Main Logo

Saturday 4 April 2020

අහෝ රාවුෆ් නොදිටි මොක්පුර

 සිංහල ලිත් ඉලක්කම් 


අහෝ රාවුෆ් නොදිටි මොක්පුර 



දිනක් මා කොළඹ මහජන පුස්තකාල ශාලාවේ කතාවක් කරමින් සිටින විට පුස්තකාලයේ පාඩම් කරමින් සිටි උසස් පෙළ සිසුවකු තේ බීමට යන ගමන් ශාලාවේ දොරකින් එබී බලා මා නලින් ද සිල්වා බව දැන ගැනීමෙන් පසු අසා තිබෙනවා මෙයා ද අර ෆිසික්ස් බොරු කියල කියන්නෙ කියා. ඒ බව මා දැන ගත්තේ රැස්වීමෙන් පසුව. අද මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියල තියෙනව නේ ද කියා කියන ඊනියා උගතුන් බුද්ධිමතුන් සහ අර සිසුවා අතර වෙනසක් නැහැ.


මේ ඒ ගැන ලොකු විස්තරයක් කරන්න වෙලාවක් නො වෙයි. ඒත් ඊනියා උගතුන් තවත් අවුල් කරන දෙයක් මා කියන්නම්. මෙය මා අද කියන්නක් නො වෙයි. කලිනුත් කියල තියෙනවා. ඇත්ත කියල දෙයක් නැහැ. අප මනස ආධාරයෙන් දැන ගන්න (නිර්මාණය කරන) සියල්ල බොරු. බුදුහාමුදුරුවන් ඊනියා සත්‍යයක් සොයා ගියේ නැහැ. කිං සච්ච ගවේෂි කියන එක බමුණු කතාවක්. මහාචාර්ය කළුපහන මේ සම්බන්ධයෙන් ලියා ඇති දේ කියවන්න. 

බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නය හැටියට මා කියා ඇත්තේ නොදැනුම මිනිසුන්ට තේරෙන ඊනියා දැනුමක් හැටියට ප්‍රකාශ කරන්නෙ කොහොම ද කියන එක. බුදුහාමුදුරුවන් ධර්මය දේශනා නොකර ඉන්න තීරණය කරපු වෙලාවෙ සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනයෙන් පස්සෙ තමයි දහම් දෙසන්න හිතා ගත්තෙ. මගේ අදහස  අනුව පසේ බුදුහාමුදුරුවරුන්  (පච්චෙක බුද්ධ) කියන්නෙ බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නයට පිළිතුරක් හොයා ගන්න බැරි බුදුහාමුදුරුවරුන් .  

නිවන දැනුමක් නො වෙයි. කළුපහන මහතාටත් ඒ බව තේරුණෙ නැහැ. ඒ නිසා තමයි ඔහු ගෝලයන් ලවා නිවන වචනයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් බවක් කියවන්න හැදුවෙ. එහෙත් ගුරුවරයාවත් ගෝලයන්වත් නිවන වචනයෙන් කියල නැහැ. කාට හරි පුළුවන් නම් නිවන නිර්වචනය කරන්න. නිවන නිවනේ නිර්මාණයක් නම් නො වෙයි. වචනයෙන් කියන්න නිවනක් තියෙන්න එපා ය. 

බුදුහාමුදුරුවන්ගෙ නොදැනුම හැරෙන්න අනෙක් සියල්ල බොරු. එයින් වියුක්ත බොරු තමයි පට්ටපල් බොරු වන්නෙ. ඉන් කියන්නෙ නැහැ බුදුහාමුදුරුවන්ගේ නොදැනුම ඇත්ත කියල. එය නොදැනුමක්. එය බොරුවක් නොවෙයි. ඇත්තත් නොවෙයි.  බොරු තිබුණට ඇත්ත කියල දෙයක් නැහැ. බොරු නොවන්න ඇත්ත වෙන්නෙ නැහැ. මේ බොරු දැනුම, මම කියන සංකල්පයත් ඇතුළුව, බොරු බව ප්‍රත්‍යක්‍ෂ කළොත් නිවන් සම්බෝධ වේවි. සෝපාකලා විසුද්ධි මාර්ගය හදාරපු අය නො වෙයි. මට මේ අවස්ථාවෙ එක් ප්‍රසිද්ධ හාමුදුරුනමක් කී දෙයක් මතක් වෙනවා. නලින් ද සිල්වා අටුවා තබා සූත්‍රවත්  කියවල නැහැ කියල. උන්වහන්සේට සෝපාක රහතන් වහන්සේ මුණ නොගැසුණු එක කොච්චර එකක් ද? 

මිනිසුන් කරන්නෙ අත්දැකීමෙන් හරි ගිය (වැඩ කරන) දැනුම යොදා ගන්න එකයි. මේ අත්දැකීම් හරි යෑම සියයට සියයක් සිද්ධ වෙන්නෙ නැහැ. යම් ප්‍රමාණයකට හරි යනව නම් සංගත නම් මිනිසුන් ඒ දේ දිගින් දිගට කරනවා. බටහිර විද්‍යාඥයනුත් එහෙමයි. නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණය සියයට සියයක් හරි යන්නෙ (වැඩ කරන්නෙ) නැහැ. ඒත් අදත් පාසල්වල විශ්වවිද්‍යාලවල ඒක උගන්වනවා! 

රාවුෆ් හකීම් ඉල්ලල තියෙනව කොවිඩ් හැදිල මිය යන මුස්ලිමුන්ගේ මෘතදේහ ආදාහනය නොකර භූමදානය කරන්න කියලා. ඒක ඔවුන්ගෙ ආගමික ඇදහිල්ලක් කියලා. මා දින කිහිපයකට පෙර බෞද්ධයන්ගෙ පාංශූකූලය ගැන කිවුවා. මා කිවුවෙ පාංශුකූලෙට ඉඩ දෙන්න කියල නො වෙයි. බෞද්ධයන්ටත් ඒ වගෙ ප්‍රශ්න තියෙනව කියල.  සෞඛ්‍ය බලධාරීන් තීරණය කරල ඒ මොකක්වත් බැහැ කියල. අද බලධාරියා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ජාසිංහ. 

මෘත දේහ ආදාහනය කිරීම නිසා මුස්ලිමුන් ස්වර්ගයට යන්නෙ නැහැ කියල ද හකීම් කියන්නෙ. ඒ පිළිබඳ ව කුරානයේ කියල තියෙන්නෙ මොනව ද? මොනව කියල තිබුණත් සෞඛ්‍ය බලධාරීන් තම තීරණය වෙනස් කරන එකක් නැහැ. එයට හේතුව කොරෝනා මෘත දේහ ගැන කුරානයෙ මොනව තිබුණත් ඒ ජලය සමග මිශ්‍ර වීම නිසා රෝගය බෝ වීමට වැඩි ඉඩක් තියෙනව කියල. ඒ කතාව පරීක්‍ෂණයට ලක් කරල ඇතැයි කියා මා හිතන්නෙ නැහැ. ඒත් ඒකට වැඩි සම්භාවිතාවක් (ඉඩක්) තියෙනව කියල තර්කයක් ගොඩ නගන්න පුළුවන්. මා කියන්නෙ යමක් තර්කානුකූල වූ නිසා ම පිළිගන්න කියල නොවෙයි. මේ වෙලාවෙ සැකයක් තියෙනව නම් නොකර ඉන්න එක හොඳයි. 

අද බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව අසරණ වෙලා. එහි මොන තරම් බර වචන යොදා ගත්තත් අවසානයේ දී කියන්නෙ එකිනෙකාගෙන් හැකි තාක් ඈත් වෙලා ඉන්න කියන එක විතරයි. තමන්ටත් රෝගය තියෙනව වගේ හිතාගෙන අනෙක් අයට බෝ නොවෙන විධියට වැඩ කරන්න. මෙරට සාම්ප්‍රදායික වෙදකමේ එයට එහා යන ක්‍රමත් තියෙනවා. ඒ ප්‍රතිකාර නොවෙයි. ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කරන ඒවා. කොත්තමල්ලි, වෙනිවැල්ගැට, ඉඟුරු, සුදුළුණු ආදිය තම්බල බොන්න. ඒවා අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි. 

එයට අමතරවයි අප පිරිත් කියන්න කියන්නෙ. පිරිත් පමණක් කියන්න නො වෙයි. අනෙක් එක පිරිත් කියන විට පන්සලට එන්න කියලත් අප කියන්නෙ නැහැ. අපේ සම්ප්‍රදායෙ පිරිත් කීමත් හරි යනව කියල අපි කියනවා. මෙහි වැදගත් ම කරුණ තමයි අප පිරිත් කීම පමණක් නිරදේශ නොකිරීමත් වෙන් ව සිටීම වෙන් කිරීම පිළිපැදීමත්. එකිනෙකා සමග ළඟින් ඈසුරු කිරීම රෝගය පැතිරීමට හේතුවක් බව අපේ අත්දැකීමක්. 

