බුදු පියා මගේ – භවේ අඳුර නැසු මිණිපහනයි

Share

මේ බු.ව. 2563. වෙසක් සඳ කිරණින් මුළු ධරණි තලයම නැහැවී ගොසිනි. කොරොනා බිය මුළු ලොවම වෙළා සිටින මෙම සමයේ සංසාර රෝ බිය දුරු කළ ,ලොව පහළ වූ උත්තරීතර වෛද්‍යවරයාණන් වූ බුදුරජාණන්වහන්සේ ගේ බුදු තෙමඟුල, ලෝකවාසී බොදු ජනතාව ප්‍රතිපත්ති පූජාවෙන් සමරති.

මනුලොව මනුසතුන් අතර පහළ වූ මිනිසුන් සමඟම ජීවත් වෙමින් දෙවියන්ගේත්, බඹුන්ගේත්
වන්දනාවට පාත්‍ර වූ ලොව ශ්‍රේෂ්ඨතම උතුමාණෝ බුදුරජාණන්වහන්සේ ය. අසීමිත ගුණ
සමුදායකින් හෙබි බුදුරජාණන්වහන්සේ වර්ණනා කිරීම කළ හැක්කේ තවත් බුදු කෙනෙකුන්
වහන්සේ කෙනෙක් හට පමණක් බව උන්වහන්සේ වරෙක දේශනා කළ සේක.

වරෙක ද්‍රෝණ නම් බමුණෙක් බුදුරජාණන්වහන්සේ දෙවියෙක් ද? ගාන්ධර්වයෙක් ද?
යක්ෂයෙක් ද? මනුෂ්‍යයෙක් ද? යැයි විමසීය.එවිට බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කරන ලද්දේ
තමන් වහන්සේ දෙවියෙක්, ගාන්ධර්වයෙක්, යක්ෂයෙක් හෝ මනුෂ්‍යයෙක් නොවන බවයි.
එසේනම් බුදුරජාණන්වහන්සේ යනු කවරෙක් ද? යැයි ද්‍රෝණ බමුණා නැගූ පැනයට පිළිතුරු
දෙමින් උන්වහන්සේ බුදුරදුන්ගේ පද්මාකාර ජීවිතය පිළිබඳ දේශනා කළ සේක.

පුණ්ඩරීකං යථා වග්ගු – තෝයේන නූපලිප්පති
නූපලිත්තොම්හි ලෝකේන – තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ

ජලයෙහිම ඉපිද , ජලයෙහිම වැඩී, ජලයෙන් ඉහළට මතු වී, ජලයේ නොගෑවී සිටින පද්මයක්
පරිද්දෙන් බුදුරජාණන්වහන්සේ ද පද්මාකාර ජීවිතයක් ගත කළ සේක. එනම්, මඩ සහ ජලය
සහිත විල බඳු කෙළෙස් සහිත ජන සමාජයේ ඉපිද, එබඳු ජන සමාජයක හැදී වැඩී, නමුත්
සියලුම කෙළෙසුන් නසා බුද්ධත්වයට පැමිණි බුදුරදුන් කෙළෙසුන් පිරි ජන සමාජය සමඟ බැඳීම් හෝ ගැටීම් ඇතිකර නොගත් සේක.

ශීලයෙන්, ගුණයෙන්, මහා ප්‍රඥාවෙන් අසමසම බුදුරජාණන්වහන්සේ උත්තරීතර ගුණ
සමුදායකින් යුක්ත වූ සේක. සිය ස්වාමිදුවගේ හිංසා පීඩා දරාගත නොහැකිව ගෙල වැළලාගෙන සිය දිවි නසාගන්නට උත්සාහ කළ රජ්ජුමාලා ද, මළමිනියකට බැඳ සොහොනක දමා ගොස් සිටි සෝපාක ද, සියළු ඥාතීන් අහිමිව සිහි විකල් වූ පටාචාරා ද, සිය පුතු මිය ගිය ශෝකයෙන් අසරණ වී සිටි කිසාගෝතමිය ද සසර දුක් ගිනි නිවා දමා සැනසීම ලැබුවේ බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව නමැති සිහිල් පැන් නිසාවෙනි.

අක්කෝස භාරද්වාජ බමුණාගේ බැණුම්, චිංචි මානවිකාවගේ නින්දා බස්, තාදී ගුණයෙන් යුතු
බුදු පියාණෝ මහා කරුණාවෙන් යුතුව ඉවසා වදාළහ.තම ගිහි කළ පුතු වූ රාහුල තෙරුන් හට සේම, තමන් වහන්සේට හිරිහැර කරමින් විටෙක ජීවිතක්ෂයට පත් කිරීමට උත්සාහ කළ
දෙව්දත් තෙරුන් කෙරෙහිද බුදුරජාණන්වහන්සේ එක සේ මෛත්‍රී සහගත වූ සේක. කුල භේද,
පන්ති භේද දැඩි ලෙස සලකන භාරතයේ පහත් යැයි සම්මත කුලවලට අයත් පුද්ගලයින් ඉතා දුක්ඛිත ජීවිත ගත කළහ. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යන චතුර්වර්ණයට අයත්
ඕනෑම පුද්ගලයෙකු හට පැවිදි දිවියට පත්වීමට බුදුහිමි අවකාශ ලබා දී තිබුණි. ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහීයන පංච මහා ගංගාවන්ගේ ජලය මහා සමුද්‍රයට පිවිසි කල්හි මුහුදු ජලය ලෙස හඳුන්වන්නා සේ ඕනෑම වර්ණයකට, තරාතිරමකට අයත් පුද්ගලයෙකු බුදු සසුනේ පැවිදි වූ පසු ශ්‍රමණ ශාක්‍යපුත්‍ර ලෙස හැඳින්වෙන බව උන්වහන්සේ දේශනා කළේ
සමානාත්මතා ගුණය ලොවට හෙළි කරමිනි.

කියන දේ කරන , කරන දේ කියන බුදුරදුන් යථාවාදී තථාකාරී ගුණයෙන් යුතු ශ්‍රේෂ්ඨ
නායකයෙකි. ආදර්ශවත් ගුරුවරයෙකි. ආගමික සහනශීලීත්වයෙන් යුතු උතුම්
ශාස්තෲවරයෙකි.

වෙසක් සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරුවෙද්දී අමා මෑණී තිලෝගුරු බුදුරජාණන්වහන්සේ වදාළ සදහම් මඟෙහි පියමං කරමින් භවේ අඳුර දුරුකිරීමට අපිත් උත්සාහ දරමු.

රෝ බිය දුරුවේවා – මෙත් සිත් පැතිරේවා
සම්බුදු ගුණ බලයෙන්- සියලු සත්වයෝ නිවී සැනසෙත්වා !!

 

Image courtesy : https://bit.ly/3baXcc2

 
Tagged : /