සෞඛ්‍ය සේවකයන්ට දෙන හෝටල් නිවාඩුව බාල අල්ලසකි

ඊශා කප්පරගේ

කොරෝනා හෝ කුමෙන වසංගතයකට වුව ද රැකියාවේදී මුහුණ දීමට සෞඛ්‍ය සේවකයෝ බැඳී සිටිති. ඒ අර්ථයෙන් කොරෝනා කාලයේත් අප වැඩ කළේත් අදටත් කරන්නේත් ඒ අපේ රැකියාව නිසාය. ඒ සඳහා අප විශේෂ වරදාන, වරප්‍රසාද ඉල්ලුවේ නැත. ඉල්ලන්නේත් නැත.
Translations by Creative Content Consultants
අප ඉල්ලුවේ,
1.ඇඳිරිනීති සමයේ ප්‍රවාහන පහසුකම්. එය හරිහැටි ඉටු කිරීමට ආණ්ඩුව අසමත් විය.තැන තැන හෙද හෙදියෝ යෑමට ඒමට නොහැකිව අසරණ වූ අවස්ථා අපමණ වාර්තා විය.
2. ආරක්ෂිත ඇඳුම්, මුව වැසුම් අවශ්‍ය ප්‍රමාණය සැපයීමට අසමත් විය. ඉටි කොළ, රෙදි සාදාගත් අනාරක්ෂිත ක්‍රම යොදා ගැනීමට සෞඛ්‍ය සේවකයන්ට සිදුවිය.
3. සියලු කාර්ය මංඩලය එකවර සේවයට පැමිණීමේ ඇති අවදානම නිසා විශේෂ නිවාඩු ලබා දීම සඳහා චක්‍රලේඛ නිකුත් කෙරිණි. එම චක්‍රලේඛවල තිබූ අඩුපාඩු, අපැහැදිලිතා නිසා ඒ හිල්වලින් රිංගූ රෝහල් බලධාරීන්, විශේෂයෙන් හෙද පාලිකාවන් අපගේ විශේෂ නිවාඩු හැකි තරම්කපා හරින ලදී. මේවා නිවැරැදි කරන ලෙස අමාත්‍යාංශයෙන් වෘත්තීය සමිති මාර්ගයෙන් ඉල්ලා සිටියත් ඉෂ්ඨ කළේ නැත. මේ චක්‍රලේඛනවලින් උපරිම ප්‍රයෝජන රෝහලේ අනෙකුත් කාර්ය මංඩල ලබා ගන්නා පසුබිමක හෙද හෙදියන් රෝගීන් සමඟ ඉතා සමීපව කටයුතු කරමින් තමාට හිමි නිවාඩුවත් ලබාගත නොහැකිව අසරණ විය.
4. කොරෝනා සමයේ බොහෝ රාජ්‍ය සේවකයන් සේවයට නොකැඳවූ පසුබිමක ඔවුනට හිමි වැටුප් අඩු නැතිව ලැබුණත් අප වැඩ කළ කාලයට හිමි වැටුප් හිමිකම ලබා ගැනීමට තැන තැන උද්ඝෝෂණ, සාකච්ඡා කිරීමට හෙද හෙදියන්ට සිදු විය.
මේ සියල්ල නො⁣⁣පෙනෙනා සේ සිටි සෞඛ්‍ය ඇමතිනිය දැන් කොරෝනා සමඟ වැඩ කළ හෙද හෙදියන්ට හෝටල් කාමරවල නිවාඩුවක් ගත කිරීමට දෙනවා යි සීනි බෝල පායි.
සෞඛ්‍ය ඇමතිනියට මෙන්න කරනවනම් වැඩ.
  1. හෙද උපාධිධාරීන් 10,000 ට අධික සංඛ්‍යාවක් සේවයට එක්වී සිටියද ඔවුන් වැටුප් තලයක පිහිටුවා නැත. මේ වැටුප් වර්ධක ගෙවීමට කැබිනට් අනුමැතිය ලබා අවශ්‍ය කටයුතු ඉටු කරන්න.
  2. විශේෂ පුහුණු ලෙස සූතිකා පුහුණුව ,මානසික සෞඛ්‍ය පුහුණුව,විකලාංග පුහුණුව වැනි පුහුණුවීම් ඇතත් ඔවුන් සඳහා විශේෂ ස්ථානගත කිරීමේ ක්‍රමවේදවක් සකසා නැත. ඒ සඳහා කටයුතු කරන්න.
  3. ශ්‍රේණිගත උසස් වීම්වල නොවිසඳුණු ගැටලු රශියක් පවතී. ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කරන්න.
  4. රෝගියෙකු වෙනත් රෝහලකට මාරු කිරීමේදී හෙදියක් රෝගියා සමඟ ගිලන් රථයේ යා යුතු අවස්ථා ඇත.රෝගියා වෙනත් රෝහලකට බාර දී නැවත පැමිණෙන්නේ රාත්‍රී කාලයේ නම් ඇය හෝ ඔහු නිවසට ඇරලන්නේ කිලෝ මීටර් 10 ක් දක්වා පමණි.මේ නීතිය නිසා හෙද හෙදියන් අපහසුතාවට පත්වන අවස්ථා බොහෝය. මේ නොගැලපෙන නීති වහා සංශෝධනයට කටයුතු කළ යුතුයි .
  5. කොරෝනා රෝගීන් සමඟ අදත් ගැවසෙන හෙද හෙදියන්ට අනතුරු දීමනාවක්වත් නැත. එම දීමනා ලබා දෙන්නේ තෝරාගත් ඒකක කිහිපයකට පමණි. නමුත් වාස්තවික තත්ත්වයන් හමුවේ එදිනෙදාට ⁣ඕනෑම ඒකකයක අපි වැඩ කරන්නෙමු. මේ නිසා රෝගීන් සමඟ පැය 24 ම ගැවසෙන අපට අනතුරු දීමනාවක් ලබා දීමට කටයුතු කරන්න. රෝහල නිසා ක්ෂය රෝගයට ගොදුරු වූ, පැපොල, සරම්ප වැනි රෝගවලට ගොදුරු වන හෙද හෙදියන් කොතෙකුත් සිටීති. ගර්භනී සමයේ මේ රෝග වැළඳීම නිසා විකෘතිතා ඇති දරුවන් බිහි වූ, ගබ්සාවලට ලක්වූ හෙදියන් ද සිටී.
සෞඛ්‍ය සේවකයන්ට හෝටල් කාමරයක පවුලේ අය සමඟ නිවාඩුවක් ගත කිරීමට සැලසීම බාල අල්ලසකි. හෝටලේකට යාමට අවශ්‍යනම් අප යන්නේ අප උපයාගත් මුදලින් මිස මහජන මුදලින් නොවේ. හොරකම, අල්ලස නැති හෙද වෘත්තියේ ආඩම්බරයෙන් ⁣ නියැලෙන මට නම් මෙය මහා නිගාවකි.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා