Investec Super Rugby Aotearoa තරගාවලියේ නව වෙනස්කම් රැසක්

183

මෙවර Investec Super Rugby Aotearoa තරගාවලිය සඳහා ලකුණු සමවී තරග අවසන් වූ පසු ‘golden point’ අවස්ථාවන්, රතු කාඩ්පතක් නිකුත් වූ ක්‍රීඩකයෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට අවස්ථාව ලබා දීම සහ ‘breakdown’ අවස්ථාවන් හිදී විනිසුරුවරුන් කටයුතු කළ යුතු ආකාරයේ වෙනස්කම් ද ඇතුළුව නව වෙනස්කම් කිහිපයක්ම හඳුන්වා දෙන්නට එහි සංවිධායකයින් තීරණය කර ඇත. 

ඒ අනුව මෙම තරගාවලිය මෙම මස එළඹෙන 13 වැනි දින ආරම්භ වීමට නියමිතව ඇති අතර එහි දී Highlanders සහ Chiefs කණ්ඩායම් Dunedin හි Forsyth Barr ක්‍රීඩාංගණයේ දී තරගාවලිය ආරම්භ කරමින් සටන් වදිනු ඇත. අනතුරුව ඊට පසු දින (14) Blues සහ Hurricanes කණ්ඩායම් අතර තරගය Eden Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය. 

නවසීලන්ත රග්බි පාලක අධිකාරිය වන ‘New Zealand Rugby’ හි (NZR) වෘත්තීය රග්බි ක්‍රීඩාව සම්බන්ධ ප්‍රධානී Chris Lendrum මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මේ හරහා රග්බි ක්‍රීඩාව ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩාලෝලීන්ට ද එක සේ තවදුරටත් උණුසුම් කළ හැකි වන පරිදි සිදු කළ හැකි වෙනස්කම් අත්හදා බැලීමට මෙම තරගාවලිය ඉතා හොඳ අවස්ථාවක් වන බවයි. 

“අපිට අවශ්‍යයි මේ තරගාවලිය වෙනස් විදිහකට කරන්න. ඒ අනුව මේ අවුරුද්දේ තරගාවලිය මීට කලින් තිබුනට වඩා වඩාත් වේගවත්, ආරක්‍ෂිත සහ උණුසුම් විදිහට සිදු කරන්න අපේ පුහුණුකරුවන්ගෙන්, ක්‍රීඩකයින්ගෙන් සහ විනිසුරුවරුන්ගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුණා.”

‘Golden point’

යම්කිසි තරගයක් නියමිත විනාඩි 80ක කාලය අවසානයේ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබාගෙන අවසන් වුවහොත් තරගයේ තීරණය ‘golden point’ හරහා තීරණය කිරීමට මෙවර සංවිධායකයින් තීරණය කර ඇත. ඒ අනුව එවන් අවස්ථාවක දී ලබා දෙන අමතර මිනිත්තු 10ක කාලය තුළ ‘drop goal’ අවස්ථාවක්, දඬුවම් පහරක් හෝ උත්සාහක දිනුමක් යන කුමන හෝ ආකාරයකින් පළමුව ලකුණු ලබා ගන්නා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය ද සමඟින් නියමිත සම්පූර්ණ ලකුණු 4ක සංඛ්‍යාව ද හිමි වේ. 

“තරගයක් ජය-පරාජයෙන් තොරව අවසන් වුණාම හැමෝටම ඒක කනගාටුවට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ පුහුණුකරුවන් වගේම ක්‍රීඩකයින්ගේත් කැමැත්ත මත අපි තීරණය කළා ‘golden point’ නීතිය හඳුන්වා දෙන්න. අපි දැකලා තියෙනවා ඒක හරහා තරගයක් කොච්චර උණුසුම් වෙන්න පුළුවන් ද කියලා. ඒ නිසා අපි හිතනවා ඒක ගොඩක් හොඳ වෙනස්කමක් වෙයි කියලා” Lendrum පැවසීය. 

යම්කිසි කණ්ඩායමක් ‘golden point’ එකක් හරහා පරාජයට පත්වූව ද ඔවුන් තරගයේ සාමාන්‍ය හෝ අතිරේක කාලය තුළ ප්‍රතිවාදී කණ්ඩායමට වඩා උත්සාහක දිනුම් 3ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කරගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණක් හිමිකර ගැනීමේ හැකියාව පවතී. 

ලකුණු ලබා දීම:

  • ජයග්‍රාහී කණ්ඩායමට තරගාවලි ලකුණු 4 බැගින්
  • පරාජිත කණ්ඩායමට තරගාවලි ලකුණු 1 බැගින්
  • ලබාදෙන අමතර කාලයේ දී කිසිදු කණ්ඩායමක් ලකුණු ලබාගැනීමට අපොහොසත් වුවහොත් කණ්ඩායම් දෙකට ම ලකුණු 2 බැගින්
  • ප්‍රතිවාදී කණ්ඩායමට වඩා උත්සාහක දිනුම් තුනක් හෝ ඊට වැඩියෙන් වාර්තා කරගන්නා ඕනෑම කණ්ඩායමකට තරගාවලි ලකුණු 1 බැගින්

රතු කාඩ්පත් සම්බන්ධ වෙනස්කම් 

මෙහි දී සිදු කර ඇති වෙනස්කම්වලට අනුව යම්කිසි ක්‍රීඩකයෙකු හට රතු කාඩ්පතක් නිකුත් වුවහොත් ඔහු ක්‍රීඩාංගණයෙන් ඉවතට ගොස් මිනිත්තු 20ක කාලයකින් පසුව ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු තරගයට ආදේශ කිරීමට එම අදාළ කණ්ඩායමට හැකියාව පවතී. රතු කාඩ්පත නිකුත් වූ ක්‍රීඩකයාට නැවතත් එම තරගයට ඇතුල්වීමට හැකියාවක් නොමැති අතර ඔහුට සුපුරුදු පරිදි පවතින Sanzaar නීති ක්‍රියාදාමයට මුහුණ දීමට සිදු වේ. 

කෙසේ නමුත් මෙහි දී කහ කාඩ්පත්වලට අදාළව කිසිදු නව වෙනස්කමක් හඳුන්වා දී නොමැත. 

“වැරදි විදිහට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් හට දඬුවම් දීම සිදු විය යුතුයි වගේම එය ඉදිරියටත් සිදු වෙනවා. ඒත් සමහර අවස්ථාවන් වලදී රතු කාඩ්පතක් හරහා තරගයට විශාල බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. කවුරුම හරි ක්‍රීඩකයෙකුට රතු කාඩ්පතක් නිකුත් වුනාම එතැන කාටවත් ජයග්‍රහණයක් නැහැ. නමුත් රග්බි ක්‍රීඩාලෝලීන්ට වගේම ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ටත් ඕනේ සාධාරණ තරගයක්. ඉතින් අපි හිතනවා මිනිත්තු 20ක කාලයකින් පස්සේ වෙනත් ක්‍රීඩකයෙකු ඒ වෙනුවට තරගයට ආදේශ කරන්න ලබා දීම හොඳ සමබරතාවයක් ඇති කරනවා කියලා” මේ පිළිබඳව අදහස් දක්වමින් Lendrum පවසන ලදි. 

තවත් කියවන්න;

‘Breakdown’ අවස්ථාවන් වල සිදු වන වෙනස්කම්

ප්‍රවේගකාරී තරගයක් ඇති කිරීම සහ සාධාරණ තරගයක් අරමුණු කරගෙන මීට අදාළව වර්තමානයේ ක්‍රියාත්මක වන නීති වඩාත් දැඩිව යොදවමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මේ පිළිබඳව අදහස් දක්වමින් ‘New Zealand Rugby’හි ජාතික විනිසුරු කළමනාකරු Bryce Lawrence පවසනු ලැබීය. 

“Investec Super Rugby තරගාවලිය ක්‍රීඩාලෝලීන් ලොකු උනන්දුවකින් බලන්නේ එහි තියෙන තරගකාරීත්වය සහ අපේ විනිසුරුවරුන් තරගය ඉදිරියට ගලායන්නට අවස්ථාව ලබා දෙන්න දක්වන කැමැත්ත නිසා. ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ හරහා වඩාත් වේගවත්, සාධාරණ සහ ආරක්‍ෂිත මෙන්ම තේරුම් ගන්න ලේසි තරගයක් නරඹන්න අවස්ථාව ලැබෙයි කියලා. 

මෙහි දී අපි රග්බි ක්‍රීඩාවේ තියෙන නීති වෙනස් කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒ දැනට තියෙන නීති වඩාත් දැඩිව ක්‍රියාත්මක කරමින් තරග විනිශ්චය කරන එක විතරයි කරන්නේ.”

ඒ අනුව ‘breakdown’ අවස්ථාවන් හිදී විනිසුරුවරුන් සිය අවධානය යොමුකරන ප්‍රධාන කරුණු පහත පරිදි සාරාංශ කර දැක්විය හැක:

පන්දුව රැගෙන යන්නෙකු ‘tackle’ කිරීමකට ලක්වීමෙන් පසුව ඔහුට සිදු කළ හැක්කේ ‘dynamic movement’ එකක් පමණි.

පන්දුව තැබීම හා හුවමාරු කිරීම හැරුණු කොට දණ ගා යාම හෝ වෙනත් ද්විතියික චලනයන් සිදු කිරීම දඬුවම් වලට ලක්වීමට හේතු වේ.

‘Tackle’ කිරීම සිදු කළ ක්‍රීඩකයෙකු අනතුරුව වහාම පැති ඉර දිශාවට රෝල් වී යා යුතු අතර මෙය ‘tackle’ කිරීමකට අදාළව විනිසුරුවරයා සලකා බලනු ලබන පළමු සහ වැදගත් ම සාධකය වේ.

පන්දුව රැගෙන ඉදිරියට යන කණ්ඩායමට වැඩි ඉඩකඩක් ලබා දීම වෙනුවෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයින් පැහැදිලිව ම ‘onside’ සිටිය යුතු අතර ඒ අනුව ‘offside line’ එක වෙත විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<