Main Logo

Friday 5 June 2020

මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස හා චතුස්කෝටිකය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස හා චතුස්කෝටිකය 


අප බොහෝ දෙනකු තමන් ඉගෙන ගත් විෂයට විෂයවලට ලැදියි. ඒ ගැන වරදක් කියනවාටවත් කැමති නැහැ. තමන් ඉගෙන ගත් විෂයෙන් හරි විෂයවලින් හරි කැඩිල එන එක බොහෝ දෙනකුට හිතා ගන්නවත් බැහැ. එහෙත් බෞද්ධයනට නම් එය ගැටළුවක් වෙන්න අමාරුයි. අවසානයේ නිවන සම්මාබෝධියේ දී සියළු දැනුම් අත්හරින්න ඕන. සියළු දැනුම් අප අනිත්‍ය දුක්ඛ (අයහපත් හිස් බව) අනාත්ම අනවබෝධය, අපේ අවිද්‍යාව, නිසා සංස්කරණය කර ගන්නා දේ. ඒ සංස්කරණය ඒ ඒ අයගේ මනසට ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂයි. එමෙන් ම ඒ ඒ අයගේ චින්තනය මත පදනම් වෙනවා. 


සොක්‍රටීස් බටහිරට යම් දෙයක් උගන්වන්න හැදුවා. එහෙත් ඔහුගේ ගෝලයාගේ ගෝලයාවූ ඇරිස්ටෝටල් ඒ සියල්ල විනාශ කරලා මහා දරදඬු න්‍යායක් නිර්මාණය කළා. බටහිරයන් හා බටහිරයන් අනුකරණය කරමින් අප තාමත් ඇරිස්ටෝටල් වටේ කැරකෙනවා. පසු කලෙක කුලකවාදය නිර්මාණය (සංස්කරණය) වුණෙත් ඔය ඇරිස්ටෝටල් න්‍යාය පදනම් කරගෙන. ඇරිස්ටෝටල්ගෙ න්‍යාය ද්විකෝටිකයි. එය ද්විමය සම්බන්ධතා සහිතයි. A නැත්නම් නොම A. A සත්‍යය නම් නොම A අසත්‍යයි. නොම A සත්‍යය නම් A අසත්‍යයි. 

සියල්ල මනසේ නිර්මාණ. මනසත් ඇතුළුව. අප පුටුව කියන්නේ මනසින් සංස්කරණය කරගත් සංකල්පයක්. ආසනය කියන්නේ එහි සාධාරණීකරණයක්. එහෙත් අර උඩැක්කිය වගේ අසුන් දැක නැති අයකු පළමු වරට එය දුටුවොත් අසුනක් ලෙස සලකනවා ද? අප ඔහුගේ මනසට එයත් අසුනක් ය යන අපේ සංකල්පය දමනවා. ඉන්පසු ඔහු තම අසුන පිළිබඳ සංකල්පය නැවත සංස්කරණය කර ගන්නවා. එය කරන්නේ ඔහු මිස අප නො වෙයි. ගුරුවරු උගන්වන දේ ඒ අයුරින් ම ගෝලයන් සංස්කරණය කර ගන්නේ නැහැ. යමකු කියන දෙයක් විරුද්ධවාදියකු තමන්ට ඕන ආකාරයකට සංස්කරණය (නිර්මාණය) කර විවිධ කතන්දර කියන්න පුළුවන්. මෙහි යමකු කියන දෙයක් වෙනත් අයකු වෙනත් ආකාරයකින් සංස්කරණය කරනවා කීම හරි නැහැ. සිදුවන්නේ මා යමක් කියනවා. විරුද්ධවාදියකු හරි ගෝලයකු හරි යමක් සංස්කරණය කරනවා. 

