Main Logo

Wednesday 3 June 2020

නඩුව ජාතිකවාදී කඳවුර හා සුමන්තිරන්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9




නඩුව ජාතිකවාදී කඳවුර හා සුමන්තිරන්



දැන් ඉතින් මොනව කරන්න ද? ඡන්දෙට ලැහැස්ති වෙන්න ඕන. සකලවිධ සිංහල විරෝධී විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී කඳවුරට ඡන්දෙ කරන්න වෙලා. ඔවුන් ඒකට අකමැති බව කවුරුත් දන්නවා. ඕන නම් හූල් වැඩේ ටිකක් පරක්කු කරන්න බොරු තර්ක ටිකක් ගේන්න පුළුවන්. ඒත් හුඟක් පරක්කු කරන්න බැහැ. මැතිවරණ කොමිසමට වැඩ ටිකක් වැඩි වෙනවා. අවශ්‍ය ම නම් මැතිවරණය දින දෙකක දි හරි තුනක දි හරි පවත්වන්නත් පුළුවන්. මැතිවරණ පනතෙ 24(3) වගන්තිය යටතෙ කොමිසමට ඒක කරන්න පුළුවන්. ඡන්ද පොළ සංඛ්‍යාව වැඩි කරන්න වෙයි. නිරෝධායන නීති රීති හින්ද දින කිහිපයක දි ඡන්දය පැවැත්වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට කොහොම වුණත් රටේ සෞඛ්‍යයට හොඳයි. 


මා මේ කල්පනා කෙරුවෙ අර නීතිය පිළිබඳ සේවාර්ජිත (සම්මානිත) මහාචාර්යවරියන් ජනාධිපති නීතිඥයන් (ජනාධිපති නීතිඥවරියන් හිඟ ද?) ගෙනාපු තර්කවලට මොකද වුණෙ කියල. උසාවියෙ එහෙම නැත්නම් නීතියෙ තර්ක කරන්නෙ ගණිතයෙ තර්ක කරන විධියට නො වෙයි. ඒ ඒ ක්‍ෂෙත්‍රවල තර්ක කරන විධි තියෙනවා. තර්කය කිවුවට හැම ක්‍ෂෙත්‍රයක ම එක වගේ නොවෙයි තර්ක කරන්නෙ. මට තේරෙන විධියට ගණිතමය න්‍යායෙහි (Mathematical Logic) තමයි ඉහළ ම විදග්ධ තර්ක ගේන්නෙ. ඊළඟට ගණිතයෙ. ඉන් පසු ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවෙ. ගණිතයෙ තර්ක කරන විධියට නොවෙයි ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවෙ තර්ක කරන්නෙ. උසාවියෙ දි සාදෘශ්‍ය වැඩියෙන් භාවිතා වෙනවා. මේ ඔක්කොම ඇරිස්ටෝටල්ගෙ න්‍යාය මත පදනම් වෙච්ච ඒවා.

නඩු තීන්දුව ගැන මා සතුටු වන්නෙ දේශපාලන අර්ථයකින්. සිංහල විරෝධී කඳවුරට පල්ලම් බහින්න සිද්ධ වෙලා. ඔවුන් අතර සමගියක්වත් නැහැ. පක්‍ෂවලට සමගි කියල නම දාන කොට ම ඒකෙන් කියැවෙනවා සමගිය කොහෙ හරි කැඩිල කියලා. සකර්බර්ග් වමට ජ වි පෙරමුණට ඡන්දෙ දෙන්න කියල කියන්න පුළුවන්. ඒකෙන් ජ වි පෙ ඡන්ද ප්‍රමාණය 0.000000003% ක් වත් වැඩි වෙන්නෙ නැහැ. සකර්බර්ග් වම හිටියත් නැතත්  ජ වි පෙ ඡන්ද 3%ට අඩු වෙනවා. උගත් ගැමි තරුණ පරපුර දේශපාලනික ව ඉවරයි. අමරසේකර තේරුම් නොගත්තාට ඊනියා උගත් ගැමි තරුණ පරපුරත් ඉගෙන ගත්තෙ බටහිර සංකල්ප හා ප්‍රවාද. ඒකත් මතුපිටින්. 

  1. බොහෝ දෙනා තේරුම් නොගත්තාට සිංහල ජාතිකවාදී කඳවුර 2014 අග දි දුර්වල කෙරුණා. ඒ මෛත්‍රිපාල සිරිසේන ඒ කඳවුරෙන් කඩා ගැනීමෙන්. එයට වරදකරුවන් රාශියක් හිටියා. මෛත්‍රිපාල සිරිසේන කඳවුරෙන් පිට කෙළෙ උද්ධච්ඡයන් පිරිසක්. සිරිසේන ඒ කියල යන්න තිබුණෙ නැහැ. සිරිසේනගෙ ඒ ක්‍රියාව නිසා සිංහල ජාතිකවාදී කඳවුර ඔහුට වෛර කළා. දේශපාලනයෙ දි පෞද්ගලික වෛර පිරිමහ ගන්න බැහැ. අප සිිරිසේන විජාතික කඳවුරෙන් කඩා ගන්න උත්සාහ කළා. අපට ඕන කෙළෙ සිරිසේන ලවා මහින්ද අගමැති කරවන්න. ඒ සඳහා සිරිසේනට ශක්තිය ලබා දිය යුතු යැයි කී විට සිංහල ජාතිකවාදී කඳවුරේ ප්‍රකාශකයන් මට සිරිජාතිකවාදියා කියා නමක් පටබැන්දා. සිරිසේනට ශක්තිය දෙන්න මයිලෝ දෙන්න කියලත් ඒ ප්‍රබුද්ධයන් කිවුව. 

2018 ඔක්තෝබරයෙ මහින්ද අගමැති කෙරුණා. සිරිසේන විජාතික කඳවුරෙන් කැඩුණා. මහින්ද අගමැති කෙරුණෙ ඊනියා ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයකින් නො වෙයි. අද මා දැක්කා ශමින්දූ ෆර්ඩිනැන්ඩුත් එයට ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයක් කියල තියෙනවා. මහින්ද අගමැති හැටියට පත් කෙළෙ සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබිල තියෙන බලතල අනුව. එය සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථාවට එකඟයි. එහෙත් බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය කඩන්න අකමැති වෙච්ච අය නිසා මහින්ද අගමැති කමේ රඳවා ගන්න බැරි වුණා. පස්සෙ සිරිසේන ගොඩ පෙරකදෝරුවන්ගෙ බහට පාර්ලිමේන්තුව විසුරුවා හැරලා සියල්ල අවුල් කර ගත්තා. 

එහෙම වුණත් ප්‍රශ්න තිබුණත් සිංහල ජාතිකවාදී කඳවුර නැවතත් එක් වුණා. කොහොම හරි අද එක ලැයිස්තුවකින් ශ්‍රී ල නි පක්‍ෂයත් පොදු ජන පෙරමුණත් තරග කරනවා. සිංහල ජාතිකවාදී කඳවුර කිවුවට ඒකෙ ඉන්න සියළු දෙනා සිංහල ජාතිකවාදීන් නො වෙයි. බටහිර දැනුම කර පින්නාගත් ඊනියා උගතුන් බුද්ධිමතුන් වියතුන් ඒකෙ ඉන්නවා. එහෙත් අවසානයෙ දි දේශපාලනය තීරණය කරනු ලබන්නෙ ඔවුන් විසින් නො වෙයි. 

සිංහල ජාතිකවාදී කඳවුර එසේ එක් වෙද්දී සිංහල විරෝධී විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධීන් අද භේද වෙලා. අද රනිල් සජිත් පිල් දෙකක. සජිත් පිල් විදහාගත් මොණරකු සේ නටනවා. ජ වි පෙ ආධාර කරන්නෙ කාට ද? සජිත්ට ද රනිල්ට ද? ඔවුන්  කියාවි කාටවත් නැහැ. ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියල. ඒත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ සකර්බර්ග් වම්මුන් ආදීන් හැරුණු කොට ජනතාව නම් ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටීමයි. 

එතකොට මදියපරාණම් ඒබ්‍රහම් සුමන්තිරන්. ඔහුට අද දේශපාලනික ප්‍රශ්නයක් තියෙනවා. ඔහු තමයි ප්‍රායෝගික ව ගත්තොත් පාර්ලිමේන්තු ඡන්දය තියන්න එපා කියල උසාවි ගිය අයගෙන් ප්‍රධානියා. ඔහුගෙ තර්කය පස්සෙ විග්‍රහ කරමු. එහෙත් ඔහුට අද යාපන දිස්ත්‍රික්කයේත් ඡන්දය දිනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඔහු පැහැදිලි ව ම සිංහල බෞද්ධ විරෝධී දෙමළ මෙතෝදිස්ත දේශපාලනඥයෙක්. එහෙත් ඔහුට මෑතක සිට කොටි සංවිධානයේ ප්‍රචණ්ඩත්වය පේන්න පටන් අරන්. සම්බන්ධන් ඔහුට විරුද්ධ නූණට අනෙක් බොහෝ දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන් ඔහුට විරුද්ධයි. ඇතැම් සිංහල ජාතිකවදීන් ගණඳුරු මැදියම අරුණළු දකිමින් ජ වි පෙ අපේ කොල්ලන් ලෙස දුටුවා මෙන් සුමන්තිරන්ලාද කොටි දුටුවේ අපේ කොල්ලන් ලෙසයි. එහෙත් ඒ සියළු කොල්ලන්ගේ කාලය ඉවර වෙලා. සුමන්තිරන්ට ඒක තේරෙනවා. සම්බන්ධන්ටත් තේරෙනවා ඇති. 

සුමන්තිරන් සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔහු උසාවි ගියේ සිංහල ජාතිකත්වයට විරුද්ධ ව. ඒ අතර ඔහුට පෞද්ගලිකවත් ඡන්දය කල් දමා ගැනීමේ වුවමනාව තියෙනවා. අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැති සුමන්තිරන් සම්බන්ධන් වැනි අය  පොදුජන පෙරමුණට කිට්ටු කරන්න ඉඩ තියෙනවා. පසුගිය දා මහින්ද කැඳවපු හිටපු මන්ත්‍රී සාකච්ඡාවටත් ඔවුන් සහභාගි වුණෙ අත ලෙව කන්න නො වෙයි. නඩුවෙනුත් පැරදුණු සුමන්තිරන්ගෙන් පොදුජන පෙරමුණ පරෙස්සම් වෙන්න ඕන.