Thursday, May 14, 2020

Vespa 400 - ඉතිහාසයේ ප්ලාස්ටික් අකුරින් වත් නොලියැවුණු ඒ පුංචි පැංචා

www.motor1.com

ඔබට ඉස්සරලාම ඇහෙන්නේ, සුරුට්ටු උරන සියාතු සීයාගේ කට වගේ පොහ් පොහ් ගාන සයිලන්සරයක් තියන 80 දශකයේ ත්‍රීවීලර් එකක්, කොහේ හරි ස්ටාර්ට් එකේ තියාගෙන ලොටනවා වගේ හඬක්. සමහර විට ඩ්‍රයිවර්ට කෝල් එකක් ඇවිත් අයිනකට කරලා නවත්තලා කෝල් එක ගන්නවා ඇති, ඔබ එහෙම හිතාවි. ඒත් එක්කම ඔබට හිතෙන්න ගන්නවා, නෑ මේක ත්‍රීවීලර් එකක් වෙන්න බැහැ, මොකද මේකේ සද්දේ ඊට වඩා පොඩි අමරදේවීය ගැඹුරක් තියනවා කියලා. 

මම මේ කියන්නේ වීඩියෝ එකක් ගැන. අවදානම් දිස්ත්‍රික්කයක හෝ සෙසු දිස්ත්‍රික්කයක, ඔබ මෙතෙක් හිටියාද කියලවත් නොදන්නා පවුලේ සාමාජිකයන් අතර හිරවෙලා ඉන්න කාලයක, මොහොතක ගැලවීමක් පතා ෆෝන් එක කියන කන්දේ ඉඳන් අන්තර්ජාලය කියන පල්ලමට පැන්න වෙලාවක ඔබේ ඉල ඇට චටබට ගා කඩා දමන ගල් කුළක් වගේ වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ඔබ අහන්නේ ඇස් වහගෙන කියල හිතන්න. සමහර විට ඔබට නිදිමත ඇති. නැත්නම් ඔබට පික්ෂු ඇති. මොක වුණත්, ඔබ මේක අහන්නේ ඇස් පියාගෙන.

"යකෝ කාර් එකක් වත්ද? ෂුවර් එකටම පරණ මොඩ්ල් එකක මයිනර් එකක් වෙන්නැති. නැත්තං ෂුවර් එකටම ඔස්ටින් A30 එකක්."

ඔබට එහෙම හිතේවි. තවදුරටත් කුතුහලයෙ කිමිදෙනවට වඩා, මෙච්චර වෙලා ඔබ ඔබේ නිදිමත හෝ පික්ෂුව නිසා ඇස් වහගෙන සද්දේ විතරක් අහපු වීඩියෝව දිහා, ඇස් ඇරලා බලන එක හොඳයි. මොකද හරියටම ඒ මොහොතේදී වීඩියෝව මෙහෙයවන කෙනා, එන්ජින් ලිඩ් එකක් ඇරලා අපට එන්ජිම පෙන්නවා. එන්ජිම තියෙන්නේ වාහනේ ඉස්සරහ නෙමෙයි, පිටිපස්සේ. 

ඒක එන්ජිමක් නෙමෙයි, පුංචි හදවතක්! 

සමහර විට වෛද්‍ය විද්‍යාලවල ඉඳන් සත්තුන්ගේ හදවත් පහුරු ගගා මිනිස්න ආත්මය කියන ව්‍යාධියට බේතක් හොයන වෛද්‍ය පැංචලාට මේ වගේ අත්දැකීම් ලැබෙනවා ඇති. එහෙම නැත්තං, කවදාහරි පිටසක්වළ යානයක් ලංකාවට කඩා වැටුණු දවසක ඒ යානයේ ඇතුළේ ඉඳලා එළියට ගන්න, පණ තියන ජීවියෙක් වෙනුවට ඉන්න ඒජන්ත රොබෝවෙකුගේ පපුවේ තහඩු කැබැල්ල ගලවලා බලද්දී ඇතුළේ මිකැනිකල් හදවත ගැහෙන විදිහ ගැන හිතමින් ඉන්න ප්‍රබන්ධකරුවෙකුගේ ඔළුවේ මේ වගේ දේවල් මැවෙනවා ඇති. 

owlshead.org

ඊට පස්සේ, වීඩියෝව හසුරුවන කෙනා එන්ජින් ලිඩ් එක වහලා අපට වාහනේ ටිකක් හොඳට පෙන්නනවා. ඇත්තටම ඒක චූටි ගෙඹි පැටියෙක් වගේ වාහනයක්. ඇත්තටම පාර දිගේ තඩි ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් ගියොත් ඒ කාර් එක කටින් උස්සලා දෙපැත්ත ගහයි කියලා හිතෙනවා. ඒත් ඒ ගෙම්බාත්මක බව ලස්සනයි. අහිංසකයි. අතීතකාමය අවුස්සනසුලුයි. 

classiccarsbay.com

ඊට පස්සේ අපේ වීඩියෝකරුවා වාහනයට නැගලා ඒක පදවන්න සූදානම් වෙනවා. ඔබට පැහැදිලියි ඒක කළුතර කොළඹ කසිකබල් ඒ.සී. බස් එකක ජම්පින් සීට් එකක ඉඳගත්තා වගේ අත්දැකීමක් බව. ඩෑෂ් බෝඩ් එක හරියට මහමෙව්නාව ඉස්මොල්ලේ ගිය තරුණ උපාසිකාවක් වගේ ඛේදනීය මට්ටමකට චාම්. ගියර් ලීවර් එක හරියට හූනෙකුට කන්න දෙන්න බත් ඇටයක් ගහලා බිත්තියට උස්සන ඉරට්ටක් වගේ. 

Flickr

ඒත් එක්කම වීඩියෝකරුවා වාහනේ පණ ගන්වලා ඉස්සරහට ගන්නවා. ඔබ පනහේ දශකයේ වාහන, විශේෂයෙන්ම ඔස්ටින් මොරිස් වාහන හදාපු එංගලන්තයේ BMC එකේ වාහන එළවලා තියන කෙනෙක් නම්, ඔබ එකපාරට අහෝමඥ්ඥං වී යනවා. 


"අම්මටසිරි. ඒ සද්දේ පුරුදුයි නේ. යකෝ මුන් මේක වෙස්පා කිව්වට තියල තියෙන්නේ BMC එන්ජිමක් වත්ද?"

නෑ. ඔබ වැරදියි. වැරදියි කියන්නේ, ඉස්සරලාම කොරෝනා ගැන අහලා, අපෝ ඕක චීනෙන් පිට යන එකක් නැහැ නේ කියලා හිතලා, 2020 අප්‍රේල් වල බක්මහ අකුණු අස්සේ නෑනා කැන්දගෙන එන්න හෝටලේ බුක් කරපු මස්සිනෙක් තරමට වැරදියි. 

මොකද මේකේ තියෙන්නේ BMC එන්ජිමක් නෙමෙයි. මේකේ මොඩ්ල් නේම් එක Vespa 400. මේකේ එන්ජිම ඉතාලියේ Piaggio එක ඩිසයින් කරපු එකක්, හැබැයි කාර් එක හදලා තියෙන්නේ ප්‍රංශයේ. 

"ප්‍රංශයේ? එතකොට පර්ජෝ එක ඇෆ්ගනිස්ථානයේද?" කියලා ඔබ අසාවි (ඒක ගිහිං අහන්න උන්ගෙන්). 

Piaggio එක මේ කාර් එක සැලසුම් කළේ ප්‍රංශයේ ACMA (Ateliers de Construction de Motocycles et Automobiles) එක්ක එකතු වෙලා. ACMA එක 1957 ඉඳන් 1961 දක්වා මේ කාර් එක හැදුවා. කාර් එක ඉස්සරලාම එළිදැක්වුවේ 1957 අවුරුද්දේ පැරිස් මෝටර් ෂෝ එකේදී. ඊට කලින් ඒ අවුරුද්දේ සැප්තැම්බර් 26 වෙනිදා Monaco වලදී තඩි අඬබෙරයක් වගේ මාධ්‍ය හමුවක් තිබ්බා. ඒ මාධ්‍ය හමුවට ලෝකේ ඒ වෙද්දී ප්‍රසිද්ධ වෙලා හිටපු ධාවන ශූරයෝ තුන් දෙනෙකුත් සහභාගී වුණා.  

Pinterest


ඒ වෙනකොටත් Piaggio එකේ Vespa එක, දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ තමන්ගේම කියල අනන්‍යතාවක්, නිදහසක් සහ සංස්කෘතියක් හොයමින් හිටපු දහස් ගණනක තරුණ තරුණියන් පිරිසකගේ ආදරය දිනාගෙන තිබ්බේ. ඉතිං එහෙව් නමක් මුලට ඈඳීලා, කලාතුරකින් හෝ ස්කූටරේ පෙරළිලා හොම්බ සූරාගැනීමේ අවදානම අවම වෙන විදිහට තවත් රෝද දෙකකුත් එක්ක, කවදාහරි නිදහස ඉස්මොල්ලේ ගිහිං පෙළවහක් කරගෙන දෙක දෙගුණ කරගත්තට පස්සේ දෙයියනේ  කියල ගෙදරින් එළියට බැහැලා යන්න හදනකොට 'අනී මටත් ආච්චි බලන්න ඕනෑහෑහෑහෑ' කියල අඬන පොඩි එකෙක් දෙන්නෙක්ගේ කරදරෙන් ගැලවෙන්න උන්වත් සාඩින් කරලා පටෝගෙන යන්න පුළුවන් වෙන්න, ඉඩක් කිව්වට ඉඩක්ම නොවෙන ඉඩක් එක්ක දොරට වැඩපු මේ වාහනේ දැක්කම සමස්ත ප්‍රංශුවන්ට සහ වෙනත් ශුවන්ට ශරීරයේ යම්කිසි ස්ථානයක සියුම් ආර්ද්‍රතාවක් දැනෙන්න ඇති. ඒ නිසාම නිෂ්පදකයොත් ලොකු බලාපොරොත්තු තියාගන්න ඇති. 

මුල් අවුරුද්දේ, ඒ බලාපොරොත්තු සිරා ඕයි කරමින් කාර් 12,000 කට වැඩි ගාණක් අලෙවි වුණා. 

allinvespa.blogspot.com/


ඒත් හැබැයි ඒ අවුරුද්දේ ප්‍රොෆිට් එකෙන් මික්ස් රයිස් එකක් ගන්න පරක්කුවට, මේ පුංචි ගෙඹි පැංචාට වැඩේ කෙළවෙන බව දැනෙන්න ගත්තා. කාර් එක හිච්චි වුණාට ඇඳිරිනීතියට පස්සේ පළවෙනි වතාවට බාර් පෝලිමකදී තමන්ගේ සිහිනය සැබෑ කරගත්තු අවංක බේබද්දෙක් වගේ තෙල් බොන්න ගත්ත නිසාත් (මේක නං පස්සේ කාබරේටර් එක පොඩ්ඩක් සීරුමාරු කළාම හරි ගියා ලු), විවිධ මාදිලි හඳුන්වලා දුන්නත් හොඳම මාදිලියටත් අසූවට එහා යන්න අමාරු වුණු නිසාත්, ටූ ස්ට්‍රෝක් එන්ජිමක් එක්ක ජීවත් වෙන එක පර්චස් පහේ ඉඩමක නරියෙක් හදනවා වගේ වැඩක් නිසාත්, ලෑල්ලට පාගනකොට මොරටුවේ ලොකුම ලී මඩුවේ ටොකන් ගහගෙන ඉන්නවා වගේ දැනෙන නිසාත් වැඩේ හිතපු මට්ටමට ගොඩදාගන්න පුළුවන් වුණේ නැහැ. අන්තිමට 1961 දී Vespa 400 එක සමුගැනීමේ තරගයක් නැතුවම සමුගත්තා. 

දුකක් වගේ හිතුණා නං, ඒ දුක වැනිෂ් කරන ජෝක් එකක් විදිහට හිතාගෙන, මේ මූලික විස්තර ටික කියවන්න. 

එන්ජිම: 394cc two stroke, 2 cylinder, air cooled 

ගියර් බොක්ස් එක: 3 speed manual 

බලය: 14bhp 

උපරිම torque එක:  27Nm 

උපරිම වේගය: පැ. කි. 80 ක් වගේ. එච්චරම හිතන්න එපා ඒ ගැන.

0 ඉඳන් උපරිම වේගයට යන්න යන කාලය: තත්පර 58 ක් දාලා දෙන්නම් ඔයාට නිසා. 

සේෆ්ටි: පිස්සුද ඕයි තමුසෙට?  

Vespa 400 කියන්නේ ඉතිහාසයේ රන් අකුරින් තියා ප්ලාස්ටික් අකුරින් වත් ලියවිච්චි කාර් එකක් නෙමෙයි. ඒත්, 'Vespa' කියන නමත් එක්ක අපේ තියන සදාකාලික 'දූදරුවෝ යශෝධා/තණමල්විල යශෝධා' මෙව්වා එක නිසා, කවදාහරි පිටරටකදී හරි අවස්ථාවක් ආවොත් එයින් එකක් ගෙනත් වත්තේ දාලා, වෙනම මඩු කෑල්ලකුත් ගහලා, අහන උන්ට 'දෙන්නේ නෑ හදන්න ඉන්නේ' කිය කියා, උන්ගේ හිත්වලින් නැගෙන කුණුහරුප වල උණුසුම විඳ විඳ ඉන්න වුණත් හිතෙන්න ඉඩ තියනවා. 


- තරිඳු ශ්‍රී ලොකුගමගේ 

පොත් එකතුව - Soi 11 ප්‍රකාශන
www.facebook.com/Soi11byTharinduSri



13 comments:

  1. මේවා වැටෙන්නේ Micro cars කොටසට නේද? යුද්ධයෙන් පසුව මේවා ජනප්‍රිය වෙලා තියෙන්නේ. BMW ISETTA, GOGOMOBILE , RELIANCE වගේ නම් කීපයක් මතකයි. මගේ ලොක්කා කියපු හැටියට BMW ISETTA එකේ රිවස් ගියර් එකක් නෑ. ඔබ මේකෙ ආරක්ෂාව කොහොමද කියලා තියෙනවා දැක්කම මතක් වුනේ දේ කියන්නම්. FIAT 500 අළුත් එක මෝටර් ෂෝ එකේ ඩිස්ප්ලේ කරල තිබුනේ පරන එකක් එක්ක . කාර් දොකේ විස්තර තියන බෝඩ් දෙකක් කාර් ඉස්සරහ තිබුණා. අළුත් එකේ සේෆ්ටි වලට එයා බෑග්,ඇන්ටි ලොක් බ්‍රේක් ඇතුළු සියලු විස්තර. පරණ එකේ තිබුනේ Bible in the glove box කියලා.

    ReplyDelete
  2. කාර් පිස්සුවාගේ තවත් සුන්දර පෝස්ටුවක්!

    ReplyDelete
  3. මේ වගේ පොඩි කාර් එකක් දැක්කා නුවර පාරේ කැලනි කැම්පස් එක හරියේ. ඩ්‍ර්‍යිවින් සීට් එක විතරයි වගේ තිබ්බේ මතක විදියට. හැබැයි ගොඩක් පරන එකක් නෙමේ.

    ReplyDelete
  4. මෝටර් බයිසිකලේකට අමතර රෝද දෙකකුයි වහලෙකුයි හයි කරලා, හැන්ඩ්ල් එකට රවුමක් හයි කරලා වගේ...

    ReplyDelete
  5. සෙන්නා කියලා තියනව වගේ මෙික...කාර් ඒකක් කියලා රවටිටලා දිපු බයික් එකක් නේ...

    ReplyDelete
  6. අගේ ඇති විස්තරයක්.

    බජාජ් කාරයො එක්ක එකතු උනානං උං කියාදෙයි තෙල් බින්දුවෙන් ඕකක් දිවන විදිය. ඕනනං තව පොඩ්ඩක් ටෑර් එක හීනි කරල ඔය ඇංජිමේ වැඩිපුර තියෙන කෑලි බෑලි ටිකක් අඩු කරල දාල.

    ReplyDelete
  7. මම ඉස්සෙල්ලා දැක්කේ නැගෙනහිර ජර්මන් ට්‍ර්බන්ඩ් එකක් වගේ

    ReplyDelete
  8. හැමදාමත් ආදරේයි උබගේ ලියවිල්ලට..
    කාර් පිස්සුවට
    උබට

    එල ද බ්‍රා

    ReplyDelete
  9. අනේ අම්මපා මට නං දැනුනෙ ධර්මසේන හාමුදුරුවන්ගෙ සද්දර්මරතනාවලිය කියෝනවා වගේ..... උපමා රෑපක ඒ තරම් නැවුම්....

    පර්චස් පහේ නරියෙක් හදනවා වගේ.....

    අර යසෝධගේ උපමාවත් මරු.....

    ReplyDelete
  10. අහලා තියෙන විදිහට සුබාරු 350 ත් මේ වගේම පොඩි කාර් එකක්. එන්ජිම 350cc two stroke , හතර දෙනෙකුට යන්න පුලුවන් .....

    ReplyDelete