COVID-19 හමුවේ ටෙස්ට් ක්‍රිකට් කමිසත් වෙනස් වෙයි

298

ටෙස්ට් තරගවල දී ක්‍රීඩකයින්ගේ කමිසවල වාණිජ ලාංඡන ඇතුළත් කිරීමේ දී එහි ප්‍රමාණය සහ ස්ථානයට අදාළව පැවති නීතිරීති ඉදිරි මාස 12ක කාලය සඳහා ලිහිල් කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර ඇත. 

ඒ අනුව ‘Coronavirus’ වසංගත තත්වය හේතුවෙන් නවතා දැමුණු ක්‍රිකට් තරග ලබන සතියේ සිට ආරම්භ වෙද්දී ප්‍රේක්‍ෂකයින් ක්‍රීඩාංගණ තුළ නොමැති වීම සහ ක්‍රීඩකයින් හට ‘high five’ දැමීමට අවස්ථාවක් හිමි නොවීම වැනි වෙනස්කම්වලට අමතරව තවත් වෙනස්කමක් අපට දැක ගැනීමට ලැබෙනු ඇත.  

‘COVID-19’ වසංගතයෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාව යළි ආරම්භ පහසු කිරීම උදෙසා ICCය විසින් පසුගිය මාසයේ දී තාවකාලික වෙනස්කම් කිහිපයක්ම හඳුන්වා දෙනු ලැබූ අතර ඊට ද්විපාර්ශවික තරගාවලිවල දී තරගාවලිය පවත්වන රටේ තරග විනිසුරුවරුන් පමණක් යොදාගැනීම සහ පන්දුව පිරිනැමීම සඳහා කෙළ භාවිතය තහනම් කිරීම වැනි වෙනස්කම් ඇතුළු තවත් වෙනස්කම් කිහිපයක්ම ඇතුළත් වේ. 

ඒ අතරින් ක්‍රිකට්ලෝලීන් හට ඉතාමත් පැහැදිලිව දිස්වන වෙනස්කමක් ලෙස ක්‍රීඩකයින්ගේ කමිසවල ඇති වාණිජ ලාංඡන ප්‍රමාණයෙන් විශාල වීම හඳුනා ගත හැක. 

ඒ අනුව ‘Coronavirus’ වසංගත තත්වයත් සමඟ ක්‍රිකට් තරග පැවැත්වීම අඩාල වීම හේතුවෙන් ලොව පුරා ක්‍රිකට් ආයතනවල ආදායම් මාර්ග ඉතා ප්‍රබල ලෙස කඩාවැටීමත් සමඟ සිදු වූ අලාභයන් තරමක් දුරට පියවා ගැනීම උදෙසා අවකාශයක් ලබා දෙමින් ඉදිරි මාස 12ක කාලය සඳහා ටෙස්ට් තරගවල දී ක්‍රීඩකයින්ගේ කමිස සහ ‘sweaters’ වල වර්ග අඟල් 32ක ප්‍රමාණයකින් යුතු අනුග්‍රාහක ලාංඡන ඇතුළත් කිරීම සඳහා ICCය විසින් අනුමැතිය ලබා දී තිබේ. 

මෙම වෙනස්කම එක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් විසින් යෝජනා කර ඇති අතර අනතුරුව අනෙක් සාමාජිකයින් විසින් ඒ සඳහා සිය අනුමැතිය ලබා දී ඇත.

මේ ආකාරයට විශාල ප්‍රමාණයේ අනුග්‍රාහක ලාංඡන කමිස තුළ ඇතුළත් කිරීම සීමිත පන්දුවාර තරගවල දී දශක ගණනාවක සිට සාමාන්‍ය ලෙස සිදු වූ දෙයක් වුවත් ටෙස්ට් තරගවල දී කමිසවල එම වාණිජ ලාංඡන ඇතුළත් කිරීම සඳහා මේ දක්වා අවසර ලබා දී තිබුණේ උර ප්‍රදේශයේ සහ කමිස අතේ පමණක් වන පරිදි උපරිම අඟල් 10ක ප්‍රමාණයකට යටත්ව ය. 

කෙසේ නමුත් සිදු වූ මෙම වෙනස්කම උපයෝගී කරගනිමින් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර මෙම සතියේ දී ආරම්භ වීමට නියමිතව ඇති ටෙස්ට් තරගාවලියේ දී කණ්ඩායම් දෙකම ඔවුන්ගේ ප්‍රධාන අනුග්‍රාහකයින්ගේ ලාංඡන සිය කමිසවල ඉදිරියේ විශාල ප්‍රමාණයෙන් ඇතුළත් කරගනිමින් ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටියි. 

මෙහි දී විශේෂයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් සිය ප්‍රධාන අනුග්‍රාහක සමාගමේ ලාංඡනය ඔවුන්ගේ ‘sweaters’ තුළ ද ඇතුළත් කිරීමට කටයුතු කර ඇත (එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයින් අතර පසුගිය සතියේ දී පැවති අන්තර් සංචිත ක්‍රිකට් තරගයේ දී එංගලන්ත ක්‍රීඩකයින්ගේ ‘sweaters’ තුළ ඔවුන්ගේ ප්‍රධාන අනුග්‍රාහක ලාංඡනය ඇතුළත් කර තිබුණේ නැත). 

ඒ අනුව මෙම වෙනස්කම සිදු වන්නේ පසුගිය වසරේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ආරම්භයත් සමඟ ICCය විසින් ක්‍රීඩකයින්ගේ කමිස පිටුපස ඔවුන්ගේ නම සහ අංකය ඇතුළත් කිරීමට ගනු තැබූ තීරණයට අමතරව වීම විශේෂත්වයකි. 

ඊට අමතරව තවදුරටත් එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද්විත්වයේම ක්‍රීඩකයින් මෙම සතියේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ දී සිය කමිසවල කොළරයේ ‘Black Lives Matter’ ලාංඡනය ද ඇතුළත් කරගැනීමට නියමිතව ඇති අතර මේ ආකාරයට මෙවන් සමාජ ගැටලු තත්වයන් වලදී මෙන්ම සමාජ සේවා කටයුතු ඇගයීමටත් ඊට අදාළ ලාංඡන කමිසයේ කොළරයේ ප්‍රදර්ශනය කිරීමේ ප්‍රවණතාවයක් පසුගිය අවුරුදු කිහිපය පුරාවටම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපට දැකගත හැකි විය. 

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන බදාදා (08) Southampton නුවර Rose Bowl ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇත.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<