HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සූර්යයා බලා යන යුරෝපා අභ්‍යවකාශ යානයට අතරමගදී පුදුම හමුවීමක්!

යුරෝපීය අභ්‍යවකාශ ආයතනය (ESA) විසින් සූර්යයාට ළං වී ගවේෂණය කරනු සඳහා පසුගිය පෙබරවාරියේදී යවන ලද අභ්‍යවකාශ යානයට හදිසියේ ම අතරමගදී අනපේක්ෂිත, අමුතු මිතුරකු මුණ ගැසීමට සිදු වී තිබෙනවා. ඒ සූර්යයාගේ පරිවාරක වල්ගා තරුවක් වූ ඇට්ලස් ධූම කේතුවයි.

යුරෝපීය අභ්‍යවකාශ ආයතනය මගින් සූර්යයා වෙත යැවූ 
සෝලර් ඕබිටර් නිරික්ෂණ යානය මේ දිනවල 
ඇට්ලස් ධූම කේතුව හරහා යන හැටි චිත්‍රශිල්පියකුගේ ඇසින්.

මේ වන විට ඒ යානය තියෙන්නේ ඒ වල්ගාතරුවේ වල්ග කොනේයි. මේ හමුවීම විද්‍යාඥයන් කලින් සැලසුම් කළ එකක් නෙවෙයි. කොවිඩ් 19 හේතුවෙන් යුරෝපය වසා දැමීම නිසා වූ දෙසතියකට පසු යළි වැඩ පටන් ගත් ඔවුන්ට පෙනී ගියා යානය ධූම කේතුවේ වල්ගය හරහා යන බව. වහා ක්‍රියාත්මක වූ විද්‍යාඥ පිරිස මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කල්පනා කළා. පොළොවේ සිට උපදෙස් දෙමින් ඔවුන් ඊට මග පෑදුවා.

උඩු ගුවන් ගත කළ පසුව යානය සූර්යයා බලා යන අතර 
මෙහෙයුම් මැදිරිය කෝවිඩ් 19 නිසා සතියක් වසා තැබීමට සිදු වුනත් 
ඔවුන් යළි ආරම්භ කෙටි කාලයකින් පරීක්ෂණ කීපයක් සිදු කර 
යානය සැලසුම් කර ඇති පරිදි නිවැරදි ව ක්‍රියාකරන බව 
සහතික කර ගැනීමට ඔවුන්ට සිදු විය.

පෙබරවාරි මාසයේ දියත් කළ පසු යානයේ ගමන් මග. මුලින් පෘථිවියේ ගුරුත්වයත් ඊළඟට සිකුරුගේ ගුරුත්වයත් යානයේ ගමන මග සකසා ගැනීමට යොදා ගැනේ.


සූර්යයාට ළං වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු උපකරණවලින් කීපයක් කලින් ක්‍රියාත්මක කිරීමෙන් වල්ගා තරුවේ තොරතුරු එකතු කර ගැනීමට ඔවුන් දැන් යුහුසුලු වෙනවා. මෙය විරල අවස්ථාවක් හැටියටත්, විද්‍යාවට ලැබුණු බෝනස් එකක් ලෙසත් ඔවුන් සලකනවා.

යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ සූර්ය ඕබිටර මෙහෙයුමේ විද්‍යාඥයන් අභ්‍යවකාශ යානයේ උපකරණවලින් හතරක් ම කලින් ක්‍රියාත්මක කළා. ඒ අනුව එක්රැස් කර ගන්නා තොරතුරු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ මුලාඩ් අභ්‍යවකාශ විද්‍යා රසායනාගාරයේ ග්‍රහ ලෝක විද්‍යාඥ ගැරියන්ට් ජෝන්ස්ට ලබා දෙනවා.

මේ නිරීක්ෂණ යානය ධූම කේතුව නිකුත් කරන ධූලි හා ආරෝපිත අංශු, හිරුගෙන් නිකුත්වන සූර්ය විකිරණවලින් සෙමින් වාෂ්පීභවනය වන විට ඒ පිළිබඳ දත්ත රැස් කර පොළොවට එවනවා. මේ යානය ධූම කේතුවේ න්‍යෂ්ඨියේ සිට කි.මී මිලියන 44ක් මෙහායින් වල්ගා තරුවේ දැවැන්ත වල්ගයට ඇතුළු වුණා. ඒ ගිය මැයි 31 හා ජූනි 1 යන දෙදින තුළයි. එය එහිදී වල්ගා තරුවේ වල්ගයෙන් නිකුත්වන අයන ධාරාවට මුහුණ දී ඒ දත්ත එවන්න පටන් ගන්නවා. ඉන්පසු ජූනි 6 වැනිදා වල්ගයේ ධූලි වලාව හරහා යමින් තොරතුරු එවාවි. 

යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ විශේෂඥයන්ට අනුව මීට කලින් ධූම කේතු වල්ගා හරහා මෙවැනි ගමන් යෙදී ඇත්තේ අවස්ථා හයකදී පමණයි. ඒත් ඒ හැම එකක් ම අප දැන ගත්තේ ඒවා සිදු වූවාට පසුවයි. මුණ ගැසීමට කලින් සැලසුම කර ගැනීමට හැකි වූයේ මේ වතාවේ දී පමණයි.

