාවලිය පැවැත්වීමට ඉන්දියාව බලාපොරොත්තුවෙන් සිටින නිසාවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම හෝ ඒ සඳහා සහභාගී වීමට ඉන්දියාවේ වැඩි උනන්දුවක් නොමැති බවද විදෙස් මාධ්‍ය අවධාරණය කර සිටියි. 

එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන දේශපාලනික අර්බුදකාරී වාතාවරණය නිසාවෙන් ඉන්දියාව, පාකිස්තානයට නොපැමිණෙනු ඇත. ඒ නිසාවෙන් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ඔවුන්ගේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එම ඇරයුම පිළිගෙන ඇත. 

පසුව ශ්‍රී ලංකාවට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එහි සත්කාරකත්වය ලබා ගැනීම සඳහා වැඩි ඉඩක් තිබෙන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි වසීම් ඛාන් මහතා පවසා සිටියේය. ඒ කෙසේ වෙතත් මෙවර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පවත්වනවා ද, පවත්වනවා නම් ඒ කොහේද සහ සංවිධානය සිදුකරන ආකාරය ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා ආසියානු ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හෙට (09) දින රැස්වීමට තිබිය දී ගංගුලි මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම එතරම් සාදාචාරාත්මක නොවන බවද ක්‍රිකට් විචාරකයෝ මත පළ කරති. 

Video – එදා පාසල් ක්‍රිකට්වලට තිබ්බ උනන්දුව දැන් නැත්තේ ඇයි?

“ඉන්දියාවේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය කුමක්දැයි කීමට අපහසුයි. අපි අපගේ සූදානම සිදුකරලා තියෙනවා. නමුත් රජයේ නීති දැන ගන්නා තෙක් අපට බොහෝ දේ කරන්න බැහැ. ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය අනික් හැමදේටම වඩා වටිනවා. ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට අත්වන අවසන් ඉරණම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව IPL තරගාවලිය පිළිබඳව අපිට හරි සහ අවසන් තීන්දුවක් ගන්න පුළුවන්. විස්සයි විස්ස ලෝක කුසලානය ගොඩක් දුරට ගහන එකක් නැහැ. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ICC එකෙන් නිසි ගමන් මාර්ගයක් ඉල්ලා සිටින නිසා ඔවුන් ඒ තීරණය ඉතාමත් ඉක්මණින් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.” යයි ගංගුලි මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ‘2020 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය’ පිළිබඳ අවසන් තීන්දුව ලබා ගැනීම සඳහා ජූලි 17 වනදා රැස්වීමට නියමිතය. 

“ICC එක විස්සයි විස්ස ලෝක කුසලානය කොහොම හරි ගහන්න හදන්නේ එමඟින් විශාල ආදායමක් උපයා ගන්න පුළුවන් නිසයි. අපට තවමත් IPL එක සඳහා තරග කවුළුවක් නැහැ. මොකද දෙසැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක් තියෙනවා. අපට එය වෙනස් කරන්න බැහැ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හැරුනු විට අනෙක් ප්‍රදේශ වල තත්වය සාමාන්‍යයි කියලා මම හිතනවා. ඒ වගේම ඔවුන්ගේ රටේ තත්වය ඉතාමත් ඉක්මණින් සාමාන්‍ය වෙයි කියලත් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි ගංගුලි මහතා අවසන් ලෙස පැවසීය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<