සුපිරි අවසන් තරගයේ තීරණයක් ගැන විලියම්සන්ගෙන් හෙළිදරව්වක්

760

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලොව පුරා ක්‍රිකට් රසිකයින්ට ජීවිත කාලය පුරාවට අමතක නොවන තරගාවලියක් වන්නේ එහි අවසන් මහා තරගයේ දී සිදු වූ විවිධාකාර සිදුවීම් කිහිපයක් නිසාවෙන්. 

සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී නවසීලන්ත ආරම්භක පිතිකරුවන් ලෙස මාර්ටින් ගප්ටිල් සහ ජිමි නීෂම් පිටියට කැඳවීම ද ක්‍රිකට් රසිකයින් අතර දැඩි කතාබහකට ලක්වණා. ඒ ගැන නවසීලන්ත නායක කේන් විලියම්සන් සිය මතය ප්‍රකාශ කර සිටියා. ඒ රවින්චන්ද්‍රන් අශ්වින් සමඟ පැවතී අන්තර්ජාල හමුවකට එක්වෙමින්.

බොරු ඌව ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ වැඩක් ද? 

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් උපන් එංගලන්තය නැතහොත් මහා බ්‍රිතාන්‍යයට ක්‍රිකට් ලෝක කුසලානයක පහස ලැබෙන්නේ 2019 වසරේ දී. නවසීලන්තය සමඟ තිබ්බ ඒ අවසන් මහා තරගය ක්‍රිකට් ක්‍රීඩාව තුල දැකිය හැකි සියලුම තරගකාරීත්වය සහ නීති රීති පොතේ තිබෙන සෑම අස්සක් මුල්ලක් පාසා අවුස්සා දැම්මේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති රසය තවත් වැඩි කරමින්.

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු එම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහි දී නවසීලන්ත කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී වාර්තා කරගත්තේ ලකුණු 241ක් පමණයි. 

පිළිතුරු ඉනිම දියත් කළ එංගලන්තය ද එම පන්දුවාර 50 තුල ලකුණු 241ක් ලබා ගැනීම නිසා තරගය සම තත්වයට පත්විය.

සුපිරි පන්දුවාරයේ දී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 15ක් ලබා ගත් අතර තරගය ජය ගැනීම සඳහා නවසීලන්තයට ලකුණු 16ක ඉලක්කයක් ලැබුණි. නවසීලන්ත ඉනිම ආරම්භ කළේ මාර්ටින් ගප්ටිල් සහ ජිමී නීෂම් විසිනි. අවසානයේ දී සුපිරි පන්දුවරය තුල ද දෙපිල ලබා ගත් ලකුණු සම වුනා. පන්දුවාර 50 ඉනිම තුල ලබා ගත් 4 සහ 6 පහර ප්‍රමාණයන් වැඩි කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය ලැබෙන නිසා එංගලන්ත කණ්ඩායම ලෝක ක්‍රිකට් ශූරයින් ලෙස කිරුළු පැලඳුවා.

නීෂම් සමඟ නායක විලියම්සන් ආරම්භක පිතිකරුවන් ලෙස සුපිරි පන්දුවාරයට මුහුණ දීම වෙනුවෙන් පැමිණෙනු ඇතැයි බොහෝ දෙනා සිතූ නමුත් පිටියට පැමිණියේ නීෂම් සමඟ ගප්ටිල්ය. එය නායක විලියම්සන්ගේ තීරණයක් වූ බවත්, එම තීරණය ඔහු විසින් ලබා ගත්තේ දැඩි පීඩනකාරී තත්වයක් යටතේ බවත් විලියම්සන් පවසා සිටිනවා.

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා බවට ගප්ටිල් පත්වූ නමුත් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඔහුට එතරම් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් විලියම්සන් සුපිරි පන්දුවාරයට මුහුණ දීමට ගප්ටිල් හට අවස්ථාව ලබා දුන්නා.

ශානකගෙන් ගිනිකෙළි; ධනංජයගේ පිළට ජය 

“මම ඒ තීරණය ලබාගත්තේ ගොඩක් අමාරුවෙන්. මට ඒ වෙලාවේ ඔලුවට ආවේ අපේ කණ්ඩායමේ හයියෙන් ගහන අය කවුද ඉන්නේ කියන එක ගැනයි. මට එතකොට මුලින්ම මතක් වුනේ නීෂම්ව. අනෙක් පැත්තෙන් ගප්ටිල්ව මතක් වුනා. නීෂම් වමත් පිතිකරුවෙක් ගප්ටිල් දකුණත් පිතිකරුවෙක්, එංගලන්තය තෝරගත්ත පන්දු යවන අන්තයෙන් බැලුවහම එක පැත්තක 4 සීමාවන් ළඟින් තිබ්බේ, ඒ පැත්තට ගප්ටිල් හොඳට ලකුණු ගන්නවා. ඒකත් එක හේතුවක් වුනා ගප්ටිල්ව ආරම්භක පිතිකරුවා කරන්න. ඒ වගේම ඔවුන් දෙදෙනාටම කඩුලු අතර ඉතාමත් වේගයෙන් දුවන්න පුළුවන්. එක කඩුල්ලක් හරි දැවී ගියොත් යන්න හිටියේ මම. ගප්ටිල් අවසන් පන්දුවේ දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා. ඒ ලකුණ ගත්ත නම් අද අපි ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමක්. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ වගේම ඕනෑම ක්‍රීඩාවක ස්වභාවය ඒකයි. මේ තියෙනවා,  මේ නැති වෙනවා” යැයි විලියම්සන් පැවසුවා.

“ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාට ලබා දුන්න අභියෝගය හැකි උපරිමයෙන්ම කළා. ඒකේ ආයේ දෙකක් නැහැ. ඒ වගේම ජෝෆ්රා ආචර් ඔහු ඉතාමත් හොඳින් පන්දු යැවුවා. ඒ තරගය අවසන් වුනායින් පස්සේ මට මොනවා ද වුනේ කියලා හරියට මතක නැහැ. අපිට ඒ තරමටම දුක හිතුණා. නමුත් ඒක තමයි අපේ ලැබීම කියලා මම ඇතුළු අපේ කණ්ඩායම හිතනවා” යැයි විලියම්සන් අවසන් ලෙස පැවසුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<