මුස්ලිම් ජනයාට අවශ්‍ය නම් ගෙදරට වී යාඥා කළාට කමක් නැහැ. එහෙත් සාමූහික ව යාඥා කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. සාමුහික ව පිරීත් අහන්නත් ඔවුන් ඉඩ දෙන්නෙ නැහැ. ප්‍රශ්නය මුස්ලිම් ජනයා හිතනවා නම් සාමූහිකත්වය (ඇසූරු කිරීම) රෝගය පැතිරීමට හේතුවක් නොවේ ය කියා අප එය පිළිගත යුතු ද යන්නයි. මිනිසුන් වැඩ කරන්නෙ යමක් වැඩ කරනවා ද (හරි යනව ද) කියන එක මත පදනම් වෙලා. 

ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන කිවුවත් බටහිර විද්‍යාඥයන් වැඩ කරන්නෙත් එහෙමයි. ඔවුන් වියුක්ත සංකල්ප ප්‍රචාද ගොඩ නගනවා. සාමාන්‍ය මිනිසුන්ගෙ කතා සමහර විට වැඩ කරන බොරු. බටහිර විද්‍යාඥයන්ගෙ කතා සමහර විට වැඩ කරන පට්ටපල් බොරු.  ඒවා පට්ටපල් බොරු වන්නෙ වියුක්ත නිසා. මුස්ලිම් ජනයා මොනව කිවුවත් අපේ අත්දැකීම තමයි එකිනෙකා සමග ළඟින් ඇසුරු කිරීම (කිට්ටුවෙන් සිටීම) කොවිඩ්ට හොඳයි කියන එක. මුස්ලිම් නිවෙස්වලට මෙය වඩාත් බලපානවා. ඒ නිසා ඔවුන් වඩාත් පරෙස්සම් වෙන්න ඕන ගෙවල්වලට රෝගය ගේන්නෙ නැතිව ඉන්න.

ඒත් ඇතැම් මුස්ලිමුන් හිතනවා නම් රෝගය  අල්ලාගේ හේවායකු කියා අප කළ යුත්තේ කුමක් ද (මෙහි සඳහන් සබැඳිවලින් දැන ගන්න පුළුවන්)?  ඔවුන් මොන දේ කිවුවත් කළත් අප මුස්ලිමුන්ට වෛර නොකළ යුතුයි. මා කලින් කියා ඇති අමනුෂ්‍යයන් වෛරය ආහාරය කර ගන්න බව.  

මෙය බටහිර ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතීන්, සභ්‍යත්ව අතර ගැටුමක්. අවුරුදු පන්සියක් පැරණි සටනක්. සුන්නි අය සුෆී ඉරානයටත් විරුද්ධයි. අද එය ආයුධවලින් හා අදහස්වලින් (ගිවිසුම් සහ තවත් දේ) කෙරෙන සටනක් නො වෙයි. එවැනි සටනක් නම් ඇමරිකාව (එක්සත් රාජ්‍ය) දිනනවා. ඒත් අද බැහැ. ට්‍රම්ප් මුල දී ම සටනින් ඉවත් වුණෙ එබැවින්. අපට පුළුවන් නම් ට්‍රම්ප්ට මුව ආවරණ යවමු. අර හෙදිය කතා කෙළේ ඉතා සංවේදී ව. මෙය ධනවාදයෙ ප්‍රශ්නයකට ලඝු කරන්නෙ ඊනියා වාමවාදී පඬියන්. ඔවුන්ගෙන් සමහරු සකර්බර්ග් වම්මු. ධනවාදයෙ ප්‍රශ්නයක් ය  කියන අය දෙන විසඳුම කුමක් ද? මාක්ස්ගෙ සමාජවාදය කම්කරු පංතිය ගැන කසිකබල් හිතළු කොහේවත් වැඩ කරන්නෙ නැහැ. වම්මු ඒවා කියව කියව ඉන්නෙත් ඒ සාක්‍ෂාත් කර ගැනීමට කිසිවක් නොකරන්නෙත් ඔවුන්ගේ මුග්ධකම නිසා කියල මා කියන්නෙ නැහැ.    

අපි සටනින් ඉවත් වෙන්නෙ නැහැ. අපට ආයුධ නැහැ. ඊනියා බුද්ධිවාදී සටකපට නැහැ. එහෙත් අපට අපේ සම්ප්‍රදායක් තියෙනවා. අද ආණ්ඩුව වැඩ කරන්නෙ ඒ සම්ප්‍රදායෙ. ජාසිංහත් හමුදාපතිත් මානුෂීය ව වැඩ කරනවා. රජය  මානුෂීයයි. අඩුපාඩු තියෙන්න පුළුවන්. තව තවත් නැති බැරි අයට සහන සලසන්න. අපි ආර්ථිකය පසුව අපට ඕන විධියට ගොඩ නගා ගනිමු.


https://www.timesofisrael.com/liveblog_entry/gaza-imam-claims-virus-is-soldier-of-allah-isnt-hitting-palestinians-muslims/


https://www.weeklyblitz.net/news/isis-terms-coronavirus-as-soldier-of-allah/