Main Logo

Sunday 21 June 2020

තුනෙන් දෙකේ ජයග්‍රහණය හා තොණ්ඩුව

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





තුනෙන් දෙකේ ජයග්‍රහණය හා තොණ්ඩුව  

මහා මැතිවරණයට තව ඇත්තේ සති හයකුත් දින කිහිපයක් පමණයි. පොදු ජන පෙරමුණ නිශ්චිත ඉලක්කයක් ඇතිව මැතිවරණ කටයුතු සැලසුම් කරන බවක් පෙනෙන්නට නැහැ. පොදුජන පෙරමුණේ ඉහළ ම නායකත්වයට ජාතිකත්වයක් ඇතත් බොහෝ අපේක්‍ෂයන් හා අනුගාමිකයන්ට ඇත්තේ මන්ත්‍රී වීමේ අවශ්‍යතාව පමණයි. අද පොදුජන පෙරමුණ කියන්නේ පක්‍ෂ කිහිපයක එකතුවකින් සැදුණු ශ්‍රී ලංකා එක්සත් පොදුජන පෙරමුණ නම් සංධානයක්. එහි රතන හිමියන්ගේ සංවිධානය වැනි සංවිධාන/පක්‍ෂ මේ වන විටත් සංධානයේ සාමාජිකයන් ද නැද්ද කියන එක රතන හිමියන්ගෙන් ම අහන්න ඕන. 

මේ සංධානය පිහිටු වූ දිනයේ  එහි සාමාජික පක්‍ෂ හා සංවිධාන අත්සන් කෙළේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වයෙන්. එහි ශ්‍රී ල නි පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මහජන පක්‍ෂය සහ තවත් පක්‍ෂ හා සංවිධාන තියෙනවා. බොහෝ දිස්ත්‍රික්කවල මේ පක්‍ෂ තරග කරන්නේ පොහොට්ටුව ලකුණෙන් එකතු වී. එහෙත් දිස්ත්‍රික්ක කිහිපයක වෙන ම තරග කරන අවස්ථා ද තියෙනවා. එසේ වුවත් අවසානයේ දී ඒ සියළු දෙනා ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගන්නා බව අමතක නොකළ යුතුයි. 

ඇතැම් අපේක්‍ෂකයන්ට මේ සංධානය යනු කුමක් දැයි තේරෙන්නේ නැහැ. කලින් කී අන්දමට ඔවුන්ට ඇත්තේ හුදු මන්ත්‍රි/ඇමති අපේක්‍ෂා පමණයි. පොදුජන පෙරමුණ ජාතිකත්වයේ පක්‍ෂයක් ලෙස නොවෙයි පිහිටුවනු ලැබුයේ. ඒ නිසා ම පොදුජන  පෙරමුණේ ඇතැමුන්ට ජාතිකත්ව දේශපාලනයක් තේරෙන්නෙත් නැහැ. කෙසේ වෙතත් ජනාධිපතිවරණය තරග කෙරුණේ ජාතිකත්ව කඳවුරේ නියෝජිතයා ලෙස. 

අප මුල සිට ම කියා සිටියා සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකියි කියා. බොහෝ දෙනා, සුපිරි ජාතිකවාදීන් කියන්නන් ද ඇතුළු ව,  අපට හිනහවුණා. එහෙත් ජනාධිපතිවරණය 70%කට වැඩි සිංහල ඡන්ද ප්‍රමාණයක් ලබා ජාතිකත්ව අපේක්‍ෂකයා ජය ගත්තා. ජනාධිපති වීමෙන් පසු කරන ලද රුවන්වැලි සෑ කතාවේ දී ද ඒ බව කියැවුණා. මෙරට එක්සත් බවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ජාතිකත්වයේ සංකේතය රුවන්වැලි සෑය. මුළු ලෝකයේ ම ද්‍රෝනියක් පමණ වූ ධාතුන් වහන්සේ නිධන් කර ඇත්තේ එහි පමණයි. එය මෙරට එක්සේසත් සිංහල බෞද්ධ රාජ්‍යය ගොඩ නැගූ ගැමුණු රජුගේ ප්‍රධාන ම නිර්මාණය. මා මෙයින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දළදා වහන්සේ අඩු තක්සේරු කරනවා නොවෙයි. කලක් අපට පාත්‍රා ධාතුන් වහන්සේ ද තිබුණා. 

රුවන්වැලි සෑය සහ ඉහත සඳහන් අනෙක් සියලු සිද්ධස්ථානත්  ශ්‍රී පාද මළුවත් සිංහල බෞද්ධ සංස්කෘතියේ සංකේත. රුවන්වැලි සෑය වැදහත් වන්නේ එය එක්සේසත් රාජ්‍යයේ ද සංකේතය වන නිසා. මා කියා ඇති කරුණක් නම් රුවන්වැලි සෑය අපේ කියා කියන්නට මෙරට සියළු රටවැසියන්ට හැකි විය යුතුයි කියා. 1.5% කට්ටිය ගැන මා කියන්න යන්නේ නැහැ. මැතිවරණයෙන් ඔවුන් 3% කට්ටියේ සිට 1.5% කට්ටියට වීමට ඉඩ තියෙනවා. මාක්ස්ගෙ පිළිරුවක් හදන්න කවුරුන්වත් හිතල නැත්තෙ මොක ද? 

ඒ කොහොම වුණත් ඇතැම් අපේක්‍ෂකයන් සිරිසේනට ඡන්දෙ දෙන්න එපා කිය කියා යන එක වැරදියි. සිරිසේනට කරුණාට සහ වෙනත් ඕනෑම කෙනකුට පොදුජන පෙරමුණෙන් හරි එහි අනුග්‍රහය ලබන පක්‍ෂයකින් හරි තරග කරන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රධාන ම කොන්දේසිය බෙදුම්වාදයට සන්ධීය රාජ්‍යයට විරුද්ධ වීම හා ඒකීය (එක්සේසත් කියන්නෙත් ඒකීය වර්ගයක්. ඒකීය කියන වචනය හැදුණෙ රුවන්වැලි සෑයට පස්සෙ ද කියන එක අපට වැදගත් නැහැ) රාජ්‍යයට පක්‍ෂ වීම. ජාතික කඳවුර සංවිධානය විය යුත්තේ ප්‍රධාන වශයෙන් ම ඒ සටන් පාඨ වටා. එයට අමතර ව දේශීය කෘෂිකර්මය (ගොවි), දේශීය වෙදකම (වෙද), සහ වෙනත් දැනුම් දේශීයකරණය කිරීම ආදිය වැදගත්.  

අද පොදුජන පෙරමුණ සහ සංධානයේ අනෙක් පක්‍ෂ තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳ මගේ කලින් නම් අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒත් ඇති වී තිබෙන තත්වයන් යටතේ තුනෙන් දෙකක් ලබා ගැනීම අවශ්‍යතාවක් බවට පත්වෙලා. මැතිවරණයෙන් සංධානය ජය ගන්නා බවට සැකයක් නැහැ. 1.5%, නැත්නම් දෙසීයට තුනේ, කට්ටිය මරු විකල්ලෙන් කියවනවා. අනුර කුමාර, යටත්විජිත, හඳුන්නෙත්ති, බිමල් වැනි අය කතා කරන තරමට හොඳයි. අර ඌවෙ හාදයාටත් තැනක් දෙන්න. උමා ඔයට ගියාට පස්සෙ ඔහු ආව ද? සජිත්ටත් කතා කිරීමට තවත් අවස්ථා ලබා දෙන්න ඕන. කතා දාහ කොහොම හරි සංවිධානය කරල දෙන්න ඕන. රනිල්ට කොරෝනාවෙන් පස්සෙ දේශපාලනික ව ථෙරවාද බුද්ධාගම මතක් වෙලා. 

අද ජාතිකත්වය යම් ප්‍රමාණයකට තහවුරු වෙලා. ඒ හමුවේ සජිත් රනිල් 1.5% අනාථ වෙලා. ඔවුන්ගේ පිහිටට නාථ දෙවියන් එන්නේ නැහැ. එ ජා පක්‍ෂයට හිතවත් සමහරු මෙවර ඡන්දය දීමෙන් වැළකී ඉන්න ඉඩ තියෙනවා. ඡන්දය දෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මේ තත්වයන් යටතේ පොදුජන පෙරමුණු සංධානය තුනෙන් දෙකකට කිට්ටු ප්‍රමාණයක් ගන්නවා. අප මෙය කෙසේ නමුත් පෙරමුණට හිතවත් ජනතාවගේ ඡන්ද දෙන ප්‍රමාණය වැඩි කිරීමෙන්, ඔවුන් ඡන්ද පොළට යැවීමෙන්, තුනෙන් දෙක  දක්වා වැඩි කිරීමට කටයුතු කළ යුතුයි. ඡන්දය දෙන සිංහල ජනතාවගේ ඡන්දවලින් 80%ක් පමණ ගන්න පුළුවන් නම් එය ඉටු කර ගැනීම අමාරු වෙන එකක් නැහැ. අප ඒ සඳහා හැකි සෑම වෙරක් ම දරන්න ඕන. 

අද දෙමළ පක්‍ෂත් ඉන්නෙ භේද භින්න වෙලා. සිංහල ජාතිකත්වයට මුහුණ දෙන්නෙ කොහොමද කියන එක දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්ට තේරෙන්නෙ නැහැ. එහෙත් ඔවුන් සමහරු ආයුධ සන්නද්ධ අරගලය අත්හැරල වුණත් සංධීය කතා අත්හැරල නැහැ. සම්බන්ධන් සුමන්තිරන් ඒ අතර ප්‍රධානයි. ඔවුන් තමයි භයානක ම දේශපාලන ප්‍රවණතාව. පොදු පෙරමුණු සංධානය සිංහල හා වෙනත් ජනයාගේ ඡන්දවලින් තුනෙන් දෙක ලබා නොගෙන එහෙත් තුනෙන් දෙකට කිට්ටු ප්‍රමාණයක් ලබා ගත්තොත් තුනෙන් දෙක සම්පූර්ණ කිරීමට සුමන්තිරන්ලා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් වෙන්නෙ ඔවුන්ගෙ සංධීය සහසංධීය කොන්දේසිත් එක්ක. අපට කියන්න පුළුවන් ඔවුන් සමග එකතු වෙන්න එපා කියලා. එහෙත් දැම්ම ම ඔවුන් අයින් කරන එක හොඳයි. 

අප කොහොමටවත් පොදුජන පෙරමුණු සංධානයට තුනෙන් දෙකක් නොලැබුණොත් තුනෙන් දෙකේ වැඩි ඡන්දය නොමැති ව වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. දහනවයත් එක්ක වුණත් වැඩ කරන්න ක්‍රම හා විධි හදා ගන්න ඕන. දහනවය ගැන සමුන්තිරනුත් දොස් කියල තිබුණ. එන පොට කොහොමටවත් හොඳ නැහැ. දහනවය නැති කරලා දහතුන ශක්තිමත් කරන්න සුමන්තිරන්ලා තුනෙන් දෙක සම්පූර්ණ කරන්න පුළුවන්. ඒක ඉඟුරු දීල මිරිස් ගත්තට හපන්.  අප ඉන්දියාවටත් සුමන්තිරන්ලටත් කාට කාටත් කියන්න ඕන කරුණ තමයි දහතුන නන්දිකඩාල් කලපුවේ ගිල්ලලා ඉවරයි කියන එක. 

මෙන්න මේ විය හැකි එකතුව තමයි අද දේශපාලනයෙ සිංහල ජාතිකත්වයට එරෙහි ව තියෙන භයානක ම තොණ්ඩුව. අප ඒ තොණ්ඩුව කපා දාන්න ඕන. එය කළ හැකි එක් ක්‍රමයක් තමයි පොදුජන පෙරමුණු සංධානයට තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබා දීම. මේ අවස්ථාවෙ ජාතිකවාදී කඳවුරේ උපරිම සමගිය තියෙන්න ඕන. අරයට ඡන්දෙ දෙන්න එපා මෙයාට ඡන්දෙ දෙන්න එපා කියන්නන් අවසානයේ දී සිංහලයන් මේ තොණ්ඩුවට හිර කරනවා.