දැන් එහෙම සංස්කරණය කර ගත් දේ ගැන අප සම්මුතියක් හදාගන්නවා. අප සම්මුතියෙන් ආසන කියා වර්ගයක් පවතිනවා කියා ගන්නවා. මෙය සම්මුතියක් පමණයි. මේ සම්මුතියේ සියළු දෙනා නිශ්චිත ව ම අදහස් කරන්නෙ එකම එකක් වෙන්නෙ නැහැ. යම් යම් වෙනස්කම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙන්න පුළුවන්.  

ඉන් කියන්නේ වෙනත් පරමාර්ථයක් තියෙන ව කියන එක නොවෙයි. පරමාර්ථයක් නැහැ. නිවනත් පරමාර්ථයක් නොවෙයි. නිවනක් කියා තැනක් සම්මුතියෙන්වත් නැහැ. අප පන්සලට යනවා වගේ නිවනට යන්න බැහැ. මේ සියළු දැනුම් බොරු (සමහර ඒවා පට්ටපල් බොරු තවත් සමහර ඒවා පට්ටම පට්ටපල් බොරු) මායා බව සම්මාබෝධය ලබා ගැනීම, ප්‍රත්‍යක්‍ෂ කිරීම තමයි නිවන. 

සම්මුතියෙන් ආසන කියා වර්ගයක් තියෙනවා. අපට අදාළ කුලකයක (ඊනියා සර්වත්‍ර කුලකයක) ආසන හැරෙන්න ආසන නොවන දේත් සම්මුතියෙන් තියෙන්න පුළුවන්. වෙනත් දෙයක් තියෙන්න බැහැ. එහෙම වෙන්නෙ ඇරිස්ටෝටල් නිසා. ද්විකෝටික න්‍යාය නිසා. කුලකවාදය පමණක් නොව බටහිර ගණිතය පදනම් වෙන්නෙ ඇරිස්ටෝටල්ගෙ න්‍යාය මත. 

මිහිඳු හිමියන් ඇසු ප්‍රශ්න ගැන මා ලියා තියෙනවා. මට මතක හැටියට පළමු වරට ලිවුවෙ 1987 පොසෙන් කාලය සඟරාවට. ඉන් පසු විටින් විට ලියා තියෙනව. පසුගිය අවුරුද්දෙ පොසොන් දවසෙත් ලිවුවා. (http://www1.kalaya.org/2019/06/blog-post_16.html) මිහිඳු හිමියන්ගෙ ප්‍රශ්න මාලා දෙක දෙකක් බවත් මා කිහිප වරක් ම කියා ඇති.

මා මෙහි සාකච්ඡා කරන්නෙ නෑයන්ගෙ ප්‍රශ්නය. ඇරිස්ටෝටල්ගෙ ද්විකෝටික න්‍යාය අනුව රජ්ජුරුවන්ට නෑයන් හා නොනෑයන් ඉන්නවා. මේ අවස්ථාවේ ඊනියා සර්වත්‍ර කුලකයෙ (එකල හිටි මිනිසුන්ගෙ කුලකය කියමු)  ඉන්නෙ රජ්ජුරුවන්ගෙ නෑයන් හා නොනෑයන් වෙන වෙන ම. වෙනත් කවුරුන්වත් නැහැ. දැන් රජ්ජුරුවො තමන්ගෙ නෑයෙක් ද නො නැයෙක් ද? ඇරිස්ටෝටල්ට අනුව එක්කො නෑයෙක් වෙන්න ඕන නැත්නම් නොනෑයෙක් වෙන්න ඕන. මිහිඳු හිමියන් හා දේවානම්පිය තිස්ස රජු එකඟ වුණෙ රජු තමාගෙ නෑයෙක්වත් නොනෑයෙක්වත් නොවන බව. මේ තමයි චතුස්කෝටික න්‍යාය. 

චතුස්කෝටිකයට අනුව යමකු තමාගෙ නෑයෙක්වත් නොනෑයෙක්වත් වෙන්න ඕන නැහැ. තමාගෙ නෑයකු කියන එකත් නොනෑයකු කියන එකත් යන දෙක ම අසත්‍ය වෙන්න පුළුවන්. එවැනි අවස්ථා ගැන චතුස්කෝටිකයෙ කියැවෙනවා. A හා නොම A දෙක ම අසත්‍ය මෙන් ම දෙක ම සත්‍ය වන අවස්ථා ගැන චතුස්කෝටිකයෙ කියැවෙනවා. ද්විකෝටිකයෙ ඒ අවස්ථා දෙක නැහැ. ඇරිස්ටෝටල්ගෙ න්‍යාය මත පදනම් වන බටහිර ගණිතයෙ කුලකවාදයෙ ප්‍රශ්න ඇති වෙන්නෙ ඒ නිසා. 

බටහිරයන් මෙවැනි අවස්ථාවල ගැලවෙන්නෙ රජු තමාගෙ නෑයකු බව කීමෙන්. මා කලිනුත් සඳහන් කර ඇති බවට මතකයක් තියෙනවා එලිසබෙත් වින්ඩ්සර්ගෙන් ලන්ඩන් විහාරාධිපතීන් වහන්සේ  අර ප්‍රශ්න ටික ඇහුවෙත් ඇය කියාවි තමාගෙ නැයන් හරි නොනෑයන් හරි නොවන කිසිවකු නැහැ කියා. ඇයට අනුව ඇය තමාගේ නෑදෑයෙක්. නෑදැකම මොකක් ද කියා අහන්න එපා. ඕන ම නම් තමා තමන්ගෙ දරුවන්ගෙ අම්මා කියා කියන්න බැරියැ. 

බටහිර ගණිතයෙ මේ වගේ අවස්ථා තියෙනවා. සරල රේඛාවක් ඒ සරල රේඛාවට ම සමාන්තර ද නැත් ද? සමාන්තරත් නැහැ සමාන්තර නැත්තෙත් නැහැ කියන්නෙ නැහැ. ඒ වෙනුවට සරල රේඛාවක් ඒ සරල රේඛාවට ම සමාන්තර ය කියල අර්ථදක්වනවා. වැඩේ එතැනින් ඉවරයි. ගණිතයෙ ඇතැම් අර්ථදැක්වීම් ගැලවිජ්ජා පමණයි. 

වක්‍රයකට  ලක්‍ෂ්‍යයක දි ස්පර්ශකයක් අඳින්නෙ කොහොම ද? ඒක ලක්‍ෂ්‍යයක දි ද? ලක්‍ෂ්‍යයක් ඔස්සේ සරල රේඛා කීයක් අඳින්න පුළුවන් ද? මෙහි දී දෙවැනි ලක්‍ෂ්‍යයක් යොදා ගන්නවා. සීමාවේ දී ඒක නැති කරන්න අර්ථදැක්වීමක් කරනවා. අවකලනයත් එහෙමයි. අර ඩෙල්ට එක්ස් බින්දුවට යනවා ද නැත් ද? ඒ දෙක ම. එහෙත් බටහිර ගණිතයෙ ඊනියා අර්ථදැක්වීමකින් ඒකෙන් ගැලවෙනවා. ඊනියා සීමාවක් ගැන අර්ථදැක්වීමක් කරනවා.

මා මෙසේ කියනවාට මෙරට බටහිර ගණිතය ඉගෙන ගත් අතිමහත් බහුතරය කැමති වෙන එකක් නැහැ. මේවා ද්විකෝටික ගණිතයක තියෙන අවුල්. ඔවුන්ට අලුතෙන් දෙයක් ගණිතයට එකතු කරන්නත් බැහැ. නිවාඩු තියෙන වෙලාවක චතුස්කෝටික න්‍යාය මත ගොඩනැගුණු ගණිතයක් සංස්කරණය කර ගන්න උත්සාහයක් දරණවා ද? මෙයින් කියන්නේ චතුස්කෝටිකය හරි බවක් නො වෙයි. එයත් මිනිසුන් විසින් සංස්කරණය කරගත් තවත් න්‍යායක් පමණයි.