සූර්යයාට ආසන්නයෙන් යන ඇට්ලස් වැනි ධූම කේතුවක් නිරීක්ෂණය කරන්න ලැබීම එක අතකින් වාසනාවක්. ‘විද්‍යාත්මක සොයා ගැනීම් උදා වන්නේ හොඳින් කරන සැලැසුම්වලින්. ඒ වගේ ම ඒකට වාසනාවත් අවශ්‍යයි. අපි දැන් ඒ දෙකට ම මුහුණ දීම අපට අවස්ථාව සැලසී තියෙනවා. ‍ඇට්ලස්ගෙන් අපට ලැබෙන්නේ මොනවාද ඒ සියල්ල ලබා ගන්න අප සූදානම්.’ යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ සූර්ය ඕබිටරයේ ව්‍යාපෘති විද්‍යාඥ ඩැනියල් මලර් කියනවා.

විද්‍යාඥයන් විශ්වාස කරනවා, ධූම කේතුවේ අයන ධාරා සහිත වල්ගය ප්‍රමාණවත් තරම් ඝනකම ඇතැයි කියා. එසේ වුවහොත් සූර්ය ඔබිටරයේ චුම්බකමානයට හැකි වේවි එහි ඇති අයන ධාරා උපයෝගී කර ගෙන අන්තරීක්ෂ චුම්බක ක්ෂේත්‍රයේ සිදුවන ප්‍රතික්‍රියා ගැන දත්ත අපට එවන්නට.

ඒ විතරක් නොවෙයි යානයේ ඇති සූර්ය සුළං විශ්ලේෂකයට හැකි වේවි වල්ගයේ ඇති ආරෝපිත අංශු කෙළින් ම ලබාගෙන විශ්ලේෂණය කර දත්ත සම්ප්‍රේෂණය කරන්නට. ඒ වගේ ම තවත් පැති ගණනාවකින් තොරතුරු ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ජූනි 15 වැනිදා වන තෙක් ඒ තොරතුරු ලබා දීමෙන් පසු ඕබිටර් යානය යළි උපකරණ සකස් කර ගෙන තමන්ට අයත් මෙහෙවර සඳහා හිරු බලා යනු ඇති.

යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ මෙහ‍ෙයවීමෙන් සූර්යයා වෙත යැවෙන මෙම සෝලර් ඕබිටර් නිරික්ෂණ යානය උඩුගුවනට යවන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහී කැනවරල් තුඩුවෙනි. ඒ තුළ මේ මෙහෙයුම සඳහාම සැලසුම් කළ දුරේක්ෂ 10ක් හා ඍජු සංවේදක උපකරණ 10ක් සවි කර තියෙනවා.

මෙම යානය සූර්යයාට කිලෝ මීටර් මිලියන 43ක් තරම් 
දුරකට ආසන්න කක්ෂයක යමින් සූර්යයා මතුපිට නිරීක්ෂණය කරනවා.

මෙම යානය සූර්යයාට කිලෝ මීටර් මිලියන 43ක් තරම් දුරකට ආසන්න කක්ෂයක යමින් සූර්යයා මතුපිට නිරීක්ෂණය කරනවා. මෙහිදී සූර්යයාගේ උතුරු හා දකුණු ධ්‍රැව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි. සූර්යයාගේ පිටත වායුගෝලයේ විශේෂයෙන් ම කොරෝනාවේ සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් ගැනත් මෙම යානය යොදා ගෙන පරීක්ෂා කරන්නටද විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

මේ කලාපයේ තමයි, ආරෝපිත අංශුවලින් සමන්විත සූර්ය සුළං (solar winds) හටගන්නේ. අභ්‍යවකාශයට මුදා හැරෙන ඒවා නිසා තමයි, අපේ පෘථිවියේ ඉලෙක්ට්‍රොනික උපකරණ අක්‍රිය කෙරෙන්නේ. සුර්ය සුළං ඇති වීමට හේතු වශයෙන් අප දැනටමත් දන්නා දෙයට වඩා වැඩි යමක් මේ නිරීක්ෂණ යානයෙන් ලැබෙන තොරතුරුවලින් දැන ගත හැකි වේවි යැයි අපේක්ෂා කරනවා.

සූර්යයාට වඩාත් ළං වන අවස්ථාවල දී සෙල්සියස් අංශක 600කට හෝ ෆැරන්හයිට් අංශක 1,112කට තරම් උෂ්ණත්වයක් දැරීමට මේ යානයට හැකියාව තියෙනවා.

මෙම සූර්ය ඔබිටර් යානය 2018 අගෝස්තුවේ දී ඇමරිකාවේ නාසා ආයතනය විසින් හිරුගේ කොරෝනාව අධ්‍යයනය සඳහා යවන ලද පාකර් සූර්ය නිරීක්ෂණ යානය සමඟ ද සමීපව කටයුතු කරනු ඇති.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments