එංගලන්ත කොදෙව් ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි!

155
West Indies tour of England 2020

කොරෝනා වසංගත තත්වය නිසා ඉතාමත් අවිනිශ්චිත තත්වයක පැවතුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ නිල තරග කාලසටහන එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් අද (2) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා.

>> එංගලන්ත පුහුණු සංචිතයෙන් ප්‍රබලයින් හැලෙයි

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන අන්දමට ජූලි 8, ජූලි 16 හා ජූලි 24 තරග තුනකින් යුත් මේ ටෙස්ට් තරගාවලියේ තරග ආරම්භ කිරීමට නියමිතයි. තරග පැවැත්වෙන්නේ Ageas Bowl හා ලැන්කෂයර් ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් ක්‍රීඩාංගණවලයි. එයට විශේෂ හේතුවක් වී ඇත්තේ එම ක්‍රීඩාංගණ අසල ක්‍රීඩකයින් නවාතැන් ගන්නා හෝටල් පිහිටා තිබීමයි. එම තරග තුන සඳහා ක්‍රීඩා කරන සංචිතය ඉදිරියේ දී නම් කිරීමට බලාපොරොත්තු වන බව ද එංගලන්ත ක්‍රිකට් පාලනාධිකාරිය පවසා සිටියි.

දැනගන්නට ලැබෙන විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලිය ආරම්භයට මසකට පමණ පෙර එනම් ජුනි මස 9 වැනිදා එංගලන්තයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නේ දින 14ක නිරෝධායන කාලයට සහ ඔවුන්ගේ පුහුණු වීම් වලට කාලය ද වෙන්කරවා ගැනීමේ අරමුණ ඇතිවයි. 

මෙම ටෙස්ට් තරග තුන මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ද ඕවල්, එග්බස්ටන් සහ ලෝර්ඩ්ස් යන ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී වුවත් කොරෝනා වසංගතයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවන ලද නව නීති රීතිවලට අනුව එම ක්‍රිකට් ක්‍රීඩාංගණවල තරග පැවැත්වීම එතරම් සුදුසු නොවීය. 

කෙසේ නමුත් පිටස්තර ප්‍රේක්ෂකයින් සඳහා තරග නැරඹීමට අවස්ථාව නොලැබෙන අතර තරග නැරඹීම සඳහා ටිකට් පත් ලබා ගත් සියලුම ප්‍රේක්ෂකයින් සඳහා ටිකට් පතේ සම්පූර්ණ මුදල නැවත ගෙවීමට ද එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 

>> Video – දිමුත් සහ කුසල් Instagram එකේ දාපු ආතල් chat එක

අයර්ලන්තය, ඕස්ට්‍රේලියා සහ පාකිස්තානය යන රටවල් සමඟ ඉදිරියේ දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි කිහිපයක්ම පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟින් තරග වැදීමට අපේක්ෂාවෙන් පසුවන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටියි. 

එසේම කොරෝනා වසංගත තත්වය නිසා කල් දැමුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා මුල් තැන දෙමින් ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ආරම්භය අගෝස්තු 1 වැනිදා දක්වා කල් දමා තිබේ. 

තරග කාලසටහන 

  • පළමු ටෙස්ට් තරගය – ජූලි 8-12 – Ageas Bowl පිටියේ දී 
  • දෙවන ටෙස්ට් තරගය – ජූලි 16-20 – ලැන්කෂයර් හිදී 
  • තෙවන ටෙස්ට් තරගය – ජූලි 24-28 – ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<