“යුනිස් මට සමාවෙන්න” – හිටපු පාකිස්තාන පිතිකරණ පුහුණුකරු

602

පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වන ග්‍රාන්ට් ෆ්ලවර් පාකිස්තාන වත්මන් පිතිකරණ පුහුණුකරු වන යූනිස් ඛාන්ගෙන් සමාව අයැද තිබෙනවා. ඒ පිහියක් පෙන්වා පුහුණුකරු බියවැද්දූ කතා පුවත සඳහා මාධ්‍ය දැඩි ප්‍රචාරයක් ලබා දී ඒ සඳහා වැරදි අර්ථකතන දක්වා තිබූ නිසයි.

ඉන්දියානු ක්‍රීඩකයින් ඇවිත් පාකිස්තානයෙන් සමාව ඉල්ලුවා ද?

“යුනිස් මට සමාවෙන්න, මම ඇත්තටම හිතුවේ නැහැ. ඒ කතාව මාධ්‍ය හරහා මෙතරම් දුරකට දුරදිග අරගෙන යයි කියලා” ග්‍රාන්ට් ෆ්ලවර් එරට දේශීය නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් පවසා සිටියා.

මෙහි කතා නායකයා වන සිම්බාබ්වේ ජාතික පාකිස්තාන කණ්ඩායම් හිටපු පිතිකරණ පුහුණුකරු ග්‍රැන්ඩ් ෆ්ලවර් අදාළ සිද්ධිය හා බැඳුණු තොරතුරු සියල්ල පසුගිය දා මාධ්‍ය වෙත හෙළිකොට තිබුණේ ඔහුගේ සහෝදරයා වන ඇන්ඩි ෆ්ලවර් සමඟ එක්ව සහභාගී වූ ගුවන්විදුලි වැඩසටහනක් අතරතුර දී.

එහි දී එම වැඩසටහන මෙහෙයවූ නිවේදකයා “අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වශයෙන් ක්‍රිකට් පිටියේ දී ඔබට මුණ ගැසී ඇති, තරමක් වෙනස් ආකල්ප දරන චරිත කවුරුන් දැයි?” ඇසූ පැනයට පිළිතුරු දීමට යාමේ දී ග්‍රැන්ඩ් ෆ්ලවර් මේ සිදුවීම සම්බන්ධයෙන් පහත දක්වා තිබෙන පරිදි අදහස් දක්වා තිබෙනවා.

“යුනිස් කියන්නේ ටිකක් තේරුම් ගන්න අමාරු චරිතයක්. ඔහුගේ නම කියපු ක්ෂණයෙන් මට මතක් වෙන්නෙම බ්‍රිස්බේන් වලදී මුහුණ දෙන්න වුන එක්තරා සිදුවීමක් ගැන. තරගයකට කලින් අපි උදෑසන ආහාර ගන්න වෙලාවේ මම ඔහුට පන්දුවට පහර දෙන්න ඕන ආකාරය ගැන පොඩි උපදෙස් ටිකක් දෙන්න උත්සාහ කළා. ඔහු ඒක ගත්තේ ටිකක් වෙනස් විදියකට කියලා මට තේරුණා. වැඩි වෙලා ගියේ නැහැ ඔහු ඒකට නියම ප්‍රතිචාරයක් දැක්වුවා. මේස උඩ තිබ්බ බටර් පිහිය අරගෙන ඔහු මගේ බෙල්ලට තිබ්බා. ඔහු නවත්වන්න ප්‍රධාන පුහුණුකරු විදියට වැඩ කරපු මිකී ආතර්ටත් සිද්ධ වුනා මැදිහත් වෙන්න.”

පිහිය පෙන්වා පුහුණුකරු බියවැද්දූ හිටපු පාකිස්තාන සුපිරි පිතිකරුවා

“ඉතින් ඔය වගේ දේවල් පුහුණුකරුවෙකු විදියට බලාපොරොත්තු වෙන්න ඕන. හැම ක්‍රීඩකයම එක වගේ නෑ. කවුරුත් එකම විදියට හැමදේටම ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. වඩාත් වැදගත් වෙන්නේ අපි අනෙක් අයව තේරුම් ගන්න ආකාරයයි. පුහුණුකරුවෙක් විදියට මේ වගේ අමුතු අමුතු සිදුවීම්වලට මුහුණ දෙන්න ලැබීමත් එක්තරා අතකට අපේ වෘත්තීය ගමන තවත් රසවත් කරන්න උදව් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ. මම මේ සෑම දෙයක්ම ඉතාමත් සතුටින් භාර ගත්තා වගේම, මගේ උපරිමය හැම වෙලාවෙම අනෙක් අයට දෙන්න කැපවෙලා වැඩ කළා. ඒක නිසා අවංකවම මම අද ඉන්න තැන ගැන නිහතමානී සතුටක් දැනෙනවා.” එකී සිදුවීමට මුලපිරූ ගුවන් විදුලි වැඩසටහනේ දී පැවසුවා.

2014 වසරේ සිට වසර 6කට අසන්න කාලයක් තිස්සේ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස වැඩ කළ ෆ්ලවර්ගේ කොන්ත්‍රාත්තුව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අවසන් වුනා. නමුත් එම කොන්ත්‍රාත්තුව නැවතත් අලුත් කිරීමට පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් තීරණය කළේ නැහැ. ඉන් පසුව ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තේරී පත්වුන අතර ඔහු මේ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ සිටිනවා.

2017 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා යුනිස් මේ වන විට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ ප්‍රධාන පුහුණුකාරවරයා ලෙස සේවය කරනවා.

පාකිස්තාන ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස සැලකෙන යුනිස් තම කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග බිමේ දී ලකුණු 10,000 සීමාව පසුකොට යමින් ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හීද පළමු තැන පවා හිමිකර ගැනීමට සමත්වී තිබෙන අතිදක්ෂ පිතිකරුවෙකු බව ඔහු අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය මඟින් මනාවට කියාපානවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<