Main Logo

Thursday 30 April 2020

කොවිඩ් රෝගියා බටහිර වෙදකමේ හිරකරුවෙක් නො වේ

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් රෝගියා බටහිර වෙදකමේ හිරකරුවෙක් නොවේ

කොවිඩ් 19 ආසාදිතයන් සුව වී ගෙදර යන බව අසන්නට ලැබෙනවා. එය සතුටුදායක ප්‍රවෘත්තියක්. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ආසාදිතයන් සුව වන්නේ යම් ප්‍රතිකාරයක් ලැබීමෙන් පසුව ද? කොවිඩ් 19ට ප්‍රතිකාරයක් තියෙනවා ද? බටහිර වෙදකමේ ප්‍රතිකාර නැති බව කියන්නේ බටහිර වෙදමහත්වරුන්මයි. මා කලින් දවසක ඇහුවා කොවිඩ් රෝගියකු යනු කවුද කියා. අද අහනවා මේ රෝගීන් සුව වෙනවා කියන එකේ තේරුම මොකක් ද කියන එක. සුව වෙන්න කරන ප්‍රතිකාරය කුමක් ද? බටහිර වෙදකමේ ප්‍රතිකාරයක් නැත්නම් මේ සුව වීම යනු කුමක් ද?

මට තේරෙන විධියට කොවිඩ් 19 වෛරසය ඇඟට ඇතුල් වූ පමණින් රෝගියකු වන්නේ නැහැ. වැදගත් වන්නේ වෛරසය ඇතුල් වූ තැනැත්තාගේ ශරීරයේ වෛරසයට ඔරොත්තු දීමේ ශක්තිය. යමකු රෝගියකු වන්නේ වෛරසය අදාළ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ හැකියාවට උඩින් ගිය අවස්ථාවක. එයින් කියන්නේ නැහැ එසේ නොවූ තැනැත්තාට වාහකයකු වෙන්න බැහැ කියල. වෛරසය සම්බන්ධයෙන් කෙරෙන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ඖෂධ ලබා දීම. ඒ ඖෂධ ද නැත් ද යන්න හුදෙක් නිර්වචනයක ප්‍රශ්නයක් පමණයි. වෛරසය පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ හැකියාවට උඩින් ගිය අවස්ථාවකත් සිදු කෙරෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ කාර්යය වර්ධනය කිරීමයි. එහෙත් වෛරසය යම් අයුරකින් පෙනහැල්ල හෝ වෙනත් අයවයක් හෝ විකෘති තත්වයකට පත් කළහොත් එවිට අදාළ අවයවයට ප්‍රතිකාර කරන්න වෙනවා. යම්කිසි ආකාරයකින් සංකූලතා ඇති වුණොත් වෙනත් තවත් මතු වෙනවා. 

වෛරසයට ප්‍රතිකාර කරනවා කියන එක පැහැදිලි නැහැ. වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩිකීරීම මෙන් ම වෛරසය මගින් අවයවයක් හෝ වෙනත් ක්‍රියා දාමයක් හෝ ආබාධිත තත්වයකට පත් කර ඇත්නම් එයට ප්‍රතිකාර කිරීමත් ප්‍රතිකාර කිරීම් ලෙස හඳුනා ගැනෙනවා ඇති. පාරම්පරික වෙදකමේත් ඒ දකින්න පුළුවන්. එහි දී ආගන්තුක ක්‍ෂුද්‍ර වස්තුවක් ශරීරයට ඇතුල් වී වා පිත් සෙම් සමතුලනය නැති කිරීම ගැන කියැවෙනවා. සමතුලනය නැවත ඇති කිරීමට ප්‍රතිකාර කෙරෙනවා. එය ලෙඩාගෙන් ලෙඩාට වෙනස් වෙනවා. 

ඒ කුමක් වුවත් ප්‍රශ්නය රෝගියකුට, වෛරසය ඇතුල් වී එහෙත් රෝගී නොවූ පුද්ගලයකුට රෝගියකු යැයි සැක කරන පුද්ගලයකුට කිනම් හෝ ආකාරයක ප්‍රතිකාරයක් ලබා දෙන්නේ කෙසේ ද කවුද ආදියයි. අපි මේ සියල්ලන්ට හුදෙක් පහසුව සඳහා රෝගියකු යැයි කියමු. එය මේ ලිපිය සඳහා ප්‍රමාණවත්.  නිරෝධායනය කිරීමත් ප්‍රතිකාරයේ කොටසක් ලෙස සලකන්න ඕන. අද ඉහත සඳහන් ඕනෑම අවස්ථාවක සිටින අයකු සම්බන්ධයෙන් තීරණ ගන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා. අදාළ පුද්ගලයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න බැහැ. මෙය 1897 නිරෝධායන ආඥාපනත අනුව සිද්ධ වෙන දෙයක් දැයි මා දන්නේ නැහැ. 

යමකුට රෝගයක් වැළඳුනහොත් ඔහු කිනම් ප්‍රතිකාරයක් ලබා ගන්නේ දැයි තීරණය කරන්නේ ඔහු හා ඔහුගේ හිතවතුන්. බටහිර වෙදමහතකු ළඟට යනවා ද ආයුර්වේද වෙදමහතකු  පාරම්පරික වෙදමහතකු හෝමියෝපති වෙදමහතකු ආදී වශයෙන් වෙනත් වෙදමහතකු ළඟට යනවා ද කියා තීරණය කරන්නේ රෝගියා හා හිතවතුන්. එහෙත් කොවිඩ් 19 සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ වෙනත් දෙයක්. තීරණය ගන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා. අර පුද්ගලයාට තීරණයක් ගන්න බැරි වෙලා.

අර මානව අයිතිවාසිකම් නෝනලා හා මහත්තුරු ඒ පුද්ගලයාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඔවුන් බටහිර වෙදමහතකු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා කියන දෙය පිළිගන්නචා. ඔහු 1897 ඉංගිරිසින්ගේ ආඥාපනතක් අනුව වැඩ කරනවා වෙන්න ඇති. මා ඒ ආඥා පනත කියවා නැහැ. එහි බටහිර නොවන වෙදමහතුන් ගැන කියන්නේ කුමක් ද? බටහිර වෛද්‍ය සභාව එවැනි වෙදමහතුන්ට අයි ඩී එච් රෝහලේ හෝ නිරෝධායන ආයතනයක හෝ පස්පාගන්න දෙන්නේ නැහැ. දුම් (වාෂ්ප) හට්ටිය අල්ලන්න දෙන්නේ නැහැ. ඇතැම් විට හමුදා තමන් පාලනයකරන තැන්වල දුම් හට්ටියට තැනක් දෙනවා ඇති. එහෙත් වෙනත් අයකුට බටහිර වෛද්‍ය ආයතනයක දුම් හට්ටිය අල්ලන්න අවශ්‍ය වුණොත් කුමක් කරන්නේ ද? අපි මේ බටහිර වෙදකමේ ආධිපත්‍යයට ඉඩ දෙනවා ද? 

මෙය සෞඛ්‍ය ඒකාධිකාරයක්. රෝගියාට තමන් කැමති වෙදමහතකු කරා යෑමට අවස්ථාව ලබා නොදීමක්. අනුරුද්ධ පාදෙණිය වෙදමහතා දුම් හට්ටිය ගැන ප්‍රසිද්ධියේ මොනවා කිවුවත් වෛද්‍ය සභාවේ දී ඒ වෙනුවෙන් පෙනී සිටිනවා ද? චන්න ජයසුමන වෙදමහතා කියන්නේ මොකක් ද? 

බටහිර වෛද්‍යවරුන් තම රෝහල්වලට හා නිරෝධායන ආයතනවලට අනෙක් වෛද්‍යවරුන්ට එන්න දෙන්නෙ නැහැ. ඒ අනෙක් වෛද්‍යවරුන්ට කොවිඩ් 19 සම්බන්ධයෙන් තම ආයතන පවත්වාගෙන යන්න ඉඩ දෙන්නෙත් නැහැ. සෞඛ්‍ය ඇමතිණිය මේ තත්වය නැති කර රෝගීන්ට තමන් කැමති ප්‍රතිකාරයක් ගැනීමට ඇති අයිතිය තහවුරු කරන්න ඕන. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වූයේ ඉංගිරිසි කතාකරන බටහිර දැනුමේ වහලුන් වූ පිරිසකගේ ඡන්දයෙන් පමණක් නො වේ. අද රුපවාහිනී නාළිකා ඉදිරියට ටයිපටි පැළඳ එන ඇතැම් වියතුන් දේශීය වෙදකම ගැන නොකියා එයට තැනක් නොදී දේශීය කෘෂිකර්මයක් ගැන කතා කිරීම විහිළුවක්. විහිළු වැඩ සටහන් ප්‍රචාරය කරන්න කලින් ඒ එනමින් හඳුන්වනවා නම් හොඳයි. 

අද වෙනත් කොවිඩ් වෙදකම් ලබා ගැනීම සඳහා ආයතන ඇති කරන්න ඕන. කොවිඩ් 19 නිරෝධායන ආයතන රෝහල් ඇති කරන්න ඕන. බටහිර විද්‍යාවේ ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැහැ. බටහිර වෙදකමට කොවිඩ් සම්බන්ධයෙන් ඇති ප්‍රතිකාරයකුත් නැහැ. අනෙක් වෙදකම්වලට ඒවාට හිමි තැන ලබා දෙන්න ඕන. දිලිත් ජයවීර ධම්මික පෙරේරා ඩඩ්ලි සිරිසේන වැනි ධන කුවේරයන් තම හෝටල් හා වෙනත් ගොඩනැගිලි කොවිඩ් 19 වෙනුවෙන් ලබා දී තියෙනවා. ඒ හෝටල් හා ගොඩනැගිලි බටහිර නොවන වෙදකම් සඳහා නිරෝධායන ආයතන රෝහල් ලෙස යොදා ගන්න පුළුවන්. එවිට රෝගීන්ට තමන් කැමති වෙදකමක් ලබා ගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය වෙදකම කුමක් දැයි තීරණය කළ යුත්තේ රෝගියා මිස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් නො වෙයි.

මේ අනිල් ජාසිංහ වෙදමහතා සමග ඇති තරහකින් ලියන්නක් නො වෙයි. එතුමා දිවා රෑ නොබලා නිදි නොලබා කරන සේවය මා ඉහළින් ම අගයනවා. මා එතුමා කවුද කියා පෞද්ගලික ව දන්නේ නැහැ. මා ඔහුගේ රූපකාය දැක ඇත්තේ රූපවාහිනී තිරයේ. මගේ විරෝධය එතුමාට ඉංගිරිසින් විවිධ පනත් හා රෙගුලාසි මගින් දී ඇති අධිකාරී බලයටයි.