කොරෝනා අස්සේ පැතිරෙන දේශපාලන වයිරස්

4/24/2020 11:52:00 AM Prageeth Liyanaarachchi 0 Comments



ගෝලීය වසංගතයකට මොහොතකට පෙර.

වෛද්‍ය ලී වෙන්ලියැං මධ්‍යම චීනයේ හුබෙයි නම් පළාතෙහි අග නගරය ලෙස සැලකෙන වූහාන්හි මධ්‍යම රෝහලේ සේවය කළ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. 2019 වසරේ දෙසැම්බර් 30  වනදා සිය රෝහල්  රාජකාරි අතරතුර මියගිය රෝගියෙකුගේ වාර්තාවක් කියවිමට  වෛද්‍ය වෙන්ලියැං හට අවස්ථාව ලැබිණි.  මෙම වාර්තාව උග්‍ර ස්වශන සින්ඩ්‍රෝම රෝගය හෙවත් සාර්ස් කොරෝනා වෛරසය (සාර්ස් කොරෝනා වෛරසය යනු සාර්ස් රෝගය වශයෙන් ප්‍රචලිතව ඇති වෛරස් රෝගයේ වෛද්‍ය විද්‍යාත්මක නාමයකි) හේතුවෙන් මියගියායැයි සැලකුණු රෝගියෙකු සම්බන්ධ එකක් විය. වෛද්‍ය වෙන්ලියැං සේවය කළ මධ්‍යම වූහාන් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ අධ්‍යක්ෂවරයා විසින් සකස්කරන ලද මෙම වාර්තාවේ දැක්වුණු ආකාරයට අදාළ රෝගියා සිය මරණයට පෙර ඉන්ෆ්ලුවන්සා රෝගයට සමාන රෝග ලක්ෂණ දැක්වූ මුත් සාමාන්‍ය ප්‍රතිකාර කිසිවකට හෝ නිසි පරිදි ප්‍රතිචාර දක්වා නොතිබිණි. මෙම වාර්තාව සම්බන්ධයෙන් වෛද්‍ය කාර්යමණ්ඩලය අතර සංවාදයන් ඇති වෙමින් තිබූ අතරතුර වෛද්‍ය වෙන්ලියැං විසින් තම ජංගම දුරකථනයේ WeChat පණිවුඩ යෙදවුමෙහි පණිවුඩ සමූහයක් (Message group) භාවිත කර මේ පිළිබඳ සිය මිතුරු වෛද්‍යවරුන් පිරිසකට දැනුම්දී ඇත. එයින් නොබෝ වෙලාවකට පසුව තවත් එවැනිම පණිවුඩයක් සිය මිතුරන් වෙත යවන වෛද්‍යවරයා ඉහතකී රෝගියා මියගොස් ඇත්තේ සාර්ස් රෝගය නිසා බව තහවුරුව ඇති මුත් වෛරසය යම් නව උප ප්‍රභේදයකට අයත් එකක් බවට සැක පහළවී ඇතැයි කියා සිටියි. සිය පවුල්වල සාමාජිකයන්ට වඩාත් ප්‍රවේශම් වන්නැයි දැනුම් දෙන ලෙස ද වෛද්‍ය වෙන්ලියැං මේ පණිවිඩ හරහා සිය මිතුරු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි. මෙයින් සුලු මොහොතකට පසු වෛද්‍ය වෙන්ලියැං විසින් යවනු ලබන මෙම පණිවුඩ චීන සමාජ මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධ වේ.


2020 ජනවාරි මස 03 වැනි දා වූහාන්හි මහජන ආරක්ෂාව පිළිබඳ කාර්යංශයේ ඇති විශේෂ පොලිස් කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙස වෛද්‍ය වෙන්ලියැං හට කැඳවීමක් ලැබිණි. මෙම නියෝගය අනුව යමින් අදාළ පොලිස් කාර්යාලයේ පෙනී සිටි වෛද්‍යවරයා ඔහු සිය මිතුරු වෛද්‍යවරයන්ට යැවූ ඉහත සඳහන් කළ පණිවුඩ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පොලිස් ප්‍රශ්නකිරීම්වලට ලක්වේ. ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව අන්තර්ජාලය භාවිත කර වැරදි තොරතුරු ප්‍රචාරයකිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයාට අවවාද කෙරෙන අතර තමන් විසින් සිදුකළේ වරදක් බව පිළිගන්නා බවත් නැවත එවැනි වැරදි සිදු නොකරන බවත් සදහන් කෙරෙන පොරොන්දු පත්‍රයකට අත්සන්කිරීමට ද ඔහුට සිදුවේ. මෙම ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව නැවත රෝහල් රාජකාරී සඳහා වාර්තා කරන වෛද්‍ය වෙන්ලියැං ඉහත සඳහන් කළ රෝගයටම ගොදුරුවීමෙන් අනතුරුව පෙබරවාරි 07 වනදා මරණයට පත්වේ.

2019 දෙසැම්බර් මස 30 වන දා වෛද්‍ය වෙන්ලියැං විසින් මෙම නව වෛරස රෝගය පිළිබඳ මුල්වරට පුද්ගලයන් දැනුවත්කිරිම සහ ඔබ මේ සටහන කියවන මේ මොහොත අතර බරපතල සිදුවීම් ගණනාවක් සිදුව ඇත. එයින් පළමු සහ අතිශය වැදගත්ම සිදුවීම නම් චීන බලධාරීන් විසින් ලෝකය එතෙක් හදුනාගෙන නොතිබූ වෛරස රෝගයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එරට වෘත්තිකයෙකු සතුව තිබූ නිදහස අත්තනෝමතික ලෙස අහිමිකිරීම විය. එයින් අනතුරුව අදාළ රෝගය COVID 19 රෝගය වශයෙන් නම් ලැබීමත්, වෛරසය නිසා ලෝකය පුරා රටවල් 205 ක ආසාධිතයන් 1,138,598 ක් සහ මරණ 61,141 ක් වාර්තාවීම ද පිළිවෙලින් සිදුව ඇත.

වෛද්‍ය ලී වෙන්ලියැං අද සැලකෙනුයේ COVID 19 වසංගත තත්ත්වය පිළිබඳ මුල්වරට ලෝකයට හෙළිකිරීමට උත්සාහ දැරූ වෛද්‍යවරයෙකු වශයෙනි. මෙම වෛරසය වසංගත තත්ත්වයක් බවට පත්වීමට සැලකියයුතු තරම් කාලයකට පෙරම ඒ පිළිබඳව පුලුල් අවධානයක් යොමුකරවීමට වෛද්‍ය වෙනිලැන්ග් විසින් අසාර්ථක කරන ලද උත්සාහයක් දරන ලදි. අනෙක් අතට අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සහ මහජන ආරක්ෂාව පිණිස යැයි කියාගනිමින් එම නිදහස සිමාකිරීමේ අනිටු ප්‍රතිවිපාක සම්බන්ධයෙන් මෙන්ම ව්‍යසනකාරී අවස්ථාවක මහජන විවේචන මර්දනය සඳහා දේශපාලන අධිකාරීන් විසින් ගනු ලබන විවිධ ප්‍රවේශයන් නැවත විමසා බැලීමට අවස්ථාවක් ද වෛද්‍ය ලී වෙන්ලියැං විසින් සලසා දේ.



කොරෝනා වසංගතය, ආණ්ඩුව සහ විවේචන

කොරෝනා රෝගය පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දැක්විය යුතුයැයි මතයක් අද වනවිට සමාජගතව ඇත. මේ සම්බන්ධයෙන් කිසිදු හෝ සැකයක් නොමැත. ලෝක ඉතිහාසය පුරාම තමන් විසින් මුහුණ දුන් නොයෙක් ව්‍යසනයන් මිනිස් වර්ගයා විසින් ජයග්‍රහණය කරනු ලැබුවේ සිය සමාජ-දේශපාලන විෂමතා ඉවත දමා එකාවන්ව එවැනි ව්‍යසනයන්ට මුහුණ දීමෙනි. එහෙත් මේ අවස්ථාවේ රජයට සහයෝගය දියයුතුයැයි ඉල්ලා සිටීමෙන් පසු ඇතැමුන් විසින් ඉදිරියට ගෙන එන ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩසටහනට විවේචනයෙන් තොරව සහයෝගය දිය යුතුය යන මතය පිළිබඳ බරපතල සැකයක් ඇත.


පළමුව සඳහන් කළ යුත්තේ විවේචන යනු ද සහයෝගය දැක්වීමේ තවත් එක් ක්‍රමයක් වන බවය. ඔබ විශාල නැවක නැගි මුහුදේ සංචාරය කරද්දි නැවේ කපිතාන්වරයාගේ නියෝග සහ නීතිරීතිවලට අවනතව කටයුතු කළ යුතු බව පැහැදිලිය. එහෙත් ඔහුගේ කාර්යයට බාධාවේයැයි සිතා හෝ කපිතාන්වරයා ලැජ්ජාවට පත්වේ යැයි සිතා හෝ අහම්බයකින් නැවේ ඇතිව තිබෙන සිදුර ගැන ඔහුට නොකියා සිටින්නේ මන්ද? එවැන්නකින් කපිතාන්වරයාටත් ඔබටත් නැවේ සිටින සෙසු සියල්ලන්ටමත් ඔබ විසින් සිදුකරනුයේ බරපතල අනර්ථයකි. අනෙක් අතට මෙවැනි අතිශය සංකීර්ණ, නිශ්චිත වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර නොමැති ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ කවර හෝ අඩුපාඩුවකට හෝ ඉඩ නොතබා රට පාලනයකිරීමට මෙතෙක් කිසිදු හෝ රටක් සමත්ව නොමැත. ඉදිරියේදීද එවැනි රටවල් නොතිබෙනු ඇත. ශ්‍රී ලංකාව වැනි ඌන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත තුන්වැනි ලෝකයේ රටකට කිසිසේත් එවැන්නක් කළ නොහැකිවනු ඇත. එබැවින් මේ මොහොතේ විවේචන බලාපොරොත්තු විය යුතුය. විවේචනයන්ට නිසි පරිදි විවෘතවීම තුළ අර්බුදය පාලනයකිරීමට තමන් විසින් ගනු ලැබූ පිළියම්හි අඩුපාඩු හදුනාගැනීමට මෙන්ම එවැනි පිළියම් අතිශය පුලුල් ලෙස මහජන සාකච්ඡාවන්ට ලක්කිරීමේ අවස්ථාවද ආණ්ඩුවකට හිමිවේ. එනයින් ද ගත් කල මහජනතාවගේ සහ සංවිධිත කණ්ඩායම්හි විවේචන යනු මේ මොහොතේ ආණ්ඩුවට තම කටයුතු සඳහා බලාපොරොත්තු විය හැකි ඉහළම සහයෝගයයි.

එහෙත් ශ්‍රී ලංකාව තුළ අද අප විසින් දකිනුයේ විවේචන ප්‍රතික්ෂේප කිරිමට සහ මහජන අවධානය බරපතල ලෙස වෙනස්කිරීමේ උත්සාහයන්ය. මේ උත්සාහයන්හි පළමු අර්ධය වශයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් මීට දින කිහිපයකට ඉහතදී නිකුත් කරන ලද විශේෂ නියෝගය දැක්විය හැක. එහි අනෙක් අර්ධය නම් රටේ සුලුතර ජන කණ්ඩායම් ඉලක්ක කරගනිමින් දැන් අලුතෙන් ඇතිකර තිබෙන එදිරිවාදීත්වයයි.


වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය සහ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස

වැඩබලන පොලිස්පති C.D. වික්‍රමරත්න මහතා විසින් පසුගිය අප්‍රේල් පළමුවැනිදා රහස් පොලීසියට සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුනට නිකුත් කර ඇති නියෝගය මෙරට අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සම්බන්ධයෙන් ගත්කල අතිශය නිශේධනීය වේ. රජයේ නිලධාරීන් ද අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්හි නිරතවන්නන්ද කොරෝනා වසංගත තත්ත්වය රට තුල පැතිරිම පාලනයකිරීමට දැඩිසේ වෙහෙසවී ක්‍රියාකාරන බව අදාළ නියෝගයේ දැක්වේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියේ ඇති ‘සුලු අඩුපාඩු’ විවේචනයකිරීමට ඇතැමුන් කටයුතු කර තිබෙන බව දක්වන වැඩබලන පොලිස්පතිවරයා එසේ හෙයින් සමාජ මාධ්‍ය හරහා රජයේ නිලධාරින් විවේචනය කරන සහ ඔවුනට බාධා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතුයැයි නියෝග කරයි.


මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක අදහස් ප්‍රකාශකිරීමේ නිදහස අනිසි ලෙස භාවිතකිරීම හරහා මහජන ආරක්ෂාව සැලසීමේ රජයේ වගකීමට බරපතල තර්ජන එල්ලවිය හැකි බව අප විසින්ද පිළිගන්නා කාරණයකි. විශේෂයෙන් සමාජ මාධ්‍ය අත්තනෝමතික ලෙස භාවිතය ජාතීන් අතර ගැටුම් වර්ධනයකිරීමට සහ මහජන ව්‍යාකූලතා ඇතිකිරීමට හේතුවූ ආකාරය අප පසුගිය සිංහල-මුස්ලිම් ගැටුම් සමයේ මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද පැහැදිලිවම නිරීක්ෂණය කරන ලදි. එසේ වුවද එවැනි භාවිතයන්හි වර්ධනයක් පිළිබඳ පැහැදිලි සාක්ෂි නොමැති මේ අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ ඉහත ප්‍රකාශය බරපතල ලෙස සැකයට තුඩු දේ. මෙම වසංගත තත්ත්වය අතරතුර ශ්‍රී ලංකාව මහජනතාවගේ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකරන්නට කටයුතු කර ඇතැයි වැඩබලන පොලිස්පතිවරයාගේ යටකී නියෝගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් Human Rights Watch සංවිධානය ප්‍රකාශකරනුයේ එබැවිනි.

අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සහ මහජන ආරක්ෂාව යන සංකල්ප දෙක අතර අතිශය සියුම් සම්බන්ධතාවයක් ඇති බව අප මෙහිලා නැවත අවධාරණය කර සිටින අතර චීනයේ වෛද්‍ය ලී වෙන්ලියැං හා සම්බන්ධ සිද්ධි දාමය දෙස නැවත අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටිමු. මේ එක් එක් සංකල්පය අනෙක් සංකල්පයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාවේ යෙදවිය යුතුව ඇත. එකක් පරයා අනෙක ආරක්ෂාකිරීමට උත්සාහ දැරීම අවසන්වනු ඇත්තේ බරපතල ව්‍යසනයකිනි.


ව්‍යසනකාරී අවස්ථා සහ නිරවද්‍ය තොරතුරුවල වැදගත්භාවය

ව්‍යසනකාරී කාලයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන ආරක්ෂාව යන මේ ද්විත්වයම වඩාත් හොදින් ආරක්ෂා කර ප්‍රවර්ධනය කළ හැකි වන්නේ ඒවා පාලනයෙන් නොව වඩාත් නිවැරදි තොරතුරු සමාජගත කිරීම හරහා ය. මෙවැනි අවස්ථාවක ආණ්ඩුවක් විසින් ඉටු කළ යුතු පළමු වගකීම නම් නිරවද්‍ය නොවන හානිකර තොරතුරු සමාජගත වීමට ඇති ඉඩකඩ අහෝසිවී යන පරිදි නිවැරදි තොරතුරු සමාජය තුළ සුලබ කිරිමයි. ඩිජිටල් තාක්ෂණික යුගයක ඉහත වගකීම අන් කවරදාකටත් වඩා හොදින් ඉටුකිරීමට ආණ්ඩුවකට හැකියාව ඇති බව පැහැදිලිය. තාක්ෂණය භාවිත කර ජනතාව වෙත නිවැරදි තොරතුරු සම්ප්‍රේෂනය කිරීමේ අතිශය සාධනීය උත්සාහයන් කිහිපයක් පවතින ඛේදජනක කාලසීමාවෙහි පවා නිරීක්ෂණය කළ හැකිවිය.


