එදා මෙදා තුර….

Share

ගීතය කියන්නෙ හරිම අපූරු නිර්මාණයක්, විටක එය සුන්දර නිර්මාණයක් වුව ද එහි ගැබ්ව තිබෙන කටුක බව ගීතයෙන්ම අපට අවබෝධ නොවන තරමටම එහි කලා කරුවන් සියුම්ව නිමවීම “එදා මෙදා තුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා” ගීතයෙන් මොනවට පැහැදිලි වේ.

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා විසින් සංගීතවත් කර ගායනා කරන මෙහි කියැවෙන්නේ, විමල් ජයශාන්තයන් තමාගේ ප්‍රේමය අහිමිවීම ඔහු තුලින් ලද අත්දැකීමෙන් ලද ගී පද රචනයි. කොළඹ මහ තැපැල් කාර්‍යාලයේ ස්ථානාධිපතිවරයෙක් වශයෙන් සේවය කරන කාලයේ තමා පෙම්වතිගේ පියාගෙන් ලැබුණු විදුලි පණිවිඩයක් නිසා ඔහු වහාම තම පෙම්වතිගේ නිවස කරා යයි. “වහාම පැමිණෙන්න” ලෙස සටහන්ව තිබූ එය නෙත ගැටුනු මොහොතේ ඔහුගේ සිතට දැනෙන්නේ ඔවුන් අතර වූ ප්‍රේම සම්බන්ධයට පෙම්වතියගේ ගෙදරින් කැමති බව ප්‍රකාශයට ඔහුට කතා කරන බවකි.

නිවසට ලඟා වෙත්ම නිවස ඉදිරිපිට තිබූ සුදු කොඩිය දුටුවනම ඔහුගේ හිත තුලට පැමිණෙන්නේ පෙම්වතිගේ පියා විසින් එවන ලද විදුලි පණිවිඩය  පෙම්වතිගේ මවගේ වියෝව පිලිබඳ දැනුවත් කිරීමට එවන ලද්දක් බවටයි. ඉක්මනින් ගෙදරට යන ඔහුට දක්නට ලැබෙනුයේ කිසිසේත් බලාපොරොත්තු නොවන  දෙයකි. තමා මෙතෙක් කලක් පෙම්කල පෙම්වතිගේ නිසල දේහය දැකීම ඔහු විස්තර කරන්නේ “දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා” යනුවෙනි.

එදා මෙදා තුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා යන්නෙන් පද බැඳුම අරඹන ඔහු තම පෙම්වතිය තාමත් සුදුමැලි වූ මුහුණින් තමා සමග සිනාසෙමින් මුව වසාගෙන සිටින අයුරු දකින්නෙ ඇයගේ වියෝව තවමත් පිලිගැනීමට සූදානම් නොවන නියාවෙනි. නමුත් ඒ සියල්ල අවසානයේ ඇගේ දෑත ඇල්ලීමට සැරසෙන ඔහුගේ හිත බිඳෙන අයුරු දකින්නෙ සොඳුරිය මට නොකියාම ගියා යන වචනයද පිටකරමිනි.

ගීතයේ දෙවන කොටසින් තමන්ගේ හැගීම ඉදිරිපත් කිරීමට රචකයා  ” දෑස් කවුලු පත් වලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්” යනුවෙන් හොඳ ආරම්භයක් ගනී. කවුරුත් ඔබ ඉදින් සුවඳ පැන් යොදා ඈත්ව සමුගෙන යන්නට සූදානම් වූවත් තමා තවම ඊට  සූදානම් නැතිබව පවසන්නේ සුවඳවත් රැගෙන යන්නට අවසාන වතාවට ඇයව සිපගනිමිනි.

ඉපදීමම මරණය මගින් දකින රචකයා ඔවුන් දෙදෙනා අතර තිබූ ආදරය ඔවුන් එකිනෙකා සමග ආලයෙන් බැඳි කාලය ගෙවී ගිය ඉක්මන හීයේ වේගය තරම් දකින්නේ ජිවිතයේ ඉතිරි කාලය තුල තමාගේ තනිකම විඳ දරාගැනීමට කිසිදු බලාපොරොත්තුවක් රහිත බැල්මකින් වුවද අවසානයේ ඔහු තම පැතුම ලෙස ”  ආයේ දවසක එක හිත් ඇත්නන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ” පද බඳිමින් ගීතය අවසන් කරයි.

මෙලෙස විමල් ජයශාන්තයන් තම ප්‍රථම සහ එකම පද බැඳුම අවසන් කළ ගීය සනත් නන්දසිරි මහතා ගුවන් විදුලි වැඩසටහනක ගායනයෙන් පසු එතුමාගේ  “ඇවිලුණු ගිනි දැල්” කැසට් පටයට එකතු කරන ලද අතරම 1975 සිට දශක හතරහමාරකට අධික කාලයක් ඔබ මා ඇතුළු මෙම ගීතය රස විඳි රසික හදවත් තුලට එම සිදුවීම ඉතා අපූර්වට කිඳා බස්වමින් තවමත් අප අතර පවතී.

 

Written by : Thenuka Vidanapathirana

Image courtesy : https://images.app.goo.gl/M8VcbN4uTFB2bySC6

 
Tagged : / /