බ්‍රැඩ්මන්ට දෙවැනි වූ වෝල්ටර්ගේ තැන ගත් ජයසූරිය

554

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලියක දී වැඩිම ලකුණු ලබා ගැනීමේ ගෞරවය ලබා සිටින්නේ සනත් ජයසූරිය ය. ඒ 1997 අගෝස්තුවේ මෙරට දී පැවති ඉන්දීය කණ්ඩායමේ සංචාරයේ දී ය. ‍ඔහු මේ වාර්තාව සතු කර ගන්නේ ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය වර්ණවත් කළ ක්‍රීඩකයන් අතරින් සනත් ටෙරාන් ජයසූරිය යන නම ඉදිරියේ සටහන්ව ඇති වාර්තා අතර මේ වාර්තාව ගැන එතරම්ම කතා නොවුනත් ඊට වැඩි වටිනාකමක් හිමි විය යුතුය යන්න අපගේ විශ්වාසයයි. ඒ මෙම වාර්තාවෙන් සනත් ජයසූරිය පිටුපසට ඇද දමන්නේ ලෝක පූජිත ක්‍රීඩකයන් වූ බැවිනි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහානර්ඝ නාමය මහානාම

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා අතර තරග 2කින් යුත් තරගාවලියන් හී වැඩිම ලකුණු ලාභියා වූයේ එංගලන්ත ක්‍රීඩක වෝල්ටර් හැමන්ඩ් ය. ඔහු 1932/33 තරග වසරේ දී නවසීලන්තයට එරෙහිව තරග දෙකක ඉනිම් 2ක දී ලකුණු 563ක් ලබා ගත්තේ ය. මේ වාර්තාව සනත් ජයසූරිය වසර 64කට පසුව තමන් සතු කර ගැනීමට සමත් විය.

වෝල්ටර් හැමන්ඩ්

වෝල්ටර්ගේ වාර්තාගත තරගාවලියේ පළමු තරගයේ දී විනාඩි 301ක් පිටියේ රැඳී සිටිමින් ලකුණු 227ක් ලබා ගන්නේ තම ටෙස්ට් තරග දිවියේ තෙවැනි ද්විත්ව ශතය වාර්තා කරමිනි. අනතුරුව ඊට දවස් 4කට පසුව ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු විනාඩි 318ක් පිටියේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 336ක් ලබා ගන්නේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ මංගල මෙන්ම එකම ත්‍රිත්වය ශතකය ද විය.  

දකුණතින් පන්දුවට පහර දුන් වෝල්ටර් හැමන්ඩ්, එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම දිනා ගන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව 1927 වසරේ දී ය. එතැන් සිට පුරා විසි වසරක් ටෙස්ට් පිටියේ රැඳී සිටින වෝල්ටර් ටෙස්ට් තරග 85ක ඉනිම් 140ක දී ලකුණු 7249ක් රැස් කරන්නේය. එහි තරගයක සාමාන්‍ය 58.45ක් වන අතර ඊට ත්‍රිත්ව ශතකයක්, ද්විත්ව ශතක 6ක් සහ ශතක 15ක් ඇතුළත් ය. 

වෝල්ටර් හැමන්ඩ්

ඕස්ට්‍රේලියාවේ සර් ඩොන් බ්‍රැඩ්මන් තරමටම නොවුනත්, එංගලන්තය, වෝල්ටර්ට ඒ තරමටම හෝ ඒ හා සමාන ගෞරවයක් දැක්විය. ඒ ඔහු, එතෙක් මෙතෙක් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවර හේතුවෙනි. 

එංගලන්ත ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ වැඩිම ලකුණු ලබා ගත් අය අතර වෝල්ටර් තවමත් 11 වැනි තැන රැඳී සිටින්නේ 1927-1947 වසරේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් එකම ක්‍රීඩකයා වෙමිනි. ඔහුට ඉහළින් සිටින 10 දෙනා අතරින් තරගයක සාමාන්‍ය ලකුණු ලබා ගැනීම් අතරින් පෙරමුණ ගෙන සිටින්නේ ද වෝල්ටර් ය. එමෙන්ම ඔහුට ඉහළින් සිටින සෑම කෙනෙක්ටම වඩා අඩු තරග සංඛ්‍යාවකට සේ ම අඩු ඉනිම් සංඛ්‍යාවකට සහභාගී වී සිටීම ද ඔහුගේ විශේෂත්වයකි.

සනත් ජයසූරිය

ඉන්දියාව සමඟ මෙරට දී පැවති තරග 2ක ඉනිම් 3ක දී සනත් ජයසූරිය ලකුණු 571ක් ලබා ගනිමින් තරග 2ක තරගාවලියක වැඩිම ලකුණු ලාභියාවන්නේ මෙරට ක්‍රිකට් තරග ඉතිහාසයට ගෞරවනීය තැනක් ලබා දෙමිනි. ජයසූරිය මෙම තරගාවලියේ දී තම පළමු තරගයේ දී පන්දු 578කට මුහුණ දෙමින් ලකුණු 340ක් ලබා ගන්නේ තම ටෙස්ට් තරග දිවියේ මංගල සහ එකම ත්‍රිත්ව ශතකය වාර්තා කරමිනි. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති ලෝකයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු වාර්තා කළ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ය.

ඊට පසුව පැවති දෙවැනි තරගයේ දී පළමු ඉනිමේ දී ලකුණු 32ක් ලබා ගන්නා ජයසූරිය දෙවැනි ඉනිමේ දී පන්දු 226කට මුහුණ දෙමින් ලකුණු 199ක් ලබා ගන්නේ ය. මේ ඉනිම් 3 එකතුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලියක පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරීත්වය ද තමන් සතු කර ගැනීමට හේතු විය. 

එතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම වාර්තාවේ හිමිකාරීත්වය රැඳී තිබුණේ 1990/91 වසරේ දී අරවින්ද ද සිල්වා විසින් නවසීලන්තයට එරෙහිව තරග 3ක ඉනිම් 5ක දී වාර්තා කරගෙන සිටි ලකුණු 493යි. 

බ්‍රැඩ්මන් සහ වෝල්ටර්

අළුබඳුන කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ දී වාර්තා කරන ලද ලකුණු අතුරින් සර් ඩොන් බ්‍රැඩ්මන් සහ වෝල්ටර් හැමන්ඩ් ප්‍රතිවාදී කණ්ඩායම් වෙනුවෙන් දක්ෂතා දැක්වූවන් අතර ඉදිරියෙන් සිටින දෙදෙනෙකි. ඒ අතුරින් වෝල්ටර් හැමන්ඩ් 1928/29 තරග වාරයේ දී තරග 5කට ක්‍රීඩා කරමින් ඉනිම් 9ක දී ලකුණු 905ක් වාර්තා කරන්නේ ය. එය එවකට අළුබඳුන ක්‍රිකට් තරගමාලාවේ ක්‍රීඩකයෙක් තරගාවලියක දී රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් විය. ඊට ශතක දෙකක් සහ ද්විත්ව ශතක දෙකක් ද ඇතුළත් විය. 

ඔහු විසින් පහතට දැමුවේ එංගලන්ත කණ්ඩායමේ ම දකුණත් පිතිකරුවෙක් වූ හර්බට් සුට්කිල්ෆ් 1924/25 වසරේ දී පැවති අළුබඳුන තරගාවලියේ දී තරග 5ක ඉනිම් 9ක දී ශතක 4ක් අර්ධ ශතක 2ක් සමඟින් ලබා ගත් ලකුණු 734ක වාර්තාව පසු කරමිනි.

බ්‍රැඩ්මන්

වෝල්ටර්ට මේ වාර්තාව වැඩි කාලයක් තමන් සන්තක කර ගෙන සිටීමට ඉඩ ලැබුණේ නැත. ඒ ඕස්ට්‍රේලියාවේ සර් ඩොන් බ්‍රැඩ්මන් ඊළඟ තරග වාරයේ දී තරග 5කට මුහුණ දෙමින් ඉනිම් 7ක දී ලකුණු 974ක් වාර්තා කරමින් පළමුවැනියා වීම නිසා ය. 

බ්‍රැඩ්මන් තම ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් ත්‍රිත්ව ශතකයක්, ද්විත්ව ශතක ද්විත්වයක් සහ ශතකයක් එක් කරන්නේය. එම තරගාවලියේ ලීඩ්ස් හි දී පැවති තෙවැනි තරගයේ දී බ්‍රැඩ්මන් පන්දු 448ක දී රැස් කරන ලද ලකුණු 334 ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිමට බවට පත් විය. තරගාවලිය අවසන් වන විට තරගයක ලකුණු ලබා සාමාන්‍ය 139.14ක් ලෙසින් රඳවා තබා ගැනීමට ද ඔහු සමත් විය.

වසර 65ක් පුරා පීඩා දෙන නවසීලන්ත ක්‍රිකට් වාර්තාව

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලියක වැඩිම ලකුණුලාභීන් 5 දෙනා අතරට මොවුන් දෙදෙනා තවමත් රැඳී සිටින අතර එය ඔවුන්ගේ ක්‍රිකට් දිවියේ සාරවත් බව වටහා ගැනීමට හොඳම නිදර්ශනයකි. පසුගිය වසරේ දී ආරම්භ වූ ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය නොවන්නට තවමත් මේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවෙන්නේ බ්‍රැඩ්මන් සහ වෝල්ටර් ය. 

තරගාවලියක වැඩිම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුව

වෝල්ටර්, සර් ඩොන් බ්‍රැඩ්මන්ට දෙක වූ හැටි…

Player & Series Mat Inns NO Runs HS Ave 100 50
Marnus Labuschagne (ඕස්ට්‍රේලියාව)

ICC ලෝක ටෙස්ට් ශූරතාවය 2019-2021

9 15 0 1249 215 83.26 4 7
ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව)

ICC ලෝක ටෙස්ට් ශූරතාවය 2019-2021

9 14 0 1028 211 73.42 3 5
සර් ඩොන් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව)

අළු බදුන කුසලානය, එංගලන්තයේ දී 1930

5 7 0 974 334 139.14 4 0
වෝල්ටර් හැමන්ඩ් (එංගලන්තය)

අළුබඳුන කුසලානය, ඕස්ට්‍රේලියාවේ දී 1928/29

5 9 1 905 251 113.12 4 0
ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව)

ICC ලෝක ටෙස්ට් ශූරතාවය 2019-2021

10 18 2 881 335* 55.06 3 1
Player & Series Mat Inns NO Runs HS Ave 100 50
සනත් ජයසූරිය 

ඉන්දියාව සමඟ මෙරට දී 1997

2 3 0 571 340 190.33 2 0
කුමාර සංගක්කාර 

පාකිස්තානය  සමඟ ඩුබායි හි දී 2011/12  

3 6 0 516 211 86.00 2 2
මහේල ජයවර්ධන

දකුණු අප්‍රිකාව  සමඟ මෙරට දී 2006

2 3 0 510 374 170.00 2 0
කුමාර සංගක්කාර 

බංග්ලාදේශය  සමඟ එරට දී 2013/14

2 3 0 499 319 166.33 2 1
අරවින්ද ද සිල්වා 

නවසීලන්තය  සමඟ එරට දී 1990/91

3 5 0 493 267 98.60 2 1

ඒ අනුව අළුබඳුන තරගමාලාවේ, තරගාවලියක වැඩිම ලකුණු ලබා සිටි වෝල්ටර්, බ්‍රැඩ්මන් ඉදිරියේ දෙවැනියා වෙද්දී සනත් ජයසූරිය තරග 2ක තරගාවලියක දී වෝල්ටර් පසු කරමින් ඉදිරියට පැමිණියේ ය. ඒ ශ්‍රී ලංකාවේ ද පළමුවැනියා වෙමිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<