කුසල් මෙන්ඩිස් අලුත් ජර්සි නම්බරේ රහස හෙළි කරයි

742

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතර තිබුණ Instagram සුහද චැට් එකක දී, කරුණාරත්න අහපු ප්‍රශ්නයකට උත්තර දෙමින් මෙන්ඩිස් තමන්ගේ ජර්සි නම්බරේ තෝරාගත්ත කාරණාව හෙළි කළා.

එංගලන්ත කොදෙව් ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි!

25 හැවිරිදි තරුණයෙක් වන කුසල් මෙන්ඩිස් 2015 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වුනා. ඉන් වසරකට පසු ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල ද නිත්‍ය සාමාජිකයෙක් බවට මෙන්ඩිස් පත්වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතයට විශාල සවියක් වන ක්‍රීඩකයෙක් බවට පෙරනිමිති පහල කරමින්.

ඔහුගේ දස්කම් ගැන පවා බොහෝ දෙනෙක් පැහැදීමට ලක්වුන අතර ඔහු මේ වන විට වසර 5කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අත්දැකීම් රැසක් ලබාගෙන තිබෙනවා. 

“එක පාරටම ජර්සි නම්බර් එක මාරු කළේ ඇයි කියලා ගොඩක් දෙනෙක් අහනවා, මොකක්ද ඒකට ඇත්තම හේතුව?” යැයි දිමුත්, මෙන්ඩිස් වෙත ප්‍රශ්නය යොමු කළා.

“මගේ කලින් ජර්සි නම්බර් එක අංක 2, මම ඇත්තටම මගේ ජර්සි නම්බර් එක මාරු කරන්න හිටියේ, මාරු කරලා 22 ගන්න හිටියේ. හැබැයි මාලිංග අයිය කිව්වා 13 ජර්සි නම්බර් එක ගන්න එක නපුරුයි සහ අවාසනාවන්ත නිසා කවුරුත් ගන්නේ නෑ ඔයා කොහොමත් අසාර්ථකයි නේ මේ දවස් ටිකේ, ඔය 13 තියෙන ජර්සි නම්බර් එක අරගෙන ඔයා ඊළඟ මැච් එකේ 100 ගහනවා ගහලා මට call එකක් දෙන්න කියලා මාලි අයියා මට කිව්වා. පස්සේ මම කොදෙව්වන්ට එරෙහිව හම්බන්තොට දී තිබ්බ තරගයේ දී ශතකයක් වාර්තා කරලා තරගය ඉවර වුනු ගමන් මාලි අයියට call එකක් දුන්නා” යැයි මෙන්ඩිස් සිනහමුසු මුහුණින් අදහස් දැක්වුවා.

Video – ශ්‍රී ලංකා වේගපන්දුවේ අනාගතය ගැන සුරංග සහ ඉසුරු කියපු දේ| උදාන-ලක්මාල් Cricket Chat

කුසල් මෙන්ඩිස් මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 44ක්, එක්දින තරග 76ක් සහ විස්සයි විස්ස තරග 26ක් ක්‍රීඩා කරමින් වාර්තා කරගෙන තියෙන මුළු ලකුණු ගණන 5647ක්. ටෙස්ට් තරග රටාව තුල ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ලකුණු 36.97ක් වැනි මට්ටමක තිබෙන අතර ටෙස්ට් ශතක 7ක් සහ එක්දින ශතක 2ක් සඳහා හිමිකම් කියන මෙන්ඩිස් ටෙස්ට් අර්ධ ශතක 11කට සහ එක්දින අර්ධ ශතක 17කට හිමිකම් කියනවා. 

“කලින් එක දිගට තරග ගහල ගහල, දැන් එක පාරටම ලොකු නිදහසක් හම්බුනා. හැබැයි ගෙදරට වෙලා ඉන්නවට වඩා තරගවලට සෙල්ලම් කරන එක ගොඩක් හොඳයි කියලත් දැන් හිතෙනවා. මම මගේ fitness පැත්ත දිගටම හොඳට කරගෙන යනවා. ලැබෙන හැම තරගයකම හොඳට දස්කම් දක්වන එක තමයි plan එක. කොහොමත් මම ඉස්සර සෙල්ලම් කරද්දී ඉදිරි තරගාවලි ගැන හිතුවේ. හැබැයි එහෙම හිතන කොට මට එන පීඩනය වැඩියි. දැන් මම එහෙම හිතන්නේ නැතිව, දැනට ක්‍රීඩා කරන තරගයයි. ඉදිරි තරගයයි ගැන විතරක් හිතල ක්‍රීඩා කරන එක මම දියුණු කරගන්නන සැලසුම් කරලා තියන්නේ” යැයි මෙන්ඩිස් සාකච්ඡාව අතරතුර ප්‍රකාශ කළා.

ඒ chat එකේ සම්පූර්ණ වීඩියෝ එක මෙතැනින් බලන්න

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<