SAG ප්‍රගති සමාලෝචන වාර්තාවේ කරුණු විමර්ශනය අවසන්

173

2019 වසරේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වය සහ ප්‍රතිඵල සමාලෝචනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ කමිටුවේ වාර්තාව පසුගිය දා මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

SAG පිටියත් සාමන්‍ය පෙළ පිටියත් එකවර ජයගත් විශිෂ්ටයන් අගයයි

එම වාර්තාව මාධ්‍ය වෙත නිකුත් කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දීමට එම කමිටුව විසින් කටයුතු කර තිබූ අතර එම වාර්තාවේ සඳහන් වූ විමර්ශනයක් කළ යුතු යැයි පෙන්වා දී තිබූ කරුණු පිළිබඳව සොයා බැලීමට අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා විසින් පත්කළ කමිටුව මගින් විමර්ශන කටයුතු අවසන් කර වාර්තාව භාර දීමට කටයුතු කර ඇත.

ඒ අනුව,

01) ගුවන් ප්‍රවේශපත් මිල දී ගැනීම සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු අතර පරස්පර විරෝධතා ඇත. මේ සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය මත දෙකක සිටී. එබැවින් මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කිරීමට නිර්දේශ කෙරේ.

02) බොක්සිං ක්‍රීඩා ඉසව්ව සඳහා ජාතික තේරීම් කමිටුව මගින් අනුමත කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් කණ්ඩායමෙන් ඉවත් කොට ඒ් සඳහා සංගමයේ අභිමතය පරිදි වෙනත් ක්‍රීඩකයින් ඇතුළත් කර ඇති බවත්, එම ක්‍රීඩකයින් දෙදෙනා හට කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබදවත් ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව යෝජනා කෙරේ.

03) තුන්ප්‍රයාම ඉසව්ව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සංගමයක් නොවන නමුත් ජාතික තේරීම් කමිටුවේ හෝ අභියාචනා කමිටුවේ නිර්දේශ ලබා නොගෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී ඇත. මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ.

04) පැසිපන්දු කාන්තා කණ්ඩායම හිතාමතාම පරාජයට යොමු වී ඇති බවට පාර්ශව කිහිපයකින් කරුණු ඉදිරිපත්ව ඇත. මේ පිළිබදවත් පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ.

05) පුහුණු කටයුතු සඳහා විශාල වියදමක් දරා අවසානයේ සෞඛ්‍ය අපහසුතාවයක් බවට වාර්තා කර ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සහතිකයක් පවා නොමැතිව තරගයට සහභාගී නොවීමට ක්‍රීඩකයින් ගෙන ඇති තීරණය, ක්‍රීඩාවේ විනයටත් රටටත් අගෞරවයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබදව ක්‍රීඩක චෙරන්ත ද සිල්වා හා ක්‍රීඩිකා කිමිකෝ රහීම් පිළිබඳව පරීක්ෂණ පවත්වන මෙන් ඉල්ලා සිටිමි.

06) බර ඉසිලීමේ ක්‍රීඩාවේ අභියාචනා මණ්ඩලය මගින් නිර්දේශ කර ඉදිරිපත් කළ ක්‍රීඩකයා අවසාන මොහොතේ අත්තනෝමතික ලෙස තරගයට සහභාගී නොවීම පිළිබඳව අදාළ නිලධාරීන් සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි. 

07) බැඩ්මින්ටන් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සංගමයේ මැදිහත්වීමෙන් අමතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීම හරහා (ඔවුන් තරග සඳහා සහභාගී වී නැත) රටට පාඩුවක් මෙන්ම අගෞරවයක් ද ඇති වී ඇති බැවින් ඒ් සඳහා පරීක්ෂණයක් පවත්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

08) පා පැදි (MOUNTAIN BIKE DOWNHILL) ඉසව්වේ සිදු වූ තරග පාවාදීම සම්බන්ධව දැනට පොලිස් නීති නිලධාරීන් විසින් පරීක්ෂණයක් පැවැත්වීමට ලේකම්තුමා විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇති නමුත් දෙපාර්තමේන්තුව විසින් ද සුදුසු පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසු බව දන්වා සිටිමි.

09) කෝ – කෝ ක්‍රීඩාව සඳහා විශාල වියදමක් දරා ඇති නමුත් කිසිදු ප්‍රතිඵලයක් නොමැති වීම හා ඒ් සම්බන්ධව ඇති තොරතුරු ඉතා අසතුටුදායක නිසා විනය පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ.

10) වොලිබෝල් කාන්තා කණ්ඩායම ඉතා නොසැලකිලිමත්ව හිතාමතාම සිදු වූ පරාජය සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව මෙසේ පසුබෑම පිළිබඳව එම ක්‍රීඩිකාවන්ගෙන් හා නිලධාරීන් සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ.

11) වූෂු ක්‍රීඩාවේ ඉසව්වලට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ක්‍රීඩකයින් ඇතුළත් කිරීමෙන් ශ්‍රී ලංකාවට පදක්කම් අහිමි වීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුය. 

යන කරුණු කාරනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර අවසන් අතර එම විමර්ශනවලින් එළඹි අවසන් නිගමන සහ කරුණු සම්බන්ධයෙන් කිසිවක් මාධ්‍ය වෙත තවමත් නිල වශයෙන් දන්වා නොමැත. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<