HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කලාකීර්ති ‘සිබිල් නැන්දා’ ඇගේ ජීවිත කතාවට තිත තියයි!

මුළු ලෝකයට ම සිටි, ළමුන්ට පොත් ලියන, චිත්‍ර අඳින, එකම අත්තම්මා, සිබිල් වෙත්තසිංහ මැතිනිය අද උදේ (ජූලි 1 වැනිදා) මෙලොව ලොව හැර ගියා. 1927 ගාල්ලේ ගිංතොට දී උපන් ඇය මිය යන විට 93 හැවිරිදි වියේ පසු වුණා.
සිබිල් වෙත්තසිංහ මැතිනිය

ලෝකයේ ම දරුවන්ට තමන්ගේ ම දරුවන් ලෙස සැලකූ එතුමියත් දරුවන් තිදෙනකු මවක්. ඒ විනෝද්, කුසලා, සූරියා යන තිදෙනායි. ඒ දරුවන්ගේ දරුවන් නිසා ඇය මිය යන විට අත්තම්මා කෙනෙක්. ඒත් ඇය ලොව පුරා පරම්පරා තුනක් ම ඇය ඇමතුවේ ‘සිබිල් නැන්ද‍ා’ කියලයි.

මීට වසර අටකට පෙර සිබිල් නැන්දා ගැන අප ‘මල්කැකුළු’ වලින් ඔබට කීවා මතක ඇති. එදා 2013 ඔක්තෝබර් 31 වැනිදා, ‘ළමා ලොව එළිය කරන වසර 60කට පෙර පෑයූ තරුව’ යන ලිපියෙන් ඇය ගැන අපි ගොඩක් විස්තර කිව්වා.

එදා ඒ ලිපිය පටන් ගත්තේ මෙහෙමයි. ‘එක්දහස් නව සිය පනස් හයේ දී, දේශපාලනීය හා සමාජීය වශයෙන් ලොකු පෙරළියක් අපේ රටේ සිද්ධ වුණා. ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ සමාජවාදී රජයක් බලයට පත් වුණා. සිංහල භාෂාව වුණා. පාසල්වල සිංහලෙන් ඉගැන්වීමට පටන් ගත්තා. සංස්කෘතික රාජ්‍ය අමාත්‍යංශයක් පිහිටුවල රටේ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කරන්න පොතපතට සම්මාන දීම වගේ වැඩ සටහන් ආරම්භ කළා.

සිබිල් නැන්දා දරුවන්ට කතා ලියන, චිත්‍ර අඳින වැඩ මුලුවකදී

‘ඒ සමග අපේ වේදිකාවෙත්, සිනමාවෙත්, ළමා ලෝකයෙත් ලොකු පෙරළියකට මඟ පෑදුණා. දීප්තිමත් තරු තුනක් පායලා ඒ අංශ තුනට අමුතු එළියක් වැටුණා. ‘මනමෙ’ වේදිකාවට ගෙන එමින් නාට්‍ය කලාව එළිය කළේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයා. ‘රේඛාව’ අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාව එළිය කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා. ‘කුඩ හොරා’ අමුතු ම ආකාරයේ ළමා චිත්‍ර හා කතා රටාවක් හඳුන්වා දෙමින් ළමා ලෝකය එළිය කළේ සිබිල් වෙත්තසිංහ නැන්දා.

’ දැන් ඒ ත්‍රිත්වය ම අප අතර නැහැ. ඒත් ඔවුන් කළ නිර්මාණ අදත් අප අතර වැජඹෙනවා. ඒ අතරින් සිබිල් නැන්දා විශේෂයි. ඇය ලිව්වෙ ළමයින්ටයි. චිත්‍ර ඇන්දෙ ළමයින්ටයි. ඒත් ඇගේ කතාන්තරවලින් ඇය ළමුන්ව සුරංගනා ලෝකයට අරන් ගියේ නෑ. අපේ ලෝකය තුළ ළමයින්ට හැබෑ සුරංගනා ලෝකයක් මවා දුන්නා. ඇගේ කතාවලින් කියැවුණේ අප ජීවත්වන සමාජයේ හා අප අවට ලෝකයේ තොරතුරුයි. ඇය ඇගේ දසක දහයකට ආසන්න ජීවිත කාලය තුළ ළමයින්ට කියා දුන් කතාන්තරවල උණුසුම තවත් දසක සීයකටත් වඩා ලෝකයේ අනාගත ළමා පරපුරට ලැබෙනවා නිසැකයි.

