COVID-19 වැළඳුන ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් Barcelona වසන් කළා ද?

142

ස්පාඥ්ඥයේ ප්‍රබල Barcelona පාපන්දු සමාජයේ ක්‍රීඩකයින් 5 දෙනෙකුට සහ පුහුණු කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට COVID-19 වසංගත රෝගය වැළඳී තිබූ බවත්, ඒ බව ඔවුන් පිටතට හෙළි නොකළ බවත් එරට ගුවන් විදුලි නාලිකාවක් අනාවරණය කර ඇත. 

වෛරසය වැළඳුනු බව පැවසෙන ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ නම් ප්‍රකාශයට පත් නොකරමින් මේ බව වාර්තා කර ඇත්තේ Barcelona පාපන්දු සමාජය අයත් Catalonia කලාපයේ ගුවන් විදුලි නාලිකාවක් වන RAC1හි සිදුකරනු ලැබූ ‘Tu Diras’ නමැති වැඩසටහනක් හරහා යි. 

නව කොරෝනා වසංගතයේ ආරම්භක අවධියේ දී සිදුකරනු ලැබූ රුධිර පරීක්‍ෂණ හරහා මෙම ක්‍රීඩකයින්ට හා පුහුණුකරුවන්ට එම වෛරසය වැළඳී ඇති බව හෙළිවූ බවත්, ඔවුන් එහිදී ඊට අදාළ කිසිඳු රෝග ලක්‍ෂණයක් පෙන්නුම් නොකළ බවත් සහ ඔවුන් සියලු දෙනාම මේ වන විට ඉන් සම්පූර්ණ සුවය ලබා ඇති බවත් එම වැඩසටහන හරහා තවදුරටත් අනාවරණය විය. 

කෙසේ නමුත් මේ බව ස්පාඥ්ඥයේ La Liga ලීග් තරගාවලියේ අදාළ බලධාරීන් විසින් නිකුත් කරනු ලැබූ නිළ වාර්තාවේ ද ඇතුළත් නොවීය. මැයි මාසයේ මුල භාගයේ දී කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ වූ විට නිළ ප්‍රකාශයක් නිකුත් කරමින් Barcelona බලධාරීන් තහවුරු කර සිටියේ එම පාපන්දු සමාජයේ සියලු දෙනා අදාළ පරීක්‍ෂණ වලට භාජනය කරනු ලැබූ බවත්, එහිදී නව කොරෝනා වෛරසය වැළඳුනු කිසිවෙකු නොසිටි බවත් ය. එමෙන්ම ඉදිරියේ දී නැවතත් ආරම්භ වීමට නියමිත La Liga තරගාවලියට ඔවුන්ගේ සියලු දෙනා සූදානමින් පසුවන බව ද එහිදී තවදුරටත් ඔවුන් වාර්තා කර සිටියේය. 

කෙසේ නමුත් එරට දේශීය වාර්තාවන් කිහිපයක්ම වැඩිදුරටත් පවසා සිටින්නේ Barcelona පාපන්දු සමාජයේ ඉහළ නිලධාරීන්, මෙම වෛරසය වැළඳුනු ක්‍රීඩකයින්ට ඒ හරහා සිදුවූ බලපෑම පිළිබඳවත් ඔවුන්ට අබාධ ඇතිවීමට හැකි ප්‍රවණතාව පිළිබඳවත් දැඩි අවධානයෙන් පසුවන බවයි. 

මෙම පුවත පිළිබඳව Barcelona පාපන්දු සමාජය තවමත් කිසිඳු නිළ ප්‍රකාශයක් නිකුත් කර නොමැති නමුත් පළමුව RAC1 ගුවන්විදුලි නාලිකාව හරහා මෙම පුවත ප්‍රචාරය වීමෙන් අනතුරුව එරට ප්‍රමුඛ පෙළේ පාපන්දු වැඩසටහනක් වන ‘El Chiringuito de Jugones’ ඇතුළු තවත් වැඩසටහන් හා නාලිකාවන් රැසක් මේ බව පසුව වාර්තා කර ඇත. 

තවත් කියවන්න; 

Barcelona නගරයම පදනම් කරගත් අනෙක් ප්‍රමුඛ පෙළේ කණ්ඩායම වන Espanyolහි කළමණාකරු Aberlardo Fernandez Antuna පසුගිය මාසයේ දී මාධ්‍ය හමුවේ හෙළිකර සිටියේ ඔවුන්ගේ සංචිතය තුළ ක්‍රීඩකයින් 8 දෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සමඟින් සමස්ත නව කොරෝනා වෛරසය වැළඳුනු සිදුවීම් 10ක් වාර්තා වූ බවයි. 

මෙම තොරතුරු අනාවරණය වන්නට වූයේ La Liga තරගාවලිය මෙම මස එළඹෙන 12 වන දින ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති පසුබිමක වන අතර එහිදී Barcelona කණ්ඩායම සහභාගී වන පළමු තරගය මෙම මස 14 වන සඳුදා Mallorca පාපන්දු සමාජයට එරෙහිව පැවැත්වීමට නියමිතය. 

කෙසේ නමුත් මේ වන විට Barcelona කණ්ඩායම සිය සම්පූර්ණ පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති අතර La Liga තරගාවලියේ සති 27ක තරග අවසානයේ ප්‍රසාද ලකුණු 58ක් ද සමඟින් ඔවුන් Real Madrid කණ්ඩායමට වඩා ලකුණු 2ක් ඉදිරියෙන් සිටිමින් එහි පළමු ස්ථානය හිමිකර ගෙන සිටියි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<