ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහනුවරට

11167

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන නේවාසික එළිමහන් පුහුණු කඳවුරේ දෙවැනි අදියර මේ මස 22 වැනිදා සිට ජූලි 2 වැනිදා දක්වා මහනුවර දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකු සහභාගී වනු ඇත.

ගුරුසිංහ ඕස්ට්‍රේලියාවේ ගිවිසුමකට

මෙහි පළමු අදියර ජුනි 1 වැනිදා සිට ජුනි 12 වැනිදා දක්වා කොළඹ දී ඉතාමත් සාර්ථකව පැවැත්වූ අතර ඒ සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙකු සහභාගී විය. වේගපන්දු යවන්නන් වැඩි දෙනෙක් සහභාගී වූ එම පුහුණු කඳවුර වේගපන්දු යවන්නට විය හැකි ආබාධ අවම කරගැනීම වෙනුවෙන් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු ක්‍රමානුකූලව සහ විධිමත් ලෙස ආරම්භ කරන ලදි.

එහි දෙවන අදියර සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකු ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත්තේ පළමු කඳවුර සඳහා ඇතුළත් වූ ක්‍රීඩකයින්ට අමතරව තවත් පිතිකරුවන් කිහිප දෙනෙකුම මෙම පුහුණු සංචිතය සඳහා ඇතුළත් කරමිනි. 

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම පුහුණු සැසිය රජය සහ අදාළ සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන සියලුම උපදෙස්වලට අනුකූලව යමින් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති අතර කිසිදු පුද්ගලික හේතුවක් මත නවාතැන් ගනු ලබන හෝටලයෙන් පිටතට හෝ ක්‍රීඩා පිටියෙන් ඉවතට යාමට ක්‍රීඩකයින්ට හෝ පුහුණුකාර්ය මණ්ඩලයට අවස්ථාව උදා වන්නේ නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ප්‍රමුඛ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම පුහුණු වැඩමුළුව සඳහා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆලවර්, ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ඩිල්ශාන් ෆොන්සේකා, භෞතික චිකිත්සක අජන්ත වත්තේගම, පන්දු රැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම සහ සම්බාහන කටයුතු සිදු කරනු ලබන රොහාන් ප්‍රියදර්ශන යන නිලධාරි මණ්ඩලය සහභාගී වනු ඇත.

Video – මෙන්ඩගේ Jersey Number එක 13 – අසුභ ද?

ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ දී වන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එම තරගාවලිය පැවැත්වෙන ලදි.

කෙසේ නමුත් ඉන් අනතුරුව ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබූ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණ පුහුණු තරගයක් ක්‍රීඩා කර නමුත් දෙවන පුහුණු තරගය අතර මැද නවතා දමා ඔවුන් ඉතාමත් ඉක්මනින් සිය රට වෙත පියාසර කළේ කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ඇතිවූ ගැටලුකාරී තත්වය නිසාවෙනි.

ඊට අමතරව ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ දකුණු අප්‍රිකානු සහ ඉන්දීය කණ්ඩායම්වල ශ්‍රී ලංකා තරග සංචාරයන් ද මෙම කොරෝනා වසංගත තත්වය නිසාවෙන් අත්හැර දැමීමට සිදු විය.

කොරෝනා වලින් පසුව පැවැත්වීමට නියමිතව තිබෙන පළමු ක්‍රිකට් තරගාවලිය වන්නේ එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය වන අතර එම තරගාවලිය  ජූලි මස 8 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

එසේම විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව කොරෝනා වසංගත තත්වය නිසා අතර මැද නවතා දැමුණු ශ්‍රී ලංකා දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ජූලි මස මැද දී ආරම්භ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පුහුණු සංචිතය – දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙනිය, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<