‘කුඩ හොරා’ ඉංග්‍රීසි පොත

ඇය ළමයින්ට කතා ලියන්න පටන් ගත්තේ 1953 ජනතා පත්තරයේ කමලා ළමා සමාජයෙන්. ඒ කතාවෙ නම තමයි ‘කුඩ හොරා’. ඇය එතකොට ජනතා පත්තරයේ වැඩ කරපු චිත්‍ර ශිල්පිනියක්. දවසක් ඇය හිතෙන් මවා ගත්තු කතාවකට චිත්‍රයක් ඇඳලා ජනතා පත්‍රයේ වැඩ කළ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයකු වූ ධර්මපාල වෙත්තසිංහ මහත්තයට පෙන්නුවා. පෙන්නල ඒ චිත්‍රයට අදාළ කතාවත් කෙටියෙන් කිව්වා. ඊට කලින් කතා ලියලා නොතිබුණු ඇය බලාපොරොත්තු වුණේ ඔහුට කියා ඒ කතාව ලියවා ගන්නයි. ඒත් පස්සෙ වුණේ වෙනත් දෙයක්.

පසු කලෙක වෙත්තසිංහ මහත්තයා සිළුමිණ පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයාව සිටිය දී අතීතය අනුස්මරණ කරද්දී මට ඒ සිද්ධිය විස්තර කළේ මෙහෙමයි. ‘මං සිබිල්ට කිව්වා ඒ කතාව මට ඒ කියපු විධියට තවත් ටිකක් විස්තර ඇතුව ලියන්න කියලා. අඩුපාඩුවක් තිබුණොත් හදල දෙන්නම් කියලා. එයා චිත්‍ර අඳින පැන්සලෙන් ම ලොකු අකුරෙන් චිත්‍ර අඳින කොළයක ම ලියලා දුන්නා. කිසිම අඩුපාඩුවක් තිබුණෙ නෑ. ළමයින්ට උචිත බසකින් ඒක ලියලා තිබුණා. වචනයක් දෙකක් විතරයි වෙනස් කරන්නට වුණේ. සිබිල් ඇතුළෙ සැඟවිලා හිටපු ලේඛිකාව අවදි වුණේ එහෙමයි. ඒ තමයි ‘කුඩ හොරා’. ඒ ගැන පැහැදුණු අපේ කර්තෘ ඩෙන්සිල් පීරිස් මහත්තයා එදා ඉඳලා ළමා පිටුව සකස් කරන එකත් සිබිල්ට ම බාර දුන්නා.’ සිබිල් නැන්දා ළමා පරපුරට කතා ලියන්න පටන් ගත්තේ එහෙමයි.

සිබිල් ලියූ ළමා පොත් පොකුරක්

1955 දී ඒ කතාව සිංහල පොතක් ලෙස පළ වුණා. ඒ කාලෙදිම එයා විවාහ වුණා, ඒ ධර්මපාල වෙත්තසිංහ මහත්තයා එක්කයි. ඉන්පසු ඒ කතාව ඉංග්‍රීසි බසට පෙරළුණු ලැබුවා. වසර ගණනාවකට පසු එය ජපන් බසට පෙරළනු ලැබුවා. ඇය ජාත්‍යන්තර කීර්තියට පත් වුණේ ඒ අනුවයි.

එදා ඉඳල මේ වෙනකන් පොත් 200කට වැඩිය පළ කරලා තියෙනවා. මේ ළමා පොත් මේ වන විට ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා තියෙනවා. ජපන්, චීන, කොරියන්, ස්වීඩන්, නෝවේජියන්, ඩෙන්මාක්, ඉංග්‍රීසි, ලන්දේසි, දෙමළ ආදිය ඉන් කීපයක්. මේ තරම් විදේශීය භාෂා ගණනකට තමන්ගෙ නිර්මාණ පරිවර්තනය වුණු ශ්‍රී ලාංකිකයකු තවත් ඇත්තේ නෑ.

අපෙන් වියෝ වුවද ඇය ගත වූ වසර දශක හතක කාලයක් තිස්සේ සිතුවම් කරමින් ලියූ කතාන්තර අපේ අනාගත පරපුර පිනවමින් ඇගේ මතකයන් අප අතර සදා නොනැසී පවතීවි. ඇය බිහි කළ අමරණීය වූ බිංදු, සූත්තර පුංචා, රසවතී, කුසුමලතා, ක්ලාක් මහත්තයා වැනි චරිත අප අතර සදාකල් පවතීවි. එතුමියට නිවන් සැප ලැබේවා!
- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments