පරීක්ෂණ අසමත් වීම ගැන පාකිස්තාන ක්‍රීඩකයෝ කරුණු දක්වති

136
Pakistan athletes

තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වූ පාකිස්තාන මලල ක්‍රීඩකයන් ඒ පිළිබඳව වන තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීම, පාකිස්තාන මලල ක්‍රීඩා සංගමය හරහා “South Asian Games Doping Control Committee” වෙත යොමුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

>> SAG දිනූ පාකිස්තානුවන් තිදෙනෙකුට වැඩ වැරදී

නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 400m කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මෙහෙබූබ් අලී, 110m කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මොහොමඩ් නයීම් සහ 100m ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් සමී උල්ලාහ් යන ක්‍රීඩකයන් තහනම් උත්තේජක පරීක්ෂණය අසමත් වී ඇති බව පසුගිය දා නේපාල ඔලිම්පික් කමිටුව විසින් නිවේදනය කර තිබුණි.

එම වාර්තාවලට අනුව මෙහෙබූම් අලී සහ මොහොමඩ් නයීම් යන ක්‍රීඩකයන් දෙදෙනා මෙම පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් විසින් B සාම්පල පරීක්ෂාවක් සිදු කරන ලෙස ඉල්ලා ඇත.

සමී උල්ලාහ් විසින් දන්වා තිබුණේ, තමන් දැනුවත්ව කිසිදු තහනම් ද්‍රව්‍යයක් භාවිතා නොකළ බවත්, ඔහු විසින් පාදයේ ආබාධයක් සඳහා ඖෂධ ලබා ගත් බවත්, එමගින් ඔහු නොදැන යම් වරදක් සිදු වී ඇති නම් ඒ පිළිබඳව සමාව අයැද සිටින බවයි

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාකිස්තාන මලල ක්‍රීඩකයෙකු වන මොහොමඩ් තලීබ් ප්‍රකාශ කර සිටියේ, මෙය ඉතා බැරෑරුම් තත්වයක් වන බවත්, ඉදිරියේ දී මෙවැනි කටයුතුවලින් ආරක්ෂා වීමට සැලැස්මක් සකස් කළ යුතු බවයි.

“දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩකයන් පිටත් වීමට පෙර මෙම තහනම් උත්තේජක පරීක්ෂණ සිදු කළා නම් මෙවැනි තත්වයක් ඇති නොවෙන්න තිබුණා. මෙවැනි සිදුවීම්වල දී ක්‍රීඩකයන්ට තමන් නොදන්නවා කියලා කියන්න බැහැ, තමන් කරන දේ පිළිබඳව දැන සිටීම ක්‍රීඩකයන්ගේ වගකීමක්” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<