Wednesday, April 22, 2020

The perils of being moderately famous by Soha Ali Khan


මේක නම් මම ටික කාලෙකට කලින් කියවපු පොතක්. නමුත් ඒ ගැන සමූහයට ලියන්න වෙලාවක් ලැබුණෙ නැති බව මතක් වුණා.

හින්දි සිනමාව ගැන උනන්දුවක් දක්වන අයත් රසිකයොත් සොහා අලී ඛාන් කාගේ කවුද කියලා දන්නවනේ.ඇය එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වුණු නිළියක් වන ශර්මිලා තාගෝර් සහ දක්ෂ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක/හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මන්සූර් අලී ඛාන් පතාඋඩිගේ දියණියක්. සයිෆ් අලී ඛාන් ඇගේ සහෝදරයා.
මේ පොත ලිවීමට පාර හැදුණු හැටි ඇයගේ හැඳින්වීමේ ලියා තිබෙන ආකාරයම හරිම හාස්‍යජනකයි.


අවුරුදු 12ක නිළි ජීවිතයක අග වයස අවුරුදු තිස් ගණන්වලත් 'වැරදි' පැත්තට යද්දි ඇයට තේරුණාලු තෘප්තිමත් විය හැකි චරිතයක් ලැබීමේ සම්භාවිතාව වලවල් නැති මුම්බායි අධිවේගී මාර්ගයක් තරම් විරල වේ ගෙන එද්දි, වාණිජ චිත්‍රපටයක නිළියක් එක්කෝ වීරයාගේ පෙම්වතිය නැත්නම් වීරයාගේ අම්මා කියන තෝරාගැනීම් දෙකින් එකකට කොටු වේගෙන එද්දී යන අතක් බලාගන්න කාලේ හරි කියලා. ඉතින් එයා කල්පනා කරාලු අවුරුදු හතළිස් ගණන්වලදී නිළියකට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් පටන් ගැනීම, ආභරණ විලාසිතා ව්‍යාපාරයක් පටන් ගැනීම, ගෘහ අලංකරණ ව්‍යාපාරයක් පටන් ගැනීම, පවුලක්-පන්සලක් වීම, තමන්ගේම විලාසිතා ව්‍යාපාරයක් පටන් ගැනීම, පොතක් ලිවීම කියන කාරණා ගැන සලකලා බැලුවම එයාට තේරුණාලු කොච්චර යාලුවෝ කිව්වත් එයාට ලස්සනට අඳින්න පළඳින්න හොඳ ඇහැක්, රසයක් තියෙනවා කියලා ඒ ඇඳුම් පැළඳුම්, කොණ්ඩ විලාසිතා, රූපලාවණ්‍ය යන දේවල් ගලපනවට වඩා ඉක්මණට එයාට අමාරු ප්‍රහේලිකා සම්පූර්ණ කරන්න පුළුවන් බව! විලාසිතා සහ ගෘහ අලංකරණය ගැනත් කතාව ඒකමලු. චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් එතකොටත් පටන් අරන් තිබ්බ නිසා ඈ කල්පනා කරාලු පවුලක් පන්සලක් වීම ගැන. ඒ වෙනකොට කුනාල් කේමු නම් නලුවා සමග විවාහ වී හිටි නිසා ඈ විවාහයේ ඊළඟ පියවර විදිහට දරුවෙක් සම්බන්ධයෙන් හිතලා වෛද්‍යවරියක් මුණ ගැහුණාලු. මුණගැහිලා, "මං දුම් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, මං යෝගා කරනවා, බැඩ්මින්ටන් ගහනවා, හැමෝම කියන්නේ මං මගේ වයසට වඩා තරුණ පාටයි කියලා" යනාදී වශයෙන් තමන්ගේ පම්පෝරිය දිග හැරියම ඒ වෛද්‍යවරිය කිසිම හිතක් පපුවක් නැතුව කියලා දැම්මලු "වෙන්නැති, හැබැයි ඔයාගේ ඩිම්බකෝෂවලට ඔය මූණ පේන්නේ නෑ" කියලා. 😂 ඉතින් සෝහා තීරණය කරලා තියෙනවා දරුවෙක් සහ පොතක් බිහි කරන්න!

පොත ගැන කියනවා නම් ප්‍රහසන මට්ටම අතිශයින්ම ඉහළයි. තමන්ගේ පවුලේ සාමාජිකයන් තමාට වඩා ජනප්‍රිය සහ ප්‍රසිද්ධවීම සහ තමා සාමාන්‍ය තරමට ප්‍රසිද්ධවීම නිසා සිද්ධ වුණ අකරතැබ්බ එහෙම හරි අපූරුවට ලියලා තියෙනවා. පොත කියවන අතර තනියම හිනා වෙන්න ඉඩකඩ වැඩි නිසා පරිස්සමින් කියවන්න😁
මං නං කැමතියි සෝහා මේ වගේ තව පොතක් ලියනවට!❤️



1 comment:

  1. ස්තූතියි තරුවේ පොත ගැන කිව්වට....

    ReplyDelete