ගිනි ගන්නා රැවුලෙන් සුරුට්ටු පත්තු කිරීම වළක්වමු.

මැයි මස අවසන් වනවිට කෙසේ හෝ මහා මැතිවරණය පැවැත්වීමේ ආණ්ඩුවේ උපක්‍රමය අනුව සියළු කටයුතු තීරණය වෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන්නට තියෙන කාරණාවක්. මැතිවරණය පවත්වන්නැයි කොමිසන් සභාවට බල කරන ගමන්ම රටේ වාතාවරණය කෘතිමව යහපත් කිරීමට උත්සාහ ගනිමින් සිටින බව 15 දා රාත්‍රී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා නිකුත් කළ නිවේදනයෙන් පැහැදිලියි. ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවක දී අවධාරණය කර ඇත්තේ රටේ සාමාන්‍ය තත්ත්වය වහා ඇති කළ යුතු බවකි. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහි සේවා ඉදිරි දින කිහිපයේ දී යළු ආරම්භ කිරීමත් ඔවුන්ගේ අරමුණක්.

කඩා වැටෙමින් පවතින ආර්ථිකය ශ්‍රී ලංකාවට කොහෙත්ම ඔරුත්තු නොදෙන්නක්. එය ඉතා භයානක වන්නේ තවත් ටික කලෙකින් ආහාර අහේනියක් ඇති විය හැකි මට්ටමකට තත්ත්වය වර්ධනය වීමේ ඉඩකඩක් පවතින නිසයි. ඒ නිසා රටේ යථා තත්ත්වය කවුරුත් බලාපොරුත්තු වන්නක්. නමුත් එය ඇති කර ගැනීම සදහා රාජ්‍ය හා පෞද්ගලික දෙ අංශය ක්‍රියාත්මක කරවිය යුත්තේ වෛරසය පැතිර යෑම ගැන සෞඛ්‍යය අංශ වලින් නිශ්චිත සහතිකයක් ලබා ගැනීමෙන් පසුව පමණයි.

පැහැදිලිවම නිරීක්ෂණය වන්නේ ආණ්ඩුව දේශපාලනිකව ආතතිකයක පසුවන බවයි. ඒ අනුව මහා මැතිවරණය ඉක්මනින් පවත්වා ගැනීම හැර වෙනත් විකල්ප කරා යන්නට ආණ්ඩුව සූදානම් නැහැ. නම්‍යශීලී හා නිහතමානී ආණ්ඩුවකට නම් කරන්නට ඕනෑ තරම් විකල්ප පවතින බව නොරහසක්. නමුත් විසුරුවා හැරි පාර්ලිමේන්තුව යළි කැදවීමට වඩා කෝවිඩ් 19 වෛරසය සමග ඔට්ටුවීමට උනත් ආණ්ඩුව සූදානම් බවකුයි පෙනෙන්නට ඇත්තේ.

මේ ආණ්ඩුවේ අවශ්‍යතාව සදහා කෘතිම සාමාන්‍ය තත්ත්වයක් වුවද නිර්මාණය කර ගැනීමට ආණ්ඩුවට පුළුවන්. ඒ සදහා ආර්ථිකයේ කඩා වැටීම වැළැක්වීම යන කදිම ආවරණය ආණ්ඩුවට වාසියක්. නමුත් කෝවිඩ් 19 සමග සෙල්ලම් කිරීම ජන ජීවිතය විනාශයට කැදවීමක්. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති වල මැදිහත්වීම අතිශයෙන්ම වැදගත්. කරුණු කාරණා දන්නෙ ඔවුන් බැවින් සිදුවන ඇත්ත සමාජ ගත කරන්නට විශාල ශක්තියක් ඇත්තේ ඔවුන්ටයි.

 

32592867_1698189086925803_4727606661760417792_n

ඒ වගේම කෘතිම සාමාන්‍ය තත්ත්වයක මහා මැතිවරණය පවත්වන්නට සූදානම්වීම පරාජය කිරීම සදහා රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති වලට ද වැදගත් වගකීමක් පැවරී ඇතැයි සිතේ. එහිදී තීරණාත්මක වගකීම පවතින්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයටයි. වෛරසය පැතිර යෑම නතර නොවී ඇත්නම් එවැනි පරිසරයක මැතිවරණය පැවැත්වීම විශාල අවධානමක් බවත් රජයේ නිලධාරීන් ඒ අවධානමට යොමු කිරීම බරපතල වරදක් බවත් කිව හැක්කේ ඔවුන්ටයි.

මහා මැතිවරණය කෙසේ හෝ පවත්වා ගැනීම සදහා ආණ්ඩුව දරන මහන්සියේ දී රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ඊට මැදිහත්ව කැප කිරීමක් කරන්නට සූදානම් නම් අගතිදායක මොහොතක මැතිවරණය පවත්වන්නැයි ආණ්ඩුව මැතිවරණ කොමිසමට කරන බලපෑමෙන් ගැලවීමට ද එය විශාල රුකුලක් වේවි

Leave a comment