කඩුපුල් වරුණ

Share

මම ලියාපු පුංචි කවියකින්ම කතාවට මුල පුරන්නම්කෝ…

පිනි  සිසිලේ පහසට සමවැද          කුළුඳුල්

කෙළෙස් නසා තුන් සිත  සනසා  නොඉඳුල්

පුදසුන සැදි සුවඳින් සුපිපුණු    දෙකොපුල්

වඩිනු මැනේ නෙතු කැන් විහිදා    කඩුපුල්

අප්පච්චි අප්පච්චි, අනේ විගහට එන්ටකෝ. අද රාත්තිරියේ කඩුපුල් මල් දෙක                           පිපෙන්ට වගෙයි ලෑස්තිය…’

‘කෝ බලමු. අනේ වාසනාවන්, මගෙ දෝනි දැන්ම ගොහින් අම්මාට කියන්ඩ                            මස් මාළු නැති හොදි වෑංජන සකස් කොරන්ඩැයි කියල. දෝනි ගෙහුන් මල්ලි                            එක්කල බුදු කුටිය ලෑස්ති කොරල තියන්ට. මං වල් ගලවලා මේ අවට සුද්ද                              පවිත්තර කොරලා එන්නම්.’

ඔය තියෙන්නෙ, ගැමි ගෙදරක පුංචි කලබගෑනියක්. ඒ සංවාදයෙන් පොඩි කොටසක් අපි අරගත්තෙ. ආං, දැන් තේරෙනවාද මොකක් හරි “ආශ්චර්යයක්” සිදු වෙලා තියෙන බව !!

‘කඩුපුල්’ නම කියන කොටත්, හදවතට දැනෙන්නෙ පුදුම සතුටක්, අමුතුම සැනසීමක්. අනිත් මල් ජාති වගේ නිතර ඇහැ ගැටෙන්නෙ නැති, තරමක් දුර්ලභ නිසාම ද මන්දා. ඒක හරි අමුතු හැඟීමක්.

නිහඬ, නිස්කලංක, සීතල රාත්‍රියේදී පිපිලා, හතර වටේම සුවඳවත් කරල, කාටත් හොරෙන් එළිය වැටෙන්න කලින් පරවෙන සුන්දර ‘කඩුපුල්’ සුරංගනාවිය, ඇත්තටම හරිම පුදුමයි.

දෙවිවරුන්, බුදුහාමුදුරුවන්ව බැහැ දකින්න, වඳින්න පුදන්න වැඩම කරන්නෙ මහ රෑ ජාමෙටනෙ, ඒ කියන්නෙ මිනිස්සු නිදා ගන්න වෙලාවට. කොටින්ම කිව්වොත්, ‘මිනිස් පුළුටක්’ නැති වෙලාවට.

‘මොනවද අම්මේ අකුරු ජාතියක්..’ සින්දුවෙත් කියවෙන්නෙ, මතක් කරල බලන්නකො ඩිංගක් !!

පව්කම්,වැරදි වලින් පිරුණු මිනිසාගෙ අපිරිසිදු අත් දෙකෙන් බුදු පුදයට යන්න තියෙන නොකැමැත්ත නිසාත්, දෙවිවරුන්ගේ පින්බර, පිරිසිදු දෑතින් බුදු පහස පතපු නිසාත් ලු ‘කඩුපුල්’ හැඩකාරි මේ විදියට නිදහසේ මහ රාත්‍රියේදි පිපෙන්නෙ.

උඩදි අපි දැකපු දෙබසෙදිත් වගේ, ‘කඩුපුල්’ මලක් පිපෙන කොට, ඒ ගෙදරත් එක්කම අමුතුවෙන් කලඑළි වෙනවා. ගෙදර හැමෝම සද්භාවයෙන්ම පේ වෙනවා,.මොකද, දෙවිවරුත් පූජා කරන මලක් තමන් වෙනුවෙන්, තමන්ගෙ ගෙවත්තෙ මේ පිපිලා තියෙන නිසා. බොහොම උනන්දුවෙන් කට්ටියම ඇහැරගෙන ඉඳලා, මැදියම් රාත්‍රියේදී ගෙදර බුදු කුටියට පූජා කරලා තමයි හිතේ සතුටින් නින්දට යන්නේ. කඩුපුල් මලක් බුදුන් වහන්සේට පූජා කිරීම බොහොම ආනිශාංස තියෙන පිංකමක් හැටියට නෙ, සිංහල බෞද්ධ ජන සම්මතයෙ සැලකෙන්නෙ.

ඒ කොහොම උනත්, කඩුපුල් මලට නෑදෑකම තියෙන්නෙ මිනිස් අපිටවත්, දෙවිවරුන්ටත් නෙමෙයිලු,

නාගයින්ට ලු.

අපි ඩිංගක් හොයාබලමු.

කොසොල් රජතුමාගෙ සමයෙ කියැවෙන කතාන්දරයක කඩුපුල් මලේ වාසභූමිය, නාගලෝකය බව සඳහන් වෙනවා.

ඒ කතාවෙන් අපිට වැදගත් කොටස මං කෙටියෙන් කියන්නම්කෝ.

දවසක් කොසොල් රජතුමා නගර සංචාරය කරන කොට ලස්සන ළඳක් නෙත ගැටෙනවා. රජතුමාගෙ රාගය හොඳටම ඇවිස්සිලා සංචාරය වේලපහින් ඉවර කරලා වහාම මාළිගාවට එනවා. ඒ ඇවිදින් විශ්වාසවන්ත රාජපුරුෂයෙකුට මේ විස්තරේ කියල ඒ ස්ත්‍රිය අරගෙන එන්න නියෝග කරනවා. විස්තර අනුව හොයාගෙන යන රාජපුරුෂයාට දකින්න ලැබෙන්නෙ, මේ කාන්තාව සස්වාමික, එහෙමත් නැතිනම් විවාහක කෙනෙක් බව. ඉතිං රජතුමාට මේ බව කීවත්, කොසොල් රජතුමා අදහස අත් අරින්නේ නෑ. රාගයෙන් මත් වෙලා, අලුත් උපායක් කල්පනා කරන කොසොල් රජතුමා පහුවදා ඉඳන් ඒ ස්වාමියාව රාජ සේවයට බඳවා ගන්නවා. පළමු දවසේදීම රාජකාරියක් පවරනවා,  ”හෝරාවක් ඇතුළත ‘කඩුපුල්’ මල් සමඟින් අරුණුවන් මැටි ගෙන ආ යුතුයි, නැතිනම් ‘මරණය’ උරුමයි” කියලා. මේ පුරුෂයා කලබල වෙලා,  ඉක්මනින්ම ගෙදර ගිහින් ආදර බිරිඳට විස්තරය කෙටියෙන් කියලා, බත් මුලක් සකස් කරගෙන ගමන බලා පිටත් වෙනවා.ඒ මගදි මුණගැහෙන අසරණ මනුස්සයෙකුත් එක්ක බත් මුල ලිහාගෙන කාල එයාට විස්තරේ කියනකොට, ඒ පුද්ගලයාගෙන් දැනගන්න ලැබෙනවා, ” ‘කඩුපුල්’ මල් සහ අරුණුවන් මැටි මිනිස් ලෝකෙ නැති බවත්, ඒ දේවල් නාග ලෝකයටම පමණක් ආවේණික වෙච්ච බවත්”. එතකොට තමයි පුද්ගලයාට තේරෙන්නෙ මේ තමන් මරවා බිරිඳව අයිති කර ගැනීමට ගත් රජතුමාගෙ උපායක් බව. වාවාගන්න බැරි දුකට පත් පුද්ගලයා, බත් මුලේ ඉතුරු කොටස ළඟ තියෙන වැවේ රැස්වෙච්ච මාළුන්ට දාල, වැව දිහාම බලාගෙන බොහොම දුකින් අඬන්න පටන් ගන්නව. ඕං ඔය වෙලාවෙ මේ අවනවුඩ දැකපු නාගයෙක්, බොහොම පින්වන්ත පුරුෂයෙකුට නිස්කාරණේ මෙහෙම විපතක් වෙනවා බලා ඉන්න බැරිව දිය යටින් මිනිස් වෙස් අරගෙන ඇවිත් ‘කඩුපුල්’ මල් සහ අරුණුවන් මැටි ලබා දුන්නාලු.

‘දුටුගැමුණු මහ රජතුමාගෙ මරණය’ ගැන කියවෙන කතාව දන්නවාද,  අපි අහල තියෙන්නේ මොකද්ද, දුටුගැමුණු රජතුමා ඉදිකෙරෙමින් පවතින මහාසෑය දිහා බලාගෙනම මියැදුණා කියලානෙ, ඒ වෙනකොට රජතුමා ගිලන් තත්වයේ බොහොම අසාධ්‍යව ලු උන්නෙ. හැබැයි හේතුවක්, රෝගයක් ගැන සඳහනක් කෙරිලා නෑ. මේ කියන හේතුවත් අපේ කතාවට සම්බන්ධ නිසා මං ඒකත් පොඩ්ඩක් මතක් කරන්නම්කො කෙටියෙන්, රුවන්වැලිසෑය ඉදිකරගෙන යන සමයේදී කාටත් හොරෙන්, නාග ලෝකෙ මහරජුගෙ දූ කුමරිය රාත්‍රියට මනු ලෝකෙට එනවාලු ‘කඩුපුල්’ මලුත් අත දරාගෙන, රුවන්වැලිසෑය වන්දනා කරගන්න. අහම්බෙන් රාජපුරුෂයෙක්ගෙ නෙත ගැටෙනවාලු මේ කුමරියව, රාජපුරුෂයා කියාපු විස්තර අහපු රජතුමාට තදින්ම ඕන වෙනවා කුමරියව විවාහ කරවාගන්න. ‘කඩුපුල්’ මල් අතැතිව පහුවදා කුමරිය පැමිණෙන වෙලාවෙ මග රැකලා, බලෙන්ම හිරකරගෙන සරණ පාවා ගන්නවාලු. ඔය පණිවිඩය ආරංචි වෙන නාග ලෝකෙ රජතුමා බොහොමත්ම කිපිල, මනුලෝකය බලා පිටත් කර එවන නාග සෙන්පතිතුමා දුටුගැමුණු රජතුමාගෙ නාඩි ශාස්ත්‍රය මනසින් පරීක්ෂාකරලා, දරුණු නැකතක් බලලා නාග වෙසින් දෂ්ඨනය කළාලු.

වීදාගම හාමුදුරුවන්ගේ බුදුගුණාලංකාරයේ මේ කවිය පොඩ්ඩක් බලන්න.

දෙවියෝ දිව මලින්-අසුරසෙන් සිත් පළොලින්

දිව නයි කඩුපුලින්-නිතින් පුද දෙති තිලෝ මුණිඳුන්

‘කඩුපුල්’ මලින් බුදුන් පුදන්නේ ‘නාගයෝ’ බව කියවෙනවා නේද ?

ශ්‍රී පාදස්ථානයේ ‘අවාර සමයේ’, උඩ මළුවේ මුරකරුවකු විදියට සේවය කරන, වඩුමානගේ ඩේවිඩ් මහතා කියන මේ කතාව පොඩ්ඩක් අහන්නකෝ.

“උඩමළුවේ මිනිස් පුළුටක්වත් නැතිව තියෙද්දී හඳුන් කූරු පත්තු කරපු සුවඳ එනවා. සාධුකාර දෙන හඬ, ගාථා කියන හඬ ඇසෙනවා.සමහර දවසට උදේ බැලුවම පද්මේ තියෙන තැන පහළ මළුවේ ‘කඩුපුල්’, දෝතළු වගේ දුර්ලභ මල් පූජා කරල තියෙනවා පෙනෙනවා. නමුත් ආපු කෙනෙක් ඇස් දෙකට දකින්න නැහැ”

මේ කියන්නේ අවාර කාලය, වෙසක් පෝයෙ ඉඳන්, උඳුවප් පෝය වෙන කල් කාලය. බැතිමතුන්, වන්දනාකරුවන් නොයන මේ කාලෙ කවුරුද යන්නෙ ඒ, ‘කඩුපුල්’ මලුත් අරගෙන.

ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩමකරවද්දි, නාගයින්ගේ ඉල්ලීම අනුව, සතියක කාලයක් නා ලොවට වැඩම කරල තියෙද්දි, නාගයින් ‘කඩුපුල්’ වැසි වස්සවලා, බෝධීන්වහන්සේට මහත් ගරු සැලකිලි  පුද පූජා කළ බවත් පරණ පොත පතේ සඳහන් වෙනවා.

‘කඩුපුල්’ මල් පිපෙන වෙලාවට, ඒ සුවඳට, ඒ ප්‍රාතිහාර්යයට ගෙවතු වල පවා ‘නයි ඇවිදින් ඒ අවට රැස්වෙනවා’ කියලා අදටත් විශ්වාස කෙරෙනවා.

තොටගමුවේ හාමුදුරුවන්ගේ සැළලිහිණි සංදේශයේ ‘කැලණි ගඟ’ වර්ණනාවෙ ළඳුන් සිරි ගැන්වුණු ආකාරය බලන්න.

ගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල

සලසා උකුළු වට රසදුල මිණි මෙවුල

සකසා දෙතන හර සඳුනෙන් කර සිහිල

දෙපසා ඉසින නිල් පැහැ නෙත දිගු පුළුල

කොණ්ඩය  සරසපු විදිය. දැක්කා නේද, ‘කඩුපුල්’  මල්.

රාත්‍රියේදී විතරක්ම එළි බහින, දවල් කාලෙ පුරාවට හැංගිලා ඉන්න නිසාම, මල් ලෝකයේ ‘රෑ මනමාලිය’ කියලා කියන්නෙත් ‘කඩුපුල්’ මලම තමයි.

අපි මේ සටහනෙන් කතා කළ බොහොමයක් කරුණු, ජනප්‍රවාදයේ එන ගැමි සුවඳත් එක්ක මුසු වෙච්ච හරිම ලස්සන නිදහස් සිතුවිලි.

මීට පස්සෙ ‘කඩුපුල්’ මලක් දකින කොට, ඔයා ඒ මලේ තියෙන ලස්සන ඉස්සරටත් වඩා දකීවි.ඉස්සරටත් වඩා ‘කඩුපුල්’ මලට ආදරය කරාවි.

අපිට මග ඇරිච්ච ‘කඩුපුල්’ මල සම්බන්ධව තවත් රසවත් කතා අනිවාරෙන්ම ඇති, ඒ දේවලුත් හොයල බලන්න කියලා බොහොම ආදරයෙන් සිහිපත් කරනවා.

 
Tagged : / /