මේ වර්ගයේ පළමු උත්සාහය දැකිය හැකිවූයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවිය තුළිනි. අන් කිසිදු රාජ්‍ය වෙබ් අඩවියක දැකිය නොහැකි ආකාරයට සිය වෙබ් අඩවිය තුළ COVID 19 වසංගතය පිළිබඳ දේශීය දත්ත සපයන යෙදවුම් ක්‍රමලේඛණ අතුරුමුහුණතක් (Application Programming Interface – API) ස්ථාපනයකිරීමට තරම් අදාළ කාර්යාංශයේ බලධාරීන් බුද්ධිමත් සහ නව්‍යවී ඇත. යෙදවුම් ක්‍රමලේඛණ අතුරුමුහුණතක් හෙවත් API පහසුකමක් භාවිතකිරීම හරහා වෙබ් අඩවි ආශ්‍රිත ක්‍රමලේඛණ ශිල්පීන් හට යම් දත්ත සමූහයකට ප්‍රවේශවීමටත් එම දත්ත වඩාත් නිර්මාණශීළී ලෙස වෙනත් විවිධ නව මාධ්‍ය හරහා ඉදිරිපත්කිරීමටත් අවස්ථාව ලැබේ. මෙහිදී අදාළ දත්ත ආකර්ෂණීය ක්‍රම හරහා යළි ඉදිරිපත්කිරීමට ඉඩ ලැබෙනවා විනා දත්ත සමූහයේ ඇති දත්ත වෙනස්කිරීමට අවස්ථාවක් එම ශිල්පින් හට නොලැබෙන බැවින් අදාළ තොරතුරුවල නිරවද්‍යතාවය මුලුමනින්ම ආරක්ෂාවේ. අනෙක් අතට මුල් දත්ත සමූහයේ ඇති තොරතුරු යාවත්කාලීනවන සැනින්ම ඉහතකී යෙදවුම් ක්‍රමලේඛණ අතුරුමුහුණත භාවිතකර දත්ත ඉදිරිපත්කරන නව මාධ්‍ය තුළ ඇති දත්තද ස්වයංක්‍රීයව යාවත්කාලීන වන බැවින් අදාළ තොරතුරුවල කාලීන බව පිළිබඳවද ගැටලු ඇති නොවේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් ලබාදි ඇති ක්‍රමලේඛ අතුරුමුහුණත භාවිතය හරහා COVID 19 වසංගතය පිළිබඳ තොරතුරු වඩාත් ආකාර්ෂණීය ලෙස සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ගෙන් ඉදිරිපත් කළ බ්ලොග් සහ වෙනත් වෙබ් අඩවි 23 ක සංඛ්‍යාවක් පසුගිය සති දෙකක කාලය තුළ නිරීක්ෂණය කළ හැකිවිය. ඊට අමතරව මෙම ක්‍රමලේඛ අතුරුමුහුණත භාවිතය හරහා නිර්මාණය වූ ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් දුරකථන සඳහා වන යෙදවුමක් ද ස්වයංක්‍රීය ටිවිටර් ගිනුම් (Twitter bots) තුනක් ද මේ මොහෙතේ ක්‍රියාත්මකය. මේ සියල්ල මෙම ව්‍යසනකාරී අවස්ථාවේ සිය දැනුම භාවිතකර සමාජයට යම් සේවාවක් ඉටුකිරීමේ අභිමතයෙන් පෙළුණු තනි පුද්ගලයන්ගේ උත්සාහයන්හි ප්‍රතිඵලයන්ය. මෙවැනි තවත් නිදසුනක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) ශ්‍රී ලංකා කාර්යාලය විසින් පුද්ගලික මෘදුකංග සංවර්ධන සමාගමක් හා එක්ව නිර්මාණය කර ඇති වඩාත් පුලුල් තාක්ෂණික යෙදවුමක් දැක්විය හැක. එය ෆේස්බුක් යෙදවුම හා සම්බන්ධිත මැසෙන්ජර් පණිවුඩ සේවාව හරහා ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය සංවාද යෙදවුමකි (Messenger bot). වසංගතය පිළිබඳ දේශීය සහ ගෝලීය සංඛ්‍යා දත්ත සැපයීම, පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂාව පිලිබඳ උපදෙස් ලබාදීම, ප්‍රවාහන මාධ්‍ය භාවිතයේදී වෛරසයෙන් ආරක්ෂාවීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සහ වසංගතය සම්බන්ධයෙන් මහජන ගැටලුවලට උපදෙස් ලබාදීම යන සියලුම කාර්යයන් භාවිතයට අතිශය පහසු ක්‍රියාවලියක් හරහා ස්වයංක්‍රීයව සිදුකෙරේ. මේ සියල්ල හැරුණුකොට අපගේ අවධානයට ලක් නොවූ නමුත් වෙනත් මෙවැනි අතිශය සාධනීය ක්‍රියාමාර්ගයන් ගණනාවක් වුව පැවතිය හැක.


මේ සියල්ල හරහා ප්‍රකට වනුයේ අර්බුදකාරී සමයක වුව අදහස් ප්‍රකාශකිරීමේ නිදහස වඩාත් සාධනීය සහ ප්‍රගතිශීලී එකක් කරනු පිණිස තොරතුරු සුලබකිරීමේ අවශ්‍යතාවය ඉටුකිරීම යනු එතරම් සංකීර්ණ නොවන උපක්‍රම හරහා පහසුවෙන් එළැඹිය හැකි කඩඉමක් වන බව නොවේද? එනයින් අප නැවතත් එළැඹෙනුයේ මෙවැනි අවස්ථාවක රටේ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගනු ලැබිය හැකි අර්ථවිරහිත උත්සාහය සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාවය වෙතය.

කොරෝනා වසංගතය සහ වාර්ගික එදිරිවාදීතා

කොරෝනා වසංගතය හා සමගාමීව මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් දැන් ඇතිව තිබෙන සමාජ එදිරිවාදීත්වය අපට සිහිපත් කරනුයේ ශ්‍රී ලංකාව තුළ එල්ටීටීය සමග සන්නද්ධ ගැටුම් පැවති සමය තුළ මෙරට සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉදිරිපත්වූ දේශපාලන අදහස්ය.


ඒ සමය තුළ දේශපාලකයන් අපට කියා සිටියේ ශ්‍රී ලංකාවේ දුර්වල යටිතල පහසුකම් සහ ප්‍රගතියකින් තොර සංවර්ධනය යනු හුදෙක්ම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ප්‍රතිඵලයක් බවය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පැහැදිලි සංවර්ධනයක් ඇතිකිරීම සම්බන්ධයෙන් දේශපාලඥයන් දැක්වූ අසමත්භාවය ත්‍රස්තවාදය නමැති සතුරා මත පටවා තිබිනි. එනයින් එකල අපට තිබුනේ දේශපාලකයන්ගේ අසමත්භාවය පිළිබඳ විවේචනයක් නොව දෙමළ සතුරා පිළිබඳ එදිරිවාදීකමකි. 2009 මැයි මාසයේදී දෙමළ සතුරා අවසන් කර දැමිමෙන් අනතුරුව සමාජයට මුස්ලිම් සතුරෙකු නිර්මාණය කර දෙන ලදි. එබැවින් මේ මොහොතේ පවතින ඕනෑම විවේචනයක් ආපසු හැරවීමේ හොඳම මාර්ගය නම් එම විවේචන මුස්ලිම් සතුරා වෙත හැරවිමයි. ශ්‍රී ලංකාව මහ මැතිවරණය වෙත යොමුවෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක මෙකී හැරවීම දේශපාලනික වශයෙන් කොතරම් වාසි සහගතදැයි කල්පනා කර බැලීම එතරම් අපහසු නොවනු ඇත. කොරෝනා රෝගය සහ මෙරට මුස්ලිම් ජන කණ්ඩායම් සම්බන්ධයෙන් දැන් ඇතිව තිබෙන සමාජ එදිරිවාදීත්වය තේරුම්ගත යුත්තේ ඉහත පසුබිමෙනි.

කොරෝනා රෝගය ආසාදිත මුස්ලිම් රෝගීන්ගේ මරණ සම්බන්ධයෙන් ඉස්ලාම් ධර්මයේ කියැවෙන පිළිවෙලට කටයුතු කිරීමට ඉල්ලා සිටීම අපට තේරුම්ගත හැකිවිය යුතුය. මිනිසෙකු සිය ජීවිත කාලය පුරාම විශ්වාස කළ ආගමික සංකල්ප මත ඔහුගේ මරන මංචකයේ කටයුතු සිදුවිය යුතු යැයි කියා සිටීම අදාළ පුද්ගලයන්ගේ විශ්වාසය පිළිබඳ කාරණයකි. අනෙක් අතට වෛරස් රෝගයක් ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරිම පිළිබඳ, විශේෂයෙන් මුල් ආසාදිත පුද්ගලයා මියගිය අවස්ථාවකදී පවා ඔහු වාහකයෙකු විය හැකිය යන්න පැහැදිලි ජීව විද්‍යාත්මක පර්යේෂණ හරහා ඔප්පුවී තිබීම ද බරපතල කාරණයකි. ඇත්ත වශයෙන්ම මේ දෙක අතරින් වඩාත්ම බරපතල තත්ත්වයේ ලා සැලකිය යුතු කාරණය දෙවැන්නයි. පොදු යහපත අතින් ගත්කල ද එහි අදාළත්වය පළමුවැන්නට වඩා බොහෝ සෙයින් වැඩිය. මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට පැහැදිලි මාර්ගෝපදේශ සපයා දී තිබිනි. එබැවින් එය හුදෙක්ම පරිපාලනමය තීරණ හා බැදුණු තත්ත්වයක් වූ අතර පොදු යහපත පිළිබද අවධානය දැක්වීමෙන් වඩාත් පහසුවෙන් විසඳා ගත හැකිව තිබුණි. නමුත් දැන් මෙම ගැටලුව දේශපාලනීකරණය වී ඇති අතර විවේචන පසෙකට දමා වාර්ගික එදිරිවාදිකම් පෙරට ගැනීමට එය සමත්ව ඇත.

ජන කණ්ඩායමක ආගමික අයිතිවාසිකම් දේශපාලන වශයෙන් භාවිත නොකිරීමට තරම් ශිෂ්ඨසම්පන්න වූ රටවල් මෙවැනි සිද්ධින්වලදි අනුගමනය කළ පිළිවෙත දෙස බලා හෝ ශ්‍රී ලාංකිකයන් විසින් පාඩම් උගතයුතුව ඇත. නිදසුනක් වශයෙන් මීට දින කිහිපයකට පෙර මියගිය ඉස්මයිල් මොහොමඞ් අබ්දුල්වහාම් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා දැක්විය හැක. වයස අවුරුදු 13 ක් වූ ඉස්මයිල්ගේ මරණය බ්‍රිතාන්‍ය තුළ COVOID 19 වසංගතය හේතුවෙන් මෙතෙක් සිදුව ඇති ලාබාලතම මරණයයි. අප්‍රේල් 03 වැනිදා ඉස්මයිල්ගේ සිරුර දකුනු ලන්ඩනයේ මුස්ලිම් සොහොන් බිමක භූමදානය කෙරුණි. මෙම අවස්ථාවට පවුලේ ඥාතීන් කිසිවෙකුටත් සහභාගීවීමට ඉඩදි නොතිබූ නමුත් ඉස්මයිල්ගේ දේහය වෙනුවෙන් සිදුකෙරුණු මුස්ලිම් ආගමික වතාවත් ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා දැකගැනීමට තවමත් නිරෝධායනය වෙමින් සිටින පවුලේ ඥාතීන්ට ඉඩ සලසා දී තිබිනි.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩසටහනෙහි ඇති ප්‍රධානතම දුර්වලතාවය මුස්ලිම් ජන කණ්ඩායම් ස්වයං නිරෝධායනයට හෝ රෝගය පාලනයකිරීමේ සෙසු සමාජ වගකීම් සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා නොකිරීම යැයි මතයක් සමාජගත වෙමින් තිබීමය. ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඉහළට ඔසවාගෙන කොරෝනා රෝගයෙන් ආරක්ෂාකරන්නට උත්සාහ දරද්දි මුස්ලිම් ජාතිකයෙකු කොරෝනා වෛරසය කර තබාගෙන එයට ජනාධිපතිවරයා විසින් ඔසවාගෙන සිටින ශ්‍රී ලංකාවට ලඟාවීමට උපකාර කරනු දැක්වෙන කාටූනයක් සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබේ. සමස්ත මහනුවර නගරයම කොරෝනා වසංගතයට නිරාවරණයකිරීමේ චෝදනාව සමාජ මාධ්‍ය හරහා එක් මුස්ලිම් ජාතිකයෙකුට එල්ලවන අතර වාර්තාවන රෝගීන් සහ මරණ මුස්ලිම් ජාතිකයන් වන විට ඒ බව විශේෂයෙන් සඳහන්කිරීමේ උත්සාහයන්ද අඛණ්ඩව දැකිය හැක. ඊයේ උදෑසන සිට ෆේස්බුක් මැසෙන්ජර් සේවා හරහා හුවමාරු වන හඩ පණිවුඩයකින් කියා මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මගහරින ලෙසත් කොරෝනා ආසාධිත මුස්ලිම් තරුණියන් සිංහල තරුණියන් හා සම්බන්ධකරවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් පවසා ඇත.

මේවා පැහැදිලිවම අවශේෂ සිදුවීම් අතිශයෝක්තියෙන් යුතුව දක්වා වාර්ගික එදිරිවාදිකම් මතුකරලීමේ උත්සාහයන්ය. අනෙක් අතට මෙම සංසිද්ධීන් උලුප්පා දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයන් තුළ මුස්ලිම් ප්‍රජාව මේ මොහොතේ වෛරසය පාලනයට රජයට සහ සෞඛ්‍ය අංශවලට ලබාදෙන මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහයෝගය මුලුමනින්ම පාහේ අවතක්සේරු කර ඇත. ඒ අතරම, ඇතැම් මුස්ලිම් දේශපාලකයන් සිදුකරන ප්‍රකාශ මෙම ව්‍යාකූලතා තවදුරටත් වැඩිකිරීමට හේතුවක් වනු ද දැකිය හැක.

ඒ අනුව දැන් රට තුළ ඇතිව තිබෙන තත්ත්වය පැහැදිලිවම කියා පානුයේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අවිනිශ්චිතතාවය දේශපාලනිකව නිර්මාණය කළ සතුරෙකු ගිණුමට බැරකිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. ඒ වසංගතය පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විවේචන නොඉවසමින් ක්‍රියාත්මක වන අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකිරීමේ නැඹුරුවට අතිරේකවය. මෙකී අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකිරිම සහ වාර්ගික එදිරිවාදීත්වයන් මේ මොහොතේ කිසිසේත්ම රටට ඵලදායක නොවනු ඇති අතර ඒවා විසින් වඩාත් භයානක ප්‍රතිඵල අප හමුවට ගෙන එනු ඇත. පළමුව, කොරෝනා පලනය සම්බන්ධයෙන් රටක් වශයෙන් වන අපගේ උත්සාහයන්ට එයින් බරපතල ලෙස හානිවනු ඇත. එසේම ජාතික ව්‍යසන අවස්ථාවක අත්‍යන්තයෙන්ම ක්‍රියාත්මක විය යුතු රටේ පොදු සමගිය කඩාදමන්නට ද එය හේතුවනු ඇත. අනෙක් අතට මෙම තත්ත්වය වෛරසය පැතිරයාම වැලැක්වීමට මහජනයා විසින් ස්වේච්ඡාවෙන් අනුගමනය කළ යුතු රීතීන් නොතකා හැර කටයුතු කිරීමට මුස්ලිම් ජනතාව පෙළඹවනවා ද ඇත. මේ සියල්ල අතරින් වඩාත් භයානකම ප්‍රතිඵලය ලෙස අසල්වැසි මුස්ලිම් මිනිසෙකු හා ගැටුමකට ඔබ යොමුවන අතරවාරයේ ඔබේ පාලකයන්ට ඔවුනට ඇවැසි ඕනෑම දෙයක් කිරීමට හැකි වනු ඇත.


මෙම  ලිපිය කොරෝනා අස්සේ පැතිරෙන දේශපාලන වෛරස් නමින්  සමබිම වෙබ් අඩවියට මා විසින් ලියන ලද ලිපිය නැවත පළකිරීමකි.

0 comments: