Saturday, May 30, 2020

දඬුබස්නාමානයේ ආරච්චිල දුෂ්ටයෙක්ද?

ඉස්සර කාලේ හදපු ගොඩක් කතා වල වීරයා සහ දුෂ්ටයා කියලා දෙන්නෙක් ඉන්නවා. ඒවායේ වීරයා හොඳම හොඳ වන අතර දුෂ්ටයා කැරීම චාටර්ය. නමුත් ඇත්ත ජීවිතේ කවදාවත් එසේ නොවන්නාක් මෙන්ම අද වෙනකොට නම් ගොඩක් කතා වල එහෙම කළු - සුදු චරිත හැදෙන එක නැවතිලා තියෙනවා , බොළඳ දෙමල හින්දි ෆිල්ම් සහ ලංකාවේ හැදෙන මෙගා නාට්ටි වල ඇරෙන්න. ඒවායේ නම් තාමත් තියෙන්නේ අර අමු කළු - සුදු බෙදීමම තමයි.

දඬුබස්නාමානය කතාවට ගියොත් මම ඒක මුලින්ම බැලුවේ පොඩි කාලේ , එතකොට මට හිතුනේ ආරච්චිල තමයි දුෂ්ටයා කියලා. ඒත් දැන් ආයේ එක ඒක බලනකොට මට හිතිච්ච දෙයක් තමයි මේ කතාවේ ආරච්චිල අතේ වැඩි වැරැද්දක් නැති බව.

කතාවේ මුල සිටම අපිට පේන්න තියෙනවා ආරච්චිල මහන්තත්ත කමෙන් පිරුණු පඩ වස්ති ඩයල් එකක් වුණාට ගොඩක් කෙලින් ගති ගුණ සහ සාධාරණ ගති තියෙන මිනිහෙක් බව.

උදාරහරනෙකට පලවෙනි එපිසෝඩ් එකේම මඩප්පුවා ඇවිත් රනා ගැන ගතු කියනකොට ආරච්චිල උගෙන් දැඩි ලෙස අහනවා "උඹේ පරණ කෝන්තර නිසා නේද මෙහෙම කේලම් කියන්නේ" කියලා. ඊට පස්සේ මඩප්පුවා රනාට ගුටි ඇනවන්න කියලා ආරච්චිලට කියනකොටත් ආරච්චිල ගොරවනවා "අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරන්න මේ සාස්තරේ පාවිච්චි කරන්නේ නෑ බොල" කියලා. එතනින් ගියාම රනාව අල්ලන් එන්න යනකොටත් ආරච්චිල දැඩි ලෙස මඩප්පු ඇන්ඩ් චලෝ දෙන්නටම අවවාද කරනවා රනාට අතක් වත් තැබීම හිරහැර කිරීම තහනම් කියලා. ඒත් මේ එකක්වත් කනකට නොගන්න මඩප්පුවාගේ කඩප්පුලි ගති නිසා තමයි දේවල් ටික ටික නරක අතට යන්න පටන් ගන්නේ.

එහෙම බැලුවම ඇත්තටම මෙතන චාටර්ම ඩයල් එක ආරච්චිල නෙමෙයි හීන් නූලෙන් තමන්ගේ කොන්තරේ පිරිමහගන්න හදන මඩප්පුවා.

ආරච්චිල සාලියරතනයව සහ ඊට පස්සේ ගුරුන්නාන්සේව මරණ අවස්ථා දෙකම මට නම් සාධාරණයි. මොකෝ සාලියරතනගේ පියා සහ ආරච්චිල පොඩි කාලේ සටන් ඉගෙන ගන්නකොට පැහැදිලිවම උන්ට කියලා දෙනවා පිට උන්ට සාස්තරේ කියලා නොදෙන ලෙසත් එසේ කලොත් දඬුවම මරණය බවත්. ඒ නීතිය ගොන්ද නැද්ද කියන එක වෙනම කාතාවක්. ඒත් ආරච්චිල නෙමෙයි නේ නීතිය හැදුවේ , ඌ කලේ උට කියලා දුන්න නීතිය ආරක්ෂා කිරීම පමණයි. එහෙම බැලුවම එච්චර කියල කියලත් නීතිය කඩකරපු සාලියරතනයා තමයි පොල් බූරුවා , ඕකව මරන්න තමයි ඕනේ !

තව මම දැකක්ක දෙයක් තමයි මේ කතාවේ හැම චරිතෙම මොකක් හරි සෙවල ගතියක් තියෙනව. ගුරුන්නාන්සේ තමන්ගේ ශිෂ්‍යාවට ශ්ලෝක කිය කිය පැණි හලනවා , රනාත් කුසුමාවතී ඇන්ඩ් පාලි දෙන්නවම රන් කරනවා , සාලියරතනයා බඩු කාපර් කෙනෙක්. පොලිස්කාරයෝ , ගුරු ඉන්ස්පැක්ටර්ලා පින් අරක්කු බිබී පිස්සු කෙලිනවා. හැබැයි සාමාන්‍යයෙන් ගොඩක් කතා වල අපි අහල තියෙන ආරච්චිලා තමයි සාමාන්‍යයෙන් මේ වගේ වැඩ කරන්නේ. ඒ කියන්නේ ගම පුරා බඩු වලට ඇන ඇන යන්නේ , රා බිබී මස් කකා මල පෙරේතයෝ වගේ ඉන්නේ. හැබැයි අපේ ආරච්චි මස්සිනාගේ නම් ඒ වගේ දුර්ගුණ මුකුත් අපිට කතාවේ පේන්න නෑ.

ආරච්චිල මේ කතාවේ කරපු කැරි වැඩ දෙකයි තියෙන්නේ මට නම්

එකක් රනාගේ ගේ ගිනි තියපු එක , අනික ගුරුන්නාන්සේ මරන්න කට්ටිය යවපු එක. ඒක මහ පොන්න වැඩක්.

ඒ ඇරෙන්න රනාගේ මවගේ මළගෙදර දවසේ වගේ මූණටම අභියෝග කරලා ප්‍රශ්නේ බේරාගන්න එක ආරච්චිගේ හොඳ ගතියක්. තව මම ආස දෙයක් තමයි ආරච්චි අම්මගේ මල ගෙදර ඉවර වෙනකන් රනාට පාඩුවේ ඉන්න ඉඩ දීම. ආයේ රනා ගෙදරටම ඇවිත් උද්දච්චකමට ගේම ඉල්ලුවම ආරච්චිල කියනවා "ඕනේ වෙලාවක වරෙන් දැන් වුණත් ලැස්තියි බොලව්" කියල.

මේ කරුණු කාරනා බැලුවම මට හිතෙන්නේ ආරච්චිල කියන්නේ රිස්පෙක්ටබල් මිනිහෙක්. ඒත් දේවල් දිග ඇරිච්ච විදියට උට සමහර දේවල් කරන්න වුණා. දඬුබස්නාමානය සිරා වෙන්නත් ඒක තව හේතුවක්. කතාවේ චරිත වලටත් මාන ගොඩක් තියෙන එක 😊

සටහන අවසාන කරමින් කියන්න තියෙන්නේ teleview නිල youtube චැනලයේ මේ දවස් වල වෙද හාමිනේ ,දඬුබස්නාමානය , අකාල සන්ධ්‍යා වගේ ජයන්තගේ පරණ නාට්ටි සෙට් එකම දාලා තියෙනවා. අහක් කරන්න කලින් ගිහිං බලන්න.


